බ්‍රිතාන්‍ය රජ පවුලේ සුවිශේෂී ආභරණ – 3 කොටස

පහුගිය දවස්වල අපි මේ ආටිකල් සීරීස් එකේ කොටස් දෙකක් ඔබ වෙත ඉදිරිපත් කළා. ඒ සඳහා ඔබෙන් ලැබුණු උද්‍යෝගිමත් ප්‍රතිචාර උඩ තමයි තවත් කොටසක් ලියන්න තීරණය කළේ. හැබැයි සමහරු නම් මේ ආටිකල් සීරිස් එකට බැනලා තිබ්බ. ඒකට හේතුව වුණේ මේ ආභරණ බොහොමයක් රටවල් හූරන් කාලා ගෙනිච්ච සල්ලි වලින් නිර්මාණය කරපු දේවල් කියන හේතුව උඩ. ඒ කතාවේ වැරැද්දකුත් නැහැ ඉතින්. හැබැයි ඉතින් මේ ආභරණ ගැන දැනගත්තා කියලා වැරැද්දකුත් නෑනේ. ඔන්න ඔහොම හිතලා තමයි අපි තුන්වෙනි කොටසත් ලියන්න හිතුවේ.

බ්‍රිතාන්‍ය රජ පවුලේ සුවිශේෂී ආභරණ 1 කොටස මෙතනින් කියවන්න

බ්‍රිතාන්‍ය රජ පවුලේ සුවිශේෂී ආභරණ – 2 කොටස මෙතනින් කියවන්න

 

 

1. බ්‍රසීලියානු ප’රාරූ ටියාරාව (The Brazilliam Parure Tiara)

දෙවැනි එළිසබත් රැජිනගේ ආභරණ එකතුව සරසන බොහෝ චිත්තාකර්ෂණීය ආභරණ ඇයට පෙර සිටි බිසෝවරු සහ කුමරියන් විසින් සකස් කරන ලද ඒවා. නමුත් මෙම ටියාරාව සකස් කර ඇත්තේ ඇයගේම උපදෙස් පරිදි වීම නිසා මෙම ටියාරාව වඩාත් සුවිශේෂී වනවා. 1953 වසරේදී බ්‍රසීලියානු ජනාධිපතිවරයා බ්‍රසීල ජනතාව වෙනුවෙන් ඇයට දියමන්ති සහ ඇක්වාමැරීන්වලින් සකස් කරන ලද මාලයක් සහ කරාබු යුවළක් ලබාදුන්නා. මෙම ආභරණවලට දැඩි ලෙස ප්‍රිය කළ ඇය ඊට ගැළපෙන ලෙස ටියාරාවක් සකස් කිරීමට ගැරඩ්ස් සමාගම වෙත උපදෙස් ලබා දුන්නා 

 

2. ග්‍රෑන්ඩ් ඩචස් වැල්ඩ්මීර් ටියාරාව (The Grand Duchess Vladmir Tiara)

රුසියානු රජ පවුලේ සාමාජිකාවක් වුණු මාරියා පවුලෝනා මහාආදිපාදිවරිය සතුව තිබූ අලංකාර ආභරණ එකතුවට මුළු යුරෝපයේම රාජකීය කාන්තාවන් ඊර්ෂ්‍යා කළා. රුසියානු විප්ලව සමයේදී සාර්ථකව රුසියාවෙන් පලායෑමට සමත් වූ ඇය විවිධ ක්‍රම භාවිතා කරමින් තම ආභරණ එකතුවත් රුසියාවෙන් පිටතට ගැනීමට කටයුතු කළා. ඇගේ මරණයෙන් පසුව ඇගේ දරුවන් විසින් එම ආභරණ වෙන්දේසි කිරීමට කටයුතු කළ අතර මේරි බිසව විසින් මෙම ආභරණ එකතුවේ බොහෝ ආභරණ මිලට ගනු ලැබුවා. අද වන විට දෙවැනි එළිසබත් රැජිනගේ ප්‍රියතම ටියාරාවක් බවට පත්ව තිබෙන්නේ එලෙස මිලදී ගැනුණු ආභරණ අතරින් එකක් වන වැල්ඩ්මීර් ටියාරාවයි.

 

3. ඇලෙක්සැන්ඩ්‍රා බිසවගේ කොකෝශින්ක් ටියාරාව (Queen Alexanra’s KoKoshnik Tiara)

හත්වන එඩ්වඩ් රජුගේ බිරිඳ වූ ඇලෙක්සැන්ඩ්‍රා බිසව සහ සාර් අධිරාජ්‍යයාගේ බිරිඳ වූ මාරියා ඇලෙක්සැන්ඩ්‍රෝවා බිසව සහෝදරියන් වුණා. සාර් රජුගේ බිරිඳ ලෙස ඇයට අනර්ඝ ආභරණ එකතුවක් හිමි වූ අතර ඒ අතරින් රුසියානු ගැමි ලියන්ගේ හිස් පළඳනාව අනුකරණය කරමින් සකස් කර තිබූ කොකෝශින්ක් ටියාරාවක් බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා. ඇලෙක්සැන්ඩ්‍රා බිසව එවැනි ටියාරාවක් සඳහා ප්‍රිය කළ අතර ඒ පිළිබඳව දැනගත් කාන්තා සංවිධානයක් විසින් මංගල සංවත්සර ත්‍යාගයක් ලෙස ඇයට මෙම ටියාරාව ලබාදී තිබුණා.

 

4. ෆෙස්ටූන් ටියාරාව (The Festoon Tiara)

1973 වසරේ දී හොංකොං නෞකා සමාගමක නෞකාවක් දියත් කිරීම සඳහා පැමිණි ඈන් කුමරිය වෙත එම සමාගම විසින් තිළිණයක් ලෙස මෙම ටියාරාව ලබාදුන්නා. පසුව විවිධ අවස්ථාවල දී ඇය විසින් මෙම ටියාරාව සහ ඊට ගැළපෙන ආභරණ පැළැඳි අතර 2008 වසරේදී ඇය තම පුත්‍රයා සමඟ විවාහ වූ ඕටම්ට මංගල උත්සව අවස්ථාව සඳහා පැළඳීමට මෙම ටියාරාව ලබාදී තිබුණා.

 

5. ස්පෙන්සර් පවුලේ ටියාරාව (The Spencer Family Tiara)

මෙම ටියාරාව බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් ටියාරාවක් නොවුණත්, ලෝකය පුරාම ජනප්‍රිය වුණු ආභරණයක් නිසා එයත් මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමට අප තීරණය කළා. ඩයනා කුමරිය විසින් තම විවාහ මංගල අවස්ථාවේදී භාවිතා කරන ලද්දේ තම පවුලේ පාරම්පරික උරුමයක්ව පවතින ස්පෙන්සර් ටියාරාවයි. ඇය පමණක් නොව ඇගේ සහෝදරියන්ද ඇගේ සහෝදරයා විවාහ වූ තැනැත්තියද තම විවාහ උත්සව සඳහා මෙම ටියාරාව භාවිතා කරනු ලැබුවා.

 

6. බෙල්ජියන් සැෆයර් ටියාරාව (The Belgian Sapphire Tiara)

දෙවැනි එළිසබත් රැජින විවාහ වන අවස්ථාවේ දී ඇගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජු විසින් සැෆයර් ගෙල පළඳනාවක් සහ කරාබු යුවළක් ත්‍යාගයක් ලෙස ලබා දුන්නා. පසු කලෙක ඇය විසින් මෙම ආභරණ සඳහා ටියාරාවක් සකස් කිරීමට තීරණය කළා. ඒ වන විට බෙල්ජියමේ ලුයිස් කුමරිය සතු ආභරණ එකතුව වෙන්දේසි වෙමින් පැවති අතර එම එකතුවෙන් මිලදීගත් සැෆයර් ගෙල පළඳනාවක් භාවිතා කිරීමෙන් මෙම ටියාරාව සකස් කොට තිබෙනවා.

 

7. ග්ලෝසෙස්ටර් හනිසක්ල් ටියාරාව (The Gloucester Honeysuckle Tiara)

මේරි බිසව සඳහා සකස් කර තිබුණු මෙම ටියාරාව පසුව ඇය විසින් තම පුතෙකු වන ග්ලෝසෙස්ටර් ආදිපාදවරයාගේ බිරිඳ වෙත තිළිණයක් ලෙස ලබාදීමට කටයුතු කළා. මෙම ටියාරාවේ මැද කොටස වෙනස් කිරීමට ඇති හැකියාව නිසා විවිධ ආභරණ, මැණික්, දියමන්ති වැනි දෑ එකතු කරමින් සිය ඇඳුම් පැළඳුම් වලට අනුව ටියාරාව වෙනස් කිරීමේ හැකියාවක් ලැබී තිබෙනවා.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එකට ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *