ගෙදර වොෂින් මැෂින් එකෙන් හරි හැටි රෙදි හෝදාගන්නේ මෙහෙමයි!

අපි කලින් වතාවක කතා කළා, කොහොමද ගෙදර තියෙන වොෂින් මැෂින් එක හරි විදියට පාවිච්චි කරන්නේ කියලා. ඒ කියන්නේ ගෙදර වොෂින් මැෂින් එක උපරිම කාර්යක්ෂමතාවයකින්, හැකිතාක් අවම බලශක්ති පරිභෝජනයකින් කොහොමද පාවිච්චි කරලා, වොෂින් මැෂින් එකේ ආයුකාලයත් රැකගෙන වැඩ ගන්නේ කියන එක ගැන. හැබැයි ඒ එක්කම අපිට තවත් දෙයක් හිතන්න තියෙනවා. ඒ තමයි, කොහොමද ගෙදර වොෂින් මැෂින් එකේ රෙදි හෝදනකොට, රෙදි වල ආරක්ෂාව සහතික වෙන විදියට, රෙදි වල කල් පැවැත්ම සහතික වෙන විදියට, රෙදි වලට හානි සිද්ධ නොවෙන, පාට වෙනස් වීම් වගේ අකරතැබ්බ නොවෙන විදියට වැඩ කටයුතු කරන්නේ කියන එක. මොකද, අපි වොෂින් මැෂින් එකේ ආරක්ෂාව ගැන හිතලා ඒක පාවිච්චි කරනවා වගේම, වොෂින් මැෂින් එකේ හෝදන රෙදි වල ආරක්ෂාව ගැනත්, හරියට සේදීම ගැනත් හිතලා රෙදි හෝදන්නත් ඕන. මේ තියෙන්නේ ඒකට වැදගත් වෙන ටිප්ස් කීපයක්!

1. රෙදි තෝරලා

සාමාන්‍යයෙන් ගෙදරක රෙදි හෝදද්දී තියෙන කිළුටු රෙදි ඔක්කොම ටික වොෂින් මැෂින් එකට පටවන එකනේ කරන්නේ. හැබැයි ඒක නෙවෙයි හරි ක්‍රමය. පළමුවෙන්ම රෙදි තෝරන්න ඕන. එතකොට රෙදි තෝරන්න කරන්න පුලුවන් ක්‍රමයක් තමයි සුදු ඇඳුම් සහ තද පාට ඇඳුම් වෙන් කර ගැනීම. හැබැයි තද පාට ඇඳුම් වලදී වුණත්, පාට යන ඇඳුම් තෝරලා වෙන් කරන්න ඕන. ඇත්තටම අර තදට පාට යන ඇඳුම් එකක් දෙකක් නම් තියෙන්නේ, ඒවා අතේ හෝදන එක වඩා ආරක්ෂිතයි. ඔය සුදු ඇඳුම්, පාට ඇඳුම් විදියට වෙන් කරනවා වගේම, ඇඳුම් වර්ග අනුවත් වෙන් කරන්න ඕන. උදාහරණයක් විදියට, ටවල් නම් වෙනම, බෙඩ්ෂීට් නම් වෙනම, එදිනෙදා අඳින ඇඳුම් නම් වෙනම. එදිනෙදා අඳින ඇඳුම් වුණත්, බර ඩෙනිම් එහෙම තියෙනවා නම් වෙනම හෝදන එක හොඳයි. ඔය ඇරෙන්න ඔය ස්පැන්ඩෙක්ස් වගේ හයි ටෙක් රෙදිපිළි වලින් හදපු ඇඳුම් වුණත් වේනම හෝදන්න පුලුවන් නම් හොඳයි. හේතුව ඒවා බොහොම මෘදුව හෝදන්න ඕන වීම. ඒ ඇරෙන්න, යට ඇඳුම් හෝදනකොටත් අඩු ප්‍රබලත්වයක සෙටින් එකකින්, මෘදු සේදීමක් තමයි ලබාදෙන්නට වුවමනා වෙන්නේ.

2. චෙක් කරලා පටන් ගමු

සාමාන්‍යයෙන් අපේ අම්මලා එහෙම රෙදි හෝදන්න යනකොට දැකලා තියෙනවද කලිසම්, කමිස ඔක්කොගෙම සාක්කු චෙක් කරනවා? අන්න එතකොට තමයි සමහර වෙලාවට අපේ හොර අහුවෙන්නෙත්! හැබැයි විහිළු පැත්තකින් තියලා කතා කළොත්, රෙදි හෝදන්න දාන්න කලින් සාක්කු තියෙන කලිසම් කමිස හැම එකකම සාක්කු චෙක් කරන එක හොඳ පුරුද්දක්. කලින් වොෂින් මැෂින් ආටිකල් එකෙත් කියපු විදියට, සමහර වෙලාවට අපි අමතක වෙලා සාක්කු වල සල්ලි, කාසි, හැට්ට කටු, පෙන් ඩ්‍රයිව්, ලයිටර්, හෙඩ්සෙට් වගේ එව්වා විතරක් නෙවෙයි, සමහර වෙලාවට ස්මාට්ෆෝන් පවා සාක්කු වල දාගෙන තමයි රෙදි හෝදන්න දාන්නෙ. ඒකෙන් ඉතින් වොෂින් මැෂින් එකට හානි වෙන්න පුලුවනිනේ. ඒ ඇරෙන්න නිකමට හිතන්න වෙන මොකුත් ඕන නෑ, බස් ටිකක් එකක් හරි කමිස සාක්කුවේ තිබ්බා කියලා. දැන් ඕකත් එක්ක හේදිලා ආවහම, බස් ටිකට් එක දියවෙලා, සියුම් කොළ කෑලි පැල්ලම් පැල්ලම් වගේ රෙදි වල රැඳිලා තියෙන්නෙ නැද්ද? ඒවා යවන එකත් ලේසි නෑ. සමහර වෙලාවට බ්‍රෂ් කරලා තමයි යවන්න වෙන්නේ.

3. සේදුම් කුඩු/දියර වර්ග

සාමාන්‍යයෙන් ඕනම සේදුම් කුඩු හෝ දියර වර්ගයක් ඕනෑම වොෂින් මැෂින් එකකට දාලා හෝදන එක සාර්ථක නැහැ. උදාහරණයක් විදියට ගත්තොත්, සේදුම් කුඩු සහ සේදුම් දියර පැකට් හෝ බෝතල් වල ගහලා තියනවා ටොප් ලෝඩින් ද ෆ්‍රන්ට් ලෝඩින්ග් ද කියලා. ඒ කියන්නේ ඒ ඒ සේදුම් ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඕන ඒ ඒ ටොප් ලෝඩින් හෝ ෆ්‍රන්ට් ලෝඩින්ග් වොෂින් මැෂින් වල තමයි. එතකොට HE laundry detergent කියලා ගහලා තියෙන ඩිටර්ජන්ට් පාවිච්චි කරන්න ඕන කරන්නේ high-efficiency වොෂින් මැෂින් වලට තමයි. එහෙම නැතුව සාමාන්‍ය වොෂින් මැෂින් එකකට high-efficiency laundry detergent පාවිච්චි කළොත් වඩාත් හොඳට හේදෙයි කියලා හිතනවා නම් ඒක වැරදියි. ඒ ඒ ඩිටර්ජන් වර්ග හදලා තියෙන්නේ ඒ ඒ වොෂින් මැෂින් ටයිප් වලට අනුව.

4. සේදුම් කුඩු/දියර ප්‍රමාණයන්

මෙන්න මේක විශේෂයෙන්ම හිතට ගන්න ඕන කාරණාවක්. වොෂින් මැෂින් එකේ රෙදි හෝදනකොට සේදුම් කුඩු හෝ සේදුම් දියර පාවිච්චි කරන්න ඕන ප්‍රමාණයන් ගැන හිතන්න ඕන. දැන් සේදුම් කුඩු හෝ සේදුම් දියර අඩුවෙන් පාවිච්චි කළොත් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් රෙදි තදටම කිළුටු වෙලා, ජරා වෙලා නම් ඒක ගැටළුවක්. හැබැයි සාමාන්‍යයෙන් එදිනෙදා අපි හෝදන රෙදි වල එහෙමට කිළුටු කුණු නැහැනේ. ඒ නිසා සේදුම් කුඩු හෝ සේදුම් දියර අඩු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. එතකොට සේදුම් කුඩු හෝ සේදුම් දියර වැඩි වුණොත් මොකද වෙන්නේ? ඇත්තටම සමහරු වැඩි හොඳට හේදෙන්න කියලා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සේදුම් කුඩු හෝ සේදුම් දියර දානවා වොෂින් මැෂින් එකට. හැබැයි ඒකෙන් ඇත්තටම රෙදි වලට හානි වෙන්න තියන ඉඩ වැඩියි. අඩු තරමින් රෙදි හේදිලා ආවට පස්සේ පැල්ලම් හිටින එක හරි සිද්ධ වෙනවා. අන්න ඒ නිසා, සේදුම් කුඩු හෝ සේදුම් දියර පැකට් එකේ හෝ බොට්ල් එකේ ගහලා තියෙන විදියටම පාවිච්චි කරන්නයි තියෙන්නේ.

5. සෙටින්ග්ස්

දැන් ඔය පරණ තාලේ සෙමි ඔටෝමැටික් වොෂින් මැෂින් වල තියනවා හෝදන්න ඕන ස්ට්‍රෝන්ග් විදියටද නෝමල් විදියටද කියලා තෝරගන්න. එහෙම නැතිනම් ෆාස්ට්/ස්ලෝ විදියටත් ඕක බෙදලා තියෙන්න පුලුවන්. ඇත්තටම මේක අදාළ වෙන්නේ රෙදි වර්ගය අනුව සහ කිළුටු ප්‍රමාණය අනුව කියලත් අපිට ගණන් ගන්න පුලුවන්. උදාහරණයක් විදියට වඩාත් මෘදු සේදුමක් අවශ්‍ය කරන රෙදි වර්ග වල ඇඳුම් සහ යට ඇඳුම් හෝදනකොට නෝමල් සයිකල් සෙටින්ග්ස් වල හෝදන එක වඩාත් යෝග්‍යයි. එතකොට වඩාත් කිළුටු වෙලා තියෙන ඇඳුම්, වැඩි සේදුම් බලයකින් හෝදන්න වෙන ඇඳුම් සඳහා ස්ට්‍රෝන්ග් සයිකල් සෙටින්ග්ස් පාවිච්චි කළාට ගැටළුවක් නෑ. තව දෙයක්. දැන් අලුත් වොෂින් මැෂින් වල ක්වික් සයිකල් කියලා සෙටින්ග් එකකුත් තියනවා. ඒකෙන්, එහෙමට කිළුටු නැති රෙදි වඩාත් අඩු කාලෙකින් හෝදගන්න ඉඩ කඩ ලැබෙනවා.

6. රෙදි හේදුවට පස්සේ

මේකත් ගොඩක් අයට අමතක වෙලා හෝ සිද්ධ වෙන්න පුලුවන් දෙයක්. ඒ තමයි, රෙදි ටික ඔටෝ හේදෙන්න දාලා, ඊට පස්සේ ට්‍රිප් එකක් යන එක. ආයෙ දවස් තුනකට පස්සේ එන්නේ. එතකල් රෙදි ටික අර කිළුටු වතුර එකේ. එතකොට තවත් සමහරු රෙදි ටික හෝදලා, වතුරත් අයින් වෙන්න දාලා, ඊට පස්සේ ඒක අමතක කරනවා. දැන් රෙදි ටික අර වොෂින් මැෂින් එකේ ඩ්‍රම් එකේ සෑහෙන කාලයක්. දැන් ඔහොම තෙත රෙදි ඩ්‍රම් එකේ ඔහේ දාලා තියන එකෙන් සිද්ධ වෙන දේ තමයි, වොෂින් මැෂින් එකේ ඩ්‍රම් එකෙත්, ඒ වගේම රෙදි වලත් පුස් අල්ලන්න පටන් ගන්න එක. ආයෙ පුස් පැල්ලම් රෙදි වල හිටියහම කොයි තරම් වටිනා ඇඳුමක් වුණත් අපරාදේ තමයි. අන්න ඒ නිසා, රෙදි ටික හෝදලා අවසන් වුණහම, වහාම ඒ ටික වොෂින් මැෂින් එකේම ඕන නම් වේලලා, එළියට ගන්න. වොෂින් මැෂින් එක ඇතුළේ තෙත රෙදි තියෙන්න දෙන්න එපා.

7. සර්විස් කිරීම සහ ෆිල්ටරේ මාරු කිරීම

මේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. දැන් හරියට නියම කාලෙදී සර්විස් පාරක් දෙන්නෙ නැතුව, හරියට පිරිසිදු කරන්නෙ නැතුව ඔහේ දුවන වොෂින් මැෂින් එකක් ඇතුළ පිරිසිදුද? නැහැනේ. එතකොට ඉතින් සබන් කුඩු කොච්චර දාලා හේදුවත්, ඕන නැති පැල්ලම් එහෙම රෙදි වල ඉතුරු වෙනවා කියන එක ෂුවර්. විශේෂයෙන්ම වොෂින් මැෂින් එක ඇතුලේ රෙදි හේදෙන කොටසේ මලකඩ කාපු කොටස් එහෙම තිබ්බොත්, හෝදන්න දාපු රෙදි වල මලකඩ පැල්ලම් ඇතිවීම වළක්වාගන්න බැරි වෙනවා. ඒ ඇරෙන්න, ෆිල්ටර් මාරු කරන වොෂින් මැෂින් වල ෆිල්ටර් එක කාලෙකට සැරයක් මාරු කළේ නැතිනම්, රෙදි කොච්චර හේදුවත් අර රෙදි වල තිබිලා අයින් වෙන නූල් කෑලි, දූවිලි, කුණු වගේ දේවල් ආයෙමත් රෙදි වලම තමයි රැඳෙන්නේ. අන්න ඒ නිසා තමයි, රෙදි හරියට පිරිසිදු වීම ගැන හිතනවා නම්, වොෂින් මැෂින් එක හරි කාලෙදී සර්විස් කරන එක සහ ෆිල්ටර් මාරු කරන එක වැදගත් වෙන්නේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *