උත්සව වෙලාවක ස්නැක් එකකට වගේම තේ වේලට කන්නත් ගැළපෙන මිනි පයි රෙසිපි 7ක්

ලංකාවෙ කෑමක් නොවුණත් දැන් දැන් ගොඩක් ශෝර්ට් ඊට්ස් කඩ වල තියෙන දෙයක් තමා මේ මිනි පයීස්. ස්වීට් වගේම සේවරි පයිස් වර්ග තියෙනවා. මේක සාමාන්‍යයෙන් හදන්නෙ ලොකු ට්‍රේ එකක කෑලි කපල ගන්න පුළුවන් විදියට. ඒත් පහසුවටත් ලස්සනටත් අපිට මෆින් ට්‍රේ වල මිනි පයිස් හදන්න පුළුවන්. උත්සව වල කෑම අතරත් දැන් මේ මිනි පයීස් දැකගන්න පුළුවන්. එහෙනම් අපි එක එක රසින් මිනි පයීස් හදමු.

 

1. ඇපල් පයි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

ක්‍රස්ට් එකට

 

  1. පාන්පිටි කෝප්ප 2
  2. රස අනුව ලුණු
  3. බටර් කෝප්ප 1

 

ෆිලින් එකට

 

  1. පොතු ඇරගත් ඇපල් ගෙඩි 4
  2. බටර් කෝප්ප 1/2
  3. පාන්පිටි මේස හැඳි 3
  4. රතු සීනි කෝප්ප 1/2
  5. කුරුඳු කුඩු තේ හැඳි 3/4
  6. සාදික්කා කුඩු ස්වල්පයක්
  7. බ්‍රශ් කරන්න බිත්තරයක් 

 

  • පාන්පිටි, ලුණු හා බටර් බෝල් එකකට දාලා ඇඟිලි තුඩින් පොඩි කරමින් කලවම් කරගන්න. ඒ ටික හොඳටම කලවම් උනාම වතුර ටික ටික දාලා ඩෝ එක අනාගන්න. ලාවට අතේ ඇලෙන නොඇලෙන ගානට ඩෝ එක හදලා හොඳට රැප් කරලා පැය 2ක් ෆ්‍රිජ් එකේ දාන්න. 
  • ඇපල් ටික පොඩි කෑලි කපාගන්න. පෑන් එකකට බටර් කෝප්ප 1/2ක් දාලා බටර් දියවෙනකොට පාන්පිටි හා රතු සීනි එකතු කරන්න. මේකට වතුර මේස හැඳි 1ක් වගේ දාලා හොඳට කලවම් කරගන්න. සීනි දියවුනාම කපාගත් ඇපල් ටිකත් දාලා කුරුඳු කුඩු හා සාදික්කා ටික ඉසගන්න. කලවම් කරලා ලිපෙන් බාගන්න. 
  • ෆ්‍රිජ් එකෙන් ඩෝ එක අරන් පිටි ටිකක් ඉහලා හොඳට නීඩ් කරගන්න. දැන් මේකෙන් රවුම් කපලා මිනි පයි ට්‍රේ වලට දාගන්න. මේකට ෆිලින් එක ඇති තරම් දාලා ඩෝ එකෙන් තීරු කපලා උඩින් කැමති ඩිසයින් එකකට කවර් කරගන්න. බිත්තර සාරු ටිකක් බ්‍රශ් කරලා සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගත් අවන් එකක විනාඩි 20ක් වගේ බේක් කරගන්න. 

 

2. එග් පයිස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

ක්‍රස්ට් එකට

 

  1. බටර් කෝප්ප 1
  2. පාන්පිටි කෝප්ප 2
  3. ලුණු රස අනුව
  4. සීනි මේස හැඳි 2

 

ෆිලින් එකට

 

  1. බිත්තර කහමද 6
  2. කිරි කෝප්ප 1
  3. මිල්ක්මේඩ් කෝප්ප 1/2

 

  • පාන්පිටි වලට ලුණු හා සීනි දාගන්න. හොඳට කලවම් කරලා පැය 1/2ක් ෆ්‍රිජ් එකේ තියන්න. මේකට බටර් ටික දාලා කලවම් කරගන්න. වතුර ටික ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදලා හොඳට රැප් කරලා පැය 2ක් ෆ්‍රිජ් එකේ තියන්න. 
  • ෆ්‍රිජ් එකෙන් එළියට අරන් මේක කොටස් 12කට වෙන් කරගන්න. එකින් එක තුනී කරගන්න. පයි හෝ කප්කේක් ට්‍රේ එකකට තෙල් ස්ප්‍රේ කරලා තුනී කරගත් ඩෝ ශීට් එකින් එකට දාලා අතින් තද කරගන්න. වටේ වැඩි කොටස් පිහියකින් කපාගන්න. 
  • බිත්තර කහමද වලට කිරි හා මිල්ක්මේඩ්  එකතු කරගන්න. හොඳට විස්ක් කරගන්න. මේක පෙරලා අරන් පයි කප්ස් වලට පුරවගන්න. සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගත් අවන් එකක විනාඩි 20ක් බේක් කරලා කෑමට ගන්න. 

 

3. චිකන් පයි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

ක්‍රස්ට් එකට 

 

  1. පාන්පිටි කෝප්ප 2
  2. බටර් ග්‍රෑම් 200
  3. ලුණු
  4. සීනි තේ හැඳි 2
  5. කිරි කෝප්ප 1
  6. ග්‍රේට්කරගත් චීස් ස්වල්පයක්

 

ෆිලින් එකට

 

  1. කටු ඉවත් කළ චිකන් ග්‍රෑම් 200
  2. බටර් මේස හැඳි 2
  3. චොප්කරගත් ළූණු ගෙඩි 1
  4. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 2
  5. චොප්කරගත් බෙල්පෙපර් කෝප්ප 1/2
  6. ලුණු හා ගම්මිරිස්කුඩු

 

බිත්තර හා ක්‍රීම් මිශ්‍රණයට

 

  1. බිත්තර 2
  2. ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප
  3. ඔරිගානෝ ස්වල්පයක්
  4. ලුණු හා ගම්මිරිස්කුඩු
  5. ගාලික් පව්ඩර් ස්වල්පයක්

 

  • ෆිලින් එක හදන්න පෑන් එකට බටර් ටික දාලා දියකරගන්න. ටිකකින් ළූණු ටික දාලා මැලවෙන්න අරින්න. මේකටම සුදුළූණු ටිකත් දාගන්න. චිකන් ටික පොඩියට කපලා මේකට එකතු කරන්න. චිකන් ටික තැම්බුනාම බෙල්පෙපර් ටික එකතු කරන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. 
  • බිත්තර, ෆ්‍රෙශ් ක්‍රීම් පේස්ට් එකට අදාළ ද්‍රව්‍ය එකට විස්ක් කරගන්න. 
  • ඩෝ එක හදන්න පාන්පිටි හා බටර් හොඳට ඇඟිලි තුඩින් පොඩි කරමින් කලවම් කරගන්න. සීනි හා ලුණු දාලා කලවම් කරලා කිරි ටික ටික එකතු කරලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. 
  • මේක හොදට නීඩ් කරලා රැප් කරලා විනාඩි 30ක්‍ ෆ්‍රිජ් එකේ දාගන්න. 
  • පිටි ටිකක් ඉහලා මේක හොඳට තුනී කරල පයි කප්ස් සයිස් වලට රවුම් කපාගන්න. කපාගත් රවුම් කප්ස් ඇතුළට බස්සලා වටේ වැඩි කෑලි කපාගන්න.
  • ෆිලින් එක දාන්න කලින් ගෑරැප්පුවෙන් ටිකක් ඇනලා හිල් කරන් සෙල්සියස් 180°ට විනාඩි 5ක් බේක් කරගන්න. 
  • දැන් මේක එළියට අරන් චිකන් ෆිලින් එක දාලා බිත්තර හා ක්‍රීම් මිශ්‍රණය වක්කරගන්න. උඩින් ග්‍රේට්කරගත් චීස් ටිකක් දාලා නැවත විනාඩි 20ක් බේක් කරගන්න. 

 

4. පම්කින් පයිස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

චිකන් පයි රෙසිපි එකේ විදියට හදාගත් පයි ක්‍රස්ට් එක

 

ෆිලින් එකට

 

  1. බිත්තර 2
  2. වට්ටක්කා පියුරි කෝප්ප 1
  3. කිරි කෝප්ප 1
  4. සීනි මේස හැඳි 2
  5. ලුණු
  6. කුරුඳු කුඩු ස්වල්පයක්
  7. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1/2
  8. සාදික්කා කුඩු ස්වල්පයක්

 

  • පයි ක්‍රස්ට් තුනී කරන් කපාගෙන කප්ස් වලට දාගන්න. 
  • බිත්තර ටික හොඳට විස්ක් කරලා වට්ටක්කා පියුරි එකතු කරන්න. මේකට අනික් සියල්ලම දාලා හොඳට විස්ක් කරලා පයි කප්ස් වලට දාගන්න. 
  • සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගත් අවන් එකක විනාඩි 25ක් බේක් කරගන්න. 

 

5. බීෆ් පයිස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

චිකන් පයි රෙසිපි එකේ විදියට හදාගත් පයි ක්‍රස්ට් එක

 

ෆිලින් එකට

 

  1. අඹරාගත් බීෆ් ග්‍රෑම් 200
  2. ඔලිව්තෙල් ස්වල්පයක්
  3. චොප්කරගත් ළූණු ගෙඩි 1
  4. චොප්කරගත් සුදුළූණු ස්වල්පයක්
  5. රෙඩ් වයින් කෝප්ප 1/4
  6. මිරිස්කුඩු තේ හැඳි 2
  7. සාදික්කා තේ හැඳි 1/2
  8. ග්‍රේට්කරගත් කැරට් කෝප්ප 1/2
  9. කපාගත් මශෲම් ස්වල්පයක්
  10. තක්කාලි පේස්ට් මේස හැඳි 2
  11. බීෆ් ස්ටොක් කෝප්ප 1/4

 

  • පෑන් එකකට ඔලිව්තෙල් දාලා ළූණු හා සුදුළූණු දාලා බැදගන්න. ළූණු රන්වන්පාට වෙනකල් බැදුනම බීෆ් ටික දාලා රෙඩ් වයින්, මිරිස්කුඩු හා සාදික්කා දාලා කැරට් හා මශෲම් එකතු කරගෙන පිසගන්න. 
  • බීෆ් තැම්බීගෙන එනකොට බීෆ් ස්ටොක් එකතු කරලා තක්කාලි පේස්ට් එක දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. හොඳට හිඳෙනකල් හැඳිගාලා ලිපෙන් බාගන්න.
  • පයි ක්‍රස්ට් එක තුනී කරලා කප්ස් වලට දාලා මේ ෆිලින් එක දාලා ඩෝ එකෙන්ම කැමති ඩිසයින් එකකට උඩින් වහගන්න. මේක සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගත් අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න. 

 

6. රාස්බෙරි මිනි පයි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

ඇපල් පයි එකේ විදියට හදාගත් ක්‍රස්ට් එක

 

ෆිලින්ග් එකට

 

  1. රාස්බෙරි ග්‍රෑම් 100
  2. කෝන්ෆ්ලා මේස හැඳි  2
  3. සීනි කෝප්ප 3/4
  4. වැනිලා ස්වල්පයක් 
  5. වියළි දොඩම් පොතු ස්වල්පයක්
  6. බ්‍රශ් කරගන්න බිත්තරයක්

 

  • රාස්බෙරි වලට කෝන්ෆ්ලා, සීනි,දොඩම් පොතු හා වැනිලා දාලා හොඳට කලවම් කරගන්න. 
  • දැන් මේක ක්‍රස්ට් එක දාගත් පයි කප්ස් වලට දාලා උඩින් ඩෝ එකෙන් කැමති ඩිසයින් කපලා දාලා බිත්තර බ්‍රශ් කරගන්න. 
  • සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න. 

 

7. මිනි කොෆී පයි

අවශ්‍ය ද්‍රව්‍ය

 

එග් පයි එකේ විදියට හදාගත් ක්‍රස්ට් එක

 

කොෆී ෆිලින් එකට 

 

  1. වතුර කෝප්ප 1/4
  2. කෝන්ෆ්ලා තේ හැඳි 3
  3. ඉන්ස්ටන්ට් කොෆී තේ හැඳි 2
  4. වැනිලා ස්වල්පයක් 
  5. සීනි මේස හැඳි 2 1/2
  6. කොකෝවා පව්ඩර් මේස හැඳි 1
  7. චොප්කරගත් පිස්ටාචියො ස්වල්පයක් 
  8. හෙවි ක්‍රීම් කෝප්ප 1/4
  9. බටර් මේස හැඳි 1

 

  • පයි ක්‍රස්ට් එක කප්ස් වලට දාලා සෙල්සියස් 180°ට විනාඩි 20ක් බේක් කරලා ශෙල්ස් ටික හදාගන්න. 
  • පෑන් එකක් ලිපේ තියලා වතුර හා කෝන්ෆ්ලා දාලා කැට නැතිවෙනකල් දියකරගන්න. 
  • මේකට කොෆී හා කොකෝවා පව්ඩර් දාලා කලවම් කරගන්න. ඒකටම සීනි හා හෙවි ක්‍රීම් එකතු කරන්න. මද ගින්නෙ හොඳට හැඳිගාන්න. 
  • ලිපෙන් බාලා වැනිලා හා බටර් එකතු කරන්න. සාදාගත් පයි ශෙල්ස් වලට මේ මිශ්‍රණය පුරවගෙන පැය 2ක් ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *