කිරිබත් කියන්නෙ අපේ ජාතික ආහාරයත් එක බැඳුණු කෑමක්නේ. ඒ වගේම මොකක් හරි සුබ වැඩක් පටන් ගන්නකොට මුල් තැන ගන්නෙත් මේ කිරිබත් හට්ටියම තමා. එකී මෙකී නොකී හැමදේකදිම අපි ළඟින් ඉන්න මේ කිරිබත් එක එක රසින් හදාගන්න හැටි කියලා දෙන්නයි අද අපි ආවේ.
1. මුරුතැන් බත්
අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු කැකුළු හාල් කෝප්ප 2
- මිටිකිරි කෝප්ප 4ක්
- මුං ඇට කෝප්ප 1
- ගිතෙල් මේස හැඳි 2
- කජු ටිකක්
- මුද්දරස්පලම් ටිකක්
- ගාගත් හකුරු කෝප්ප 1
- සාදික්කා කුඩු ස්වල්පයක්
- කරදමුංගු කරල් 3ක්
- ගී මේස හැඳි 2
- ලුණු
- මුං ඇට ටික රැයක් පෙඟෙන්න තියල වෙනම තම්බා ගන්න. හාල් ටිකත් ලිපේ තියලා බත තැම්බුනාම මුං ඇට එකතු කරලා ඒකට කිරි හා අනික් සියල්ලම එකතු කරන්න. කිරි ටික හිඳීගෙන එද්දි ලිපෙන් ඉවත් කරගන්න.
2. ලබු කිරිබත්
අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු කැකුළු හාල් හුණ්ඩු 2ක්
- උකු පොල් කිරි කෝප්ප 4
- තරමක කෑලි කපාගත් ලබු ගෙඩි 1/2
- ලුණු
- හාල් හෝදලා ලිපේ තියන්න.
- දැන් බත බාගෙට ඉදීගෙන එනකොට ලබු කෑලි ටික එකතු කරන්න.
- බත ඉදුනම මිටිකිරි ටික දාලා ලුණු එකතු කරන්න. කිරි හිඳුනම ලිපෙන් ඉවත් කරගන්න.
3. බඩ ඉරිඟු කිරිබත්
අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු කැකුළු හාල් කෝප්ප 2
- ලපටි බඩ ඉරිඟු ඇට කෝප්ප 1 1/2
- මිටිකිරි කෝප්ප 3 1/2
- ලුණු
- බඩ ඉරිඟු වලට වතුර ටිකක් දාලා යාන්තමට තම්බගන්න.
- හාල් ටික හෝදලා බත ඉදෙන්න අවශ්‍ය තරම් වතුර දාල ලිපේ තියන්න.
- මේකට තම්බාගත් බඩ ඉරිඟු ටිකත් දාගන්න. දැන් බත හොඳට ඉදුණම ලුණු කලවම් කරපු මිටිකිරි දාලා හින්දගන්න.
4. ඉඹුල් කිරිබත්
අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු කැකුළු හාල් කෝප්ප 2
- මිටිකිරි
- සීනි කෝප්ප 1
- එනසාල් ඇට 2-3ක්
- ගාගත් පොල් කෝප්ප 2
- ලුණු
- හාල් සෝදල ලිපේ තියල බත ඉදුණම මිටිකිරි එකතු කරල සාමාන්‍ය කිරිබතක් හදාගන්න.
- වතුර නැති වියලුණු භාජනයක් ලිපේ තියලා ඒකට සීනි ටික දාගන්න. දැන් මේකට වතුර කෝප්ප කාලක් වගේ දාලා හැඳි ගාන්න. සීනි ටික පැණිපත් වෙලා බුබුළු දානකොට එනසාල් ඇට ටික එකතු කරන්න. දැන් ගාගත් පොල් ටික එකතු කරන්න. ලුණු දාගෙන පොල් ටික හොඳට තෙත හිඳෙනකම් පිසගෙන ලිපෙන් බාගන්න.
- ඉඹුල් කිරිබත් හදන්න ඕනෙ උණුවෙන්මයි. ඒ නිසා කොළපත් තියන අය ඒකෙනුත් නැති අයට ඉටි කොළයක් පාවිච්චි කරන්නත් පුළුවන්.
- ඉටි කොළයට කිරිබත් ලොකු හැන්දෙන් එකක් දාලා තුනී කරලා ඒක උඩින් පොල්පැණි මිශ්‍රණයෙන් ටිකක් දාලා දෙපැත්තෙන් රෝල් කරගන්න. ටොෆී ඔතනවා වගේ. හොඳට තදට එතුනම හිමීට ගලවලා හයි වෙන්න තියන්න. මේ විදියට කිරිබත නිවෙන්න කලින් ඔක්කොම ඉඹුල් කිරිබත් ටික හදාගන්න.
5. මුං කිරිබත්
අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු කැකුළු හාල් කෝප්ප 2
- මිටිකිරි කෝප්ප 4
- මුං ඇට කෝප්ප 1/2
- ලුණු
- උදේට හදනවනම් කලින් දවසෙ රෑට මුංඇට ටික පෙඟෙන්න තියල තම්බගන්න.
- හාල් ටික සෝදාලා වතුර කෝප්ප 4ක් එක්ක ලිපේ තියන්න.
- දැන් බත ඉදුණම ලුණු දාපු මිටිකිරි ටික එකතු කරලා මුං ඇට ටිකත් දාගෙන හැඳිගාන්න.
- කිරි ටික හිඳුනම ලිපෙන් බාලා කෙසෙල් කොළේකට තුනී කරගන්න.
Leave a Reply