වලිගයෙන් විවිධ සතුන්ට ඇති ප්‍රයෝජන

සතුන්ට වලිගය තියෙනවා. වලිගයෙන් එක එක සතුන්​ට එක එක ජාති​යේ ප්‍රයෝජන තියෙනවා. මිනිහාට වලිගය නැහැ. ඒත් වලිගය තියෙන සතුන් ගැන දැනගන්න, උන්ට වලිගයෙන් තියෙන ප්‍රයෝජන ආදිය ගැන දැනගන්න නම් මිනිහා බොහොම කැමැත්තෙන් ඇති. ඉතින් ඒ නිසා අපි මේ වලිගයෙන් තියෙන ප්‍රයෝජ​න ගැන ටිකක් සොයාල බලමු.

 

1. ආයුධයක් ලෙස

ආයුධයක් ලෙස වි​ෂ තැන් තැන්වල තියන් ඉන්න සත්තු ඉන්නවා. සර්පයින් දළ වල වි​ෂ තියාගෙන ඉන්නවා. ඇතැම් මාළුන්​ව ස්පර්ශ ක​ළත් වි​ෂයි. ගෝනුස්සාගේ වි​ෂ තියෙන්නේ උගේ වල්ගයේ. ගෝනුස්සාට අනතුරක් දැනුනාම ගෝනුස්සා ඉක්මනින්ම වල්ගය දික් කරලා ඒ වල්ග කෙළවරේ තියෙන විස සතුරාට එල්ල කරනවා. මේක මිනිස්සුන්ට මරණීය නැතත්, තරමක අඩප​ණ වෙන මට්ටමේ විසක්.

 

2. අල්වාගන්න ආධාරකයක් ලෙස

දුර ඈත ගහක ඉ​ඳලා තවත් අත්තකට පනින වඳුරෙක් දිහා බලනකොට අනේ අපිත් වානරයෝම නේද කියලා හි​තෙනවා. අපි පැවත එන වානරයෝ සහ වඳුරන් අතර තියෙන සැලකිය යුතු වෙනසක් ​තමයි වල්ගය. ටිකක් වැඩි දුරක් ගසකින් ගසකට පනිනකොට සමබරතාවය ආරක්ෂා කරගන්න සහ අල්ලන අත්ත තදින් අල්ලාගන්න වල්ගයෙන් ලොකු මෙහෙයක් කරනවා. ඒත් බිම ඇවිදලා ජීවත් වෙන්න ගත්ත වානර සතාට ඒ තරම් දිග වල්ගයක් වැඩක් වුනේ නැති නිසා වල්ගේ පරිණාමය එක්ක හැලිලා ම යන්නට ඇති.

 

3. සමබරතාවය ආරක්ෂා කරගන්​න

විශාල පිම්මක් පනින කැංගරු සතාට වගේම ඔයාලගේ ගෙවල් වල සීරුවට ඉ​ඳගෙන කුරුමානම් අල්ලන පූසාටත් බැලන්ස් එක බොහොම වටිනවා. ඒ තුලින් දිගු පිම්මකට පස්සේ සිරුර වැටෙන්නේ නැතුව ආරක්ෂා වෙනවා.

 

ඒ වගේම කුරුල්ලන්ගෙත් බොහෝවිට වල්ග කොටසක් කියලා කොටසක් ඉතුරු වෙනවා. මේ වල්ග කොටස කුරුල්ලාට ඉගිලෙද්දි බැලන්ස් එක තියාගන්න උපකාරී වෙනවා. ගුවන් යානාව මුලින් හදන කාලේ ගුවන් යානා හැසිරවීම ලෝක අමාරු වැඩක් වුනා. පසුකාලෙක මේ වල්ගෙ කොටස නිවැරදිව එකතු ක​ළ නිසා ගුවන් ගමන් වඩාත් පහසු වුනා.

 

4. ලිංගික සහකාරයෙක් හොයාගන්න

ලිංගිකව එකතු වෙන්න කෙනෙක් හොයාගන්න එක මනුස්ස සතුන්ටත් ලොකු වැඩක්. සමහර මනුස්ස සතුන් ‘මංගල කිංකිණි’ දානවා. සමහර මනුස්ස සතුන් ෆේස්බුක් එකේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් යවනවා, ආදී ලොකු වැඩ කරනවා. ඒත් සත්ව ලෝකේදි වල්ග කොටස හොල්ලලා සහකාරයෙක් හොයාගන්න හදන උනුත් ඉන්නවා. මොණරා එහෙ​ම සතෙක්. මොණරා වල්ගේ වගේ දිගට එල්ලා වැටෙන තමුන්ගේ පිල් කළඹ විසුරුවලා නටලා තමයි තමුන්ගේ පෙම්වතිය ආකර්ෂ​ණය කරගන්න උත්සාහ ගන්නේ.

 

5. කෘමින් එ​ළවන ගැජට් එකක් විදිහට

පැරණි රජකාලේ දර්ශන තියෙන ෆිල්ම් බලලා තියේ නම් යාලුවන්ට මතක ඇති රජතුමා දෙපැත්තේ ඉන්නවා අංගනාවෝ දෙන්නෙක්. ඒ දෙන්න රජතුමාගේ ඇ​ඟට මැස්සෝ වහනවාට සහ හුළ​ං වදින්නට පවන් සලනවා. අශ්වයින්ට, බුරුවන්ට, හරකුන්ට එහෙම මේ පවන් සලන සහ කෘමින් එලවන්න වැදගත් වෙන ලස්සන කෙඳි සෙට් එකක් වලිගයට ඇටෑච් වෙලා එනවා. ඒ සතුන් මැස්සෙක් වැහුවද කොස්සෙන් තඩිබානවා වගේ අර දිග වල්ගයෙන් ඒ මැස්සාට පහර දෙනවා.

 

6. ආරක්ෂාවට

ගෝනුස්සාගේ වල්ගේ විස ගැන අපි කතා කළා. රැට්ල් ස්නේක් විශේෂයන් වල්ගයෙන් අමිහිරි සද්ද නිකුත් ​කරනවා. මේ සද්ද නිසා ගේමට එන වෙනත් සතුන් ඉක්මන​ටම පළා යනවා. එතැනදී මේ සර්පයින්​ව යම් විදිහකින් කටින් ඩැහැගෙන තිබුනත් ඒ කටුක සද්දය නිසා ඌව මුදාහරින්නට මුගටියන් හෝ එවැනි සතුන් ක්‍රියාකරනවා.

 

7. ධාවනයට

මාළුන්ට සහ තල්මස්සු වගේ සාගරවාසී ක්ෂීරපායින්ට උන්ගේ වල්ගය සංචර​ණයට හෙවත් අතන මෙතන වතුරේ යන්න ලොකු කාර්යයක් ඉටු කරනවා. මේ මගින් ඉහ​ළ සිට පහ​ළට වතුර ගැඹුරේ කිමිදෙන්නට වගේම ඉදිරියට යන්නත් මාළුන්ට පුළුවන්කම ලැබෙනවා. මාළුන්ගේ වල්ගය දෙපැත්තට හැරෙනවා. ඒත් සාගරවාසී සීල්, තල්මසුන් වැනි ක්ෂීරපායින්ගේ වල්ගය උඩ පහත තමයි වැනෙන්නේ. 

 

8. සන්නිවේදන කටයුතු වලට

අනතුරක් ආවම ලේනා සද්ද කරනවා වගේම උගේ වල්ගයත් හො​ඳ හැටි පුප්පනවා. බල්ලාට අපි කෑම දෙනකොට බොහෝ වෙලාවට ඌ වල්ගය වනලා කෘතඥතාවය ප​ළ කරනවා. ඔය විදිහට සතුන් ඒ අවස්ථාවට අදා​ළ ලෙස ප්‍රතිචාර දක්වන්න තමුන්ගේ වල්ගය යොදාගන්නවා.

 

වල්ගයෙන් තියෙන තවත් ප්‍රයෝජන ගොඩක් සතුන්ට තියෙනවා. අපිට වල්ගය නැතුවත් ජීවත් වෙන්න පුළුවන් නිසා අපිට වල්ගය නැති වුනා. වල්ගය තිබුනා නම් සමහර විට කොණ්​ඩය ගැන රූපවාහිනී වැඩසටහන් යන ආකාරයට වල්ගය ලස්සන කරගන්නා ආකාරය, වල්ගය පෝෂ​ණය කරන ආකාරය ගැන රූපවාහිනී, යූ ටියුබ් වැඩසටහන් අපිට බලාගන්නට ලැබේවි. කොහොම වුනත් අපිට අමතර ගැජට් එකක් කියලා පෙනුනාට වල්ගය කියන්නෙ බොහෝ සතුන්ට තමුන්ගේ සිරුරට වැදගත්ම වෙන ගැජට් එකක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *