ජීවිතයේ වැරදිලා බින්දුවටම වැටුනාට පස්සේ, ආයෙමත් නැගිටලා මුල ඉඳන් පටන් ගන්නෙ මෙහෙමයි!

අපි හැමෝම ජීවිතයේ ඕනම තැනකදි කඩා වැටෙන්න පුළුවන්. ජීවිතයේ අපිට තියන වටිනාම දේවල් එක රැයින් නැති වෙලා යන්න පුළුවන්. අපේ ආදරණීයයෝ හැමෝම අපිට නැති වෙන්න පුළුවන්. කොටින්ම කිව්වොත් වෙන වැටෙන්න තැනක් නැහැ කියලා හිතෙන විදියට අපි බින්දුවටම වැටෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ අපේ ජීවිතය එතනින් ඉවරයි කියලා නෙවෙයි. කොටින්ම කියනවා නම් කියනවා නම් අපේ ජීවිතය ඉවර වෙන්නෙ අපිට අපිව නැති වුණු දවසට. ඒ නිසා බින්දුවටම වැටුනත් ආයෙමත් නැගිටලා හිටියේ පත් වඩා ඉහ​ළට යන්න අවශ්‍ය වෙන්නේ නිවැරදි ආකල්පයක් හොඳ කැපවීමක් සහ මග පෙන්වීමක් තමයි. ඉතින් අන්න ඒ දේ වෙනුවෙන් ඒ මඟ පෙන්වීම සහ යහපත් ආකල්ප, කැපවීම ඇති කරගන්න උපදෙස් අපි ලබා දෙන්න සූදානම.

 

1. ජීවිතේ මෙතනින් ඉවර නෑ

මෙන්න මේ ස්ටෙප් එක ඉතාම වැදගත්. මොකද, අපි දකිනවා ජීවිතේ වැටෙන්න තියෙන බිංදුවටම වැටුණට පස්සේ ගොඩක් දෙනෙක්ගේ එකම විසඳුම වෙන්නේ තමන්ගේ ජීවිතේ නැතිකරගන්න එක. හැබැයි එහෙම ජීවිතේ නැතිකරගන්න හිතන්නේ ඇත්තටම ඒ අයට මැරෙන්න ඕන නිසා නෙවෙයි. ඒ අයට ජීවත් වෙන්න විදියක්, ජීවිතේට ආයෙමත් මූණ දෙන්න විදියක් හොයාගන්න බැරි නිසා. මේ විදියට ජීවිතේ බිංදුවටම වැටුණට පස්සේ තවදුරටත් එහෙම ජීවත් වෙන්න බැහැයි කියලා හිතෙන නිසා. ආන්න ඒ නිසා  තේරුම් ගත යුතු කාරණාව තමයි හැම ජීවිතයක්ම වටිනවාය කියන එක. තමන්ගේ ජීවිතේ අගය කරන්න මේ මොහොතේ කෙනෙක් ලඟ නොහිටින්න පුළුවන්. හැබැයි අඩු තරමින් අපිට අපේ ජීවිතේ මහමෙරක් වගේ වටින්න ඕන. ඒකට ජීවිතේ මෙතනින් ඉවර නැහැයි කියන එක තේරුම් ගන්න ඕන.

 

අර හින්දි ෆිල්ම් එකක් වුණු හම් තුම් එකේ තියෙනවා දෙබසක්. හැම ජීවිතයක්ම කතාපොතක් වගේ. හැබැයි ඒ ජීවිත කතාව ලියන්නේ අපි. එතකොට ඒක ඛේදජනක අවසානෙකට ආවොත්, අපි තේරුම් ගන්න ඕන කතාව ඇත්තටම ඉවර නැහැ කියලා. ඒ කියන්නේ තව දිගට ලියාගෙන යන්න ඕන. කතාව ඉවර වෙන තැන තීරණය කරන්නේ ඇත්තටම තමන්.

 

2. තමන් ඉන්නේ කොතනද කියන එක තේරුම් ගන්න

ජීවිතේ බිංදුවට වැටුණට පස්සේ නැගිටින්න නම් තමන් වැටිලා ඉන්න තැන කොතනද කියන එක තේරුම් ගන්න ඕන. තමන්ට ජීවිතේ ලැබුණු දෙයක් නැහැයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඒක නිකම් ආත්මානුකම්පාවට කිව්වට, ඇත්තටම අපි නොහිතන දේවල් අපිට ලැබිලා තියෙනවා. උදාහරණයක් ගමු. ඔන්න අපිට රස්සාව නැතිවෙනවා. ලඟ හිටපු කෙල්ලත් අපිව දාලා යනවා. අම්මා තාත්තත් මියපරලොව ගිහින් සෑහෙන කල්. දැන් හිතෙනවා අපිට කිසිම දෙයක් නෑ කියලා. හැබැයි අපිට අත පය පණ තියෙනවා නේද? මේ වෙනකල් ජීවත් වෙලා ලබාගත්තු යම් කිසි දැනුමක්, පළපුරුද්දක් තියෙනවා. ජීවිතේ බිංදුවේ ඉඳලා පටන් ගන්න ඒ මදිද? ඒ හැමදෙයක්මත් නැහැයි කියලා හිතමු. එහෙමනම්, අඩු ගණනේ අලුතින් දෙයක් ඉගෙනගන්න හැකියාව හරි තමන්ට නැද්ද?

 

අන්න ඒ නිසා තමන් දැන් ඉන්න තැන ගැන කරන හොඳ තක්සේරුව අත්‍යාවශ්‍යයි මේ මොහොතේදී. එතනදී තමන් වැටිලා ඉන්න තැන, තමන්ට නැතිවෙලා තියෙන දේවල් සහ තමන්ට සැබෑවටම ඉතුරු වෙලා තියෙන දේවල් ගැන සාධාරණ සහ සමබර තක්සේරුවක් කරන්න වුවමනායි.

 

3. උපකාරක පද්ධතියක් හොයාගන්න

අපි හැමෝටම උදවු අවශ්‍යයි. අපිට උදවු වුවමනා මොහොතක කවදාවත් කෙනෙක්ගේ උදවුවක් පිළිගන්න පැකිළෙන්න එපා. හරි. දැන් අපි බිංදුවට වැටිලා ඉන්නේ. දැන් අපිට මෙතනින් ආයෙමත් ඉහළට ජීවිතේ හදාගන්න නම් උපකාර පද්ධතියක්, හෙල්ප් සිස්ටම් එකක් අවශ්‍යයි. අපිට ඒ වගේ දේකට විශ්වාසයට ගන්න කවුද ඉන්නේ? මෙන්න මේ කාරණය බොහොම පරිස්සමෙන් හිතන්න ඕන. අපි හොයන්න ඕන මිලමුදලින් උපකාර කරන්න කෙනෙක් නෙවෙයි. අපිට හිතට හයියක් වෙන්න පුළුවන්, දේවල් කතා කරන්න පුළුවන් කෙනෙක්. ඒකට සෘණාත්මක අදහස් තියෙන, කුහක අදහස් තියෙන අය හරියන්නෙ නෑ. ආන්න එහෙම කෙනෙක් අපිට හොයාගන්නම නැතිනම්? ඒකටත් විසඳුමක් තියෙනවා. ශ්‍රී ලංකා සුමිත්‍රයෝ වගේ උපදේශන සේවයක් හමුවෙන්න ගියත් මේ වගේ අවස්ථාවක කිසිම ගැටළුවක් නෑ.

 

4. වැරදුණු තැන් සමාලෝචනය කරන්න

මෙන්න මේකත් බොහොම අවංකව ගන්න ඕන පියවරක්. ඒ තමයි වැරදුණු තැන් සමාලෝචනය කරලා බලන එක. සාමාන්‍යයෙන් මිනිස්සු ගොඩක් දෙනෙක් වැරදුණහම ඒකට සෑහෙන පාර්ශව වලට චෝදනා කරනවා. අරයා නිසා තමයි මට මෙහෙම වුනේ, මෙයා නිසා තමයි මෙහෙම වුනේ, දෙමාපියෝ නිසා තමයි මට මෙහෙම වුනේ, දෙමාපියෝ නැති නිසා තමයි මට මෙහෙම වුනේ වගේ චෝදනා කරන්න කාව හරි හොයාගන්නවා. චෝදනා කරන්න කවුරුත් නැතිනම්, මේ සමාජ ක්‍රමය නිසා තමයි මට මෙහෙම වුනේ කියලා සිස්ටම් එකට හරි චෝදනා කරනවා. හැබැයි තමන්ගේ අතේ තියෙන වැරදි ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක්ට පේන්නේ නෑ.

 

ආන්න ඒ නිසා අවංකවම වැරදුණු තැන් ගැන හිතලා බලන්න. ඒ වැරදුණු තැන් වල වරද තියෙන්නේ තමන් අතේ නම් ඒකත් පිළිගන්න. එහෙම සමාලෝචනයකට පස්සේ, රෑ වැටුණු වළවල් වල දවල් නොවැටී යන්න පුළුවන්.

 

5. සැලසුමක් හදාගන්න

අපිට ඕනම දේකට සැලසුමක් අවශ්‍යයි. ඒ කියන්නේ අපි ජිවිතය බිංදුවේ ඉඳලා ගොඩනංවන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවා නම්, ඒ ගමන යන්න හොඳ මැප් එකක්, ප්ලෑන් එකක් ඕන. මොකද මේක ලේසි වැඩක් නෙවෙයි. අපි ඔක්කොම නැතිකරගෙන ඉන්න වෙලාවක “මම ලෝක පූජිත ලේඛකයෙක් වෙනවා” කියලා හිතාගෙන පොත් ලියන්න ගත්තට වැඩක් නෑ. පොත් ලියන අතරවාරයේත් කන්න, අඳින්න, ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒකට මොකක් හරි පොඩි ජොබ් එකක් හරි කරන්න වෙනවා. සමහර වෙලාවට අපි ලියන පොත් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. එතකොට ඒකටත් තව දෙවෙනි සැලසුමක් ඕන වෙනවා. 

 

මෙන්න මේ නිසා හරි විදියට, හැම පැත්තම හිතලා බලලා සැලසුමක් හදාගන්න එක වැදගත්. ඒකට අපි උඩින් කතා කරපු හැම කරුණක්ම වැදගත් වෙනවා.

 

6. ඉලක්කයත්, ඉලක්කයට යන පාරත් මෙනෙහි කරන්න

ඇත්තටම ගොඩක් අයට සිහින තියෙනවා. කවදාහරි මම මෙහෙම කෙනෙක් වෙන්න ඕන කියලා ආසාවෙන් හැම කෙනෙක්ම වගේ සිහින දකිනවා. හැබැයි ඒවා සිහින විතරක් වුනාට මදි. ඒ සිහින කරා යන මාර්ගයත් මෙනෙහි කරන්න ඕන. ඒ සිහින කරා යන මාර්ගය තමයි අපි උඩින් කියපු සැලසුම. ආන්න එතකොට කවදාහරි තමන්ගේ ඉලක්කයන්ට ගියාට පස්සේ තමන්ගේ ජීවිතය මෙහෙමයි කියලා සිහින දකිනවා වගේම, ඒ සැලසුමට අනුව ඒ සිහිනයන්ට යන හැටි ගැනත් සිහින දකින්න. ආන්න එතකොට තමයි වැඩේ ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ. නැත්නම් ඒ සිහින හැමදාමත් සිහිනම තමයි.

 

7. ප්‍රමුඛතාවයන් සකසා ගන්න

දැන් උඩින් කියපු ඔක්කොම කළාට පස්සේ වැඩ පටන් ගන්නකොට හිතලා බලන්න ඕන තව කාරණයක් තියෙනවා. ඒ තමයි තමන් ප්‍රමුඛත්වය දෙන්න ඕන දේවල් මොනවද කියන එක. උදාහරණයක් කිවුවොත්, තමන්ගේ ජීවිතේ වැරදුණු තැනකදී මළාට හොයාගන්න නැති වුණු පරණ කොල්ලා කියමු. දැන් මේ කොල්ලට හිත් වේදනාවක් ඇතිවුණහම, බූට්‍ එකක් කෑවහම කතා කරන්න මතක් වෙන්නේ ඔයාව වෙන්න පුළුවන්. හැබැයි ඔයා බිංදුවට වැටිලා, දැන් ජීවිතේ ආයෙමත් ගොඩ නගාගන්න ප්ලෑන් එකක් ගහලා වැඩ කරන්න හදන වෙලාවේ, ඔයාට කිසිම කෘතඥතාවයක් නැති, ඔයාට සතපහකින් වැඩක් නැති පරණ කොල්ලෙක්ගේ දුක අහන්න වෙලාව සහ ටෙලිෆෝන් බිල් නාස්ති කරගන්න පුළුවන්ද? ඒක ප්‍රමුඛතාවයක්ද? අන්න ඒක තමයි ඔයාගෙන්ම අහලා බලන්න ඕන.

 

ඒ වගේම බිංදුවේ ඉඳන් අහස උසට නගින්න ප්ලෑන් ගහලා යන ගමනේදී, ඊට අදාළ කරුණු කාරණා සම්බන්ධයෙන් වුනත් ප්‍රමුඛතාවයන් තෝරගන්න සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, ඔයා ඩිසයිනර් කෙනෙක් වෙන හීනේ හිතේ තියාගෙන, ඒකට වැඩත් කරන ගමන් මේ මොහොතේ ජීවත් වෙන්න රස්සාවක් කරනවා කියමු. එතකොට මොනවා කරත් ඒ රස්සාවට ප්‍රමුඛස්ථානයක් දෙන්න ඕන. රස්සාව ගැන වද වෙන්න අවශ්‍ය නොවෙන විදියට ආර්ථිකය හදාගත්තට පස්සේ ඒක ප්‍රමුඛතාවයක් නොවුණට කමක් නෑ. පැහැදිලිද?

 

ඉතින් ඊට පස්සේ? ඊට පස්සේ තියෙන්නේ යකා වගේ වැඩ කරන්න තමයි. දෙයක් හිතුවොත්, කැපවීම තියෙනවා නම්, දහිරිය දාන්න පුළුවන් කම තියෙනවා නම් කරන්න බැරි දෙයක් ලෝකේ නැහැයි කියලා කියනවා නේද? ඒ කතාව සහතික ඇත්ත. ඒ ගැන අපි ඉස්සරහට කතා කරනවා.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *