චිකන් කියන්නේ ලෝකේ මිනිස්සු වෙනුවෙන් වැඩිපුරම සැකසෙන මස. චිකන් කියන මස හදන්න ධාන්‍ය ගහක් හැදෙන්න යන කාලෙටත් වඩා අඩු කාලයක් යන්නේ. සරළව කිව්වොත් අපේ ගොයම් ගහක් හැදෙන්න මාස තුනක් ගියාට බ්‍රොයිලර් චිකන් හැදෙන්න යන්නේ මාස එකහමාරයි. ඒ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් මසක් නිසා ලොව වටා ලාබෙට ලේසියෙන් චිකන් ගන්න තියෙනවා. ඒ නිසා හැම රටකම පාහේ කෑම වට්ටෝරු වලට චිකන් එකතු වෙලා තියෙනවා. නැතිනම් පසුකාලීනව හරි චිකන් එයාලගේ කෑම වලට එකතු වෙලා තියෙනවා. ඉතින් අපි අතර ජනප්‍රිය චිකන් හදන ක්‍රම කීපයක් ගැන අපි විස්තර බලමු.
1. බාබකිව් (BBQ) චිකන්
බාබකිව් කරගන්න දේවල් අතරින් චිකන් පහසුවෙන් හදාගන්න පුළුවන්. ඒකෙදි චිකන් මුලින්ම හෝදලා ලොකු කෑලි වලට කපාගන්න ඕනි. කුකුළා කපන නියම තාක්ෂණය අනුව කුකුළා කෑලි 12කට වගේ කපාගත්ත නම් හොඳටම ඇති. මේ ආකාරයට කපාගත් කුකුළා ලුණු, ගම්මිරිස්, දෙහි, ඉඟුරු සුදුළූණු මිශ්‍රණයක ගිල්වලා පසුව තුනපහ, සෝස් සහ වෙනත් දේවලත් ගිල්වලා චිකන් ටික පැය ගාණක් මැරිනේට් කරගන්නවා. ඒ ආකාරයට චිකන් මැරිනේට් කරද්දි ඉන්දියානු රෙසිපි වලදි නම් යෝගට් එකක්, මුදවපු කිරි හැඳි දෙක තුනක් ආදියත් එකතු කරනවා. අපි චිකන් කන හොදි ක්‍රමයට වඩා ක්‍රිස්පි සහ තදට දිවට දැනෙන අමුතු රසයක් බාබකිව් චිකන් වල තියෙනවා.
2. ග්‍රිල් චිකන් සහ තන්දුරී චිකන්
ග්‍රිල් කියන්නේ ලොකු ග්‍රිල් එකකට හිර කරලා දුම ආශ්‍රිතව මස් පුච්චා ගන්න එකට. මේකෙදි දැන් ඉන්දියානුවනුත් චිකන් ටික අවන් එකේ හෝ රොටි තැටියක හොඳට පුච්චගෙන පසුව එයට ස්මෝක් එක, එහෙම නැතිනම් දුම ඇතුළත් කරනවා වෙනම බඳුනකට දාලා. මේ ක්‍රමයෙදිත් මැරිනේට් කරගන්න එක අනිවාර්යයි. ඔරිජිනල් විදිහටම කරද්දි නම් මේ දුම හරහා පිළිස්සෙන්න දර, පොල් කටු වැනි ක්‍රම පාවිච්චි කරනවා. අරාබි රටවල නම් චිකන් පුළුස්සන්න වෙනමම වලවල් හාරලා වලවල් වලට දර දානවා. ඒ දරවල දුමින් චිකන් ටික සෙමෙන් සෙමෙන් ගාණට පදම් වෙනවා. අපේ වර්තමාන රෙසිපි වලදි චිකන් ටික විනාඩි ගාණකින් හදාගන්න පුළුවන් වුණත් ඉස්සර තිබුණු මේ තන්දුරී චිකන්, ග්‍රිල් චිකන් හදන පැරණි ක්‍රම වලදි පැය ගාණක් දුම එක්ක, රස්නය එක්ක පැළහෙන මස් තමයි අවසානයේ සැකසෙන්නේ.
3. නාන් සහ චපාති කන්න හදන බටර් චිකන්
මේ බටර් චිකන් කරිය හදන්නේ රොටි කන්න නිසා මේක සාමාන්‍ය අපේ චිකන් හොද්දට වඩා ඝනකම වැඩියි. ඒ කියන්නේ ටිකක් අර මිල්ක්මේඩ් ටයිප් එකේ උකු හොද්දක් මේ බටර් චිකන් වල තියෙනවා. බටර් චිකන් වලට චිකන් මැරිනේට් කරද්දි ඒකට බටර්, යෝගට් හෝ කිරි එකතු කරනවා. ඒ වගේම මැරිනේට් නැතුව නිකම්ම වුණත් කිරි, බටර්, යෝගට් හෝ මුදවපු කිරි එකතු කරලා බටර් චිකන් හදාගන්න පුළුවන්. අපේ චිකන් කරියට වඩා සියුම් පැණිරසක් මේ කරි එකේ තියෙනවා. ඒකට හේතුව තක්කාලි. අඹරාගත් තක්කාලි සහ කජු එකතු කිරීමෙන් මේ බටර් චිකන් කරියට හොඳ හොද්දක් වගේම නැවුම් රසක් එකතු වෙනවා. ඉන්දියානුවන් අතර ජනප්‍රිය මේ චිකන් කරිය රොටි වර්ග කන්න කියාපු කරියක්.
4. තීරු චිකන් සමග නූඩ්ල්ස් සහ බත්
ෆ්‍රයිඩ් රයිස් කියන්නේ චීන කෑමක් විදිහට අපේ රටේ අය හිතුවත් මේ ෆ්‍රයිඩ් රයිස් අපේ විදිහට දකින්න තියෙන රට තමයි තායිලන්තය. තායි රටේදිත් අපේ වගේම රයිස් එකට කුඩා චිකන් තීරු එකතු කරනවා. එයින් චිකන් රස රයිස් එකට ඇතුළත් වෙලා අමුතු ටේස්ට් එකක් මවනවා. මේ ආකාරයට සිහින් චිකන් කැබලි චීන නූඩ්ල්ස් සමගත් එනවා. එහිදී දියරමය නූඩ්ල්ස් වල ගිල්වුන චිකන් සහ එළවළු වර්ග චීන රෙසිපි වල තියෙනවා. ඒ තීරු චිකන් ආහාරය සමග සයිඩ් එකෙන් බත් කෝප්පයක් ආහාරයට එකතු කරගන්නා අවස්ථාත් තියෙනවා.
5. චිකන් බර්ගර්
චිකන් බර්ගර් කියන්නේ බර්ගර් ලෝලීන් අතර ජනප්‍රිය කෑමක්. ඒ වගේ කඩවල බර්ගර් වලට අමතරව සබ්මැරීන් ආදී දේත් තියෙනවා. මේ රෙසිපි වලදි මුලින් උයාගෙන, සකසාගෙන තිබෙන චිකන් නැවත සකසා බර්ගර් විදිහට දෙනවා. මේ සැකසූ මස් ඔරිජිනල් චිකන් තරම් තද නැහැ. මෘදුවට සහ එකතු කරන ලද රසකාරක සමග සෝස් සමග හැපෙන මේ බර්ගර් වල තිබෙන චිකන් දරුවන්ට වුණත් කෙළින්ම ආහාරයට ගන්නට පුළුවන්. චිකන් බර්ගර් සහ එවැනි නිෂ්පාදනවලට ගන්න චිකන් තෙල් වර්ගවල මේදය සමග යහමින් මුසු වෙන නිසා ඒවා සෞඛ්‍යමය අතින් නම් එච්චරම හොඳ නැහැ.
6. චිකන් සැන්ඩ්විච් පාන් සහ බනිස්
බේකරි සහ රොටි නිෂ්පාදනවලට මැද පිරවුමක් විදිහට චිකන් දානවා. මාළු බනිස්, මාළු රොටි වලට වඩා චිකන් රොටි ගන්න උදවිය වැඩියි. අපේ කොත්තු වලට චිකන් දානකොටත් චිකන් කෑල්ල පිටින් කොත්තුව උඩින් තැබීම සහ කපලා දැමීම කියන ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. මේ ක්‍රම වලදි හොඳට පදම් කරගත් චිකන් සිහින්ව අඹරා හෝ ලියාගෙන ඒවා අල සහ වෙනත් කුළුබඩු සමග උයාගෙන තමයි බනිස් සහ රොටි ඇතුළට යන්නේ. දැන් චිකන් වලටත් වඩා චිකන් රස ගන්න පුළුවන් රසකාරක තිබෙන නිසා ඒ චිකන් ඇබින්දක් තිබුණත් චිකන් රසනම් ඒ කෑම වර්ග වල යහමින් තිබෙනවා.
7. අපි චිකන් හදන හැටි
අපි චිකන් මූලික වශයෙන් චිකන් කරි වශයෙන් තමයි කන්නේ. ඒකටම වෙන් වෙච්චි චිකන් කරි කුඩු පැකට් කඩේ තියෙනවා. ඒ පැකට් එකක් අරගෙන ඒකේ මදි පාඩුවට ළූණු, ලුණු, මිරිස් පහේ ටික දාලා, වතුර දාල අත ගාගෙන ලිපේ තියලා මද ගින්දරේ පැය බාගෙකින් විතර බෑවම අපේ චිකන් කරිය හරි. මේක කොලිටි විදිහට හදනවා නම් තුනපහ, මිරිස්, රම්පේ කරපිංචා ආදිය ගෙදරම අඹරලා අරගෙන හදන්නත් පුළුවන්. දැන් තියෙන කුකුළුමස් මෙලෙක් නිසා මේ ක්‍රමයට ලොකු අවුලක් නැහැ. ඒත් ඉස්සර කාලේ ගම් කුකුල්ලු උයනකොට නම් ගස්ලබු පෙති, කංසා කොළ ආදිය කරි එකට දාලා මස් මෙලෙක් කරගෙන තියෙනවා. කේරළ සහ බෙංගාලයෙත් චිකන් හදන්නේ මේ විදිහටම තමයි. අපි ඔවුන්ගෙන් ගත්තාද ඔවුන් අපෙන් ගත්තාද කියන්න නම් දන්නේ නැහැ.
නිතරම යහමින් ප්‍රෝටීන සහ මේද වර්ග සිරුරට ලැබෙන අයට නම් නිතර චිකන් කෑම හොඳ පුරුද්දක් නෙමෙයි. ඒත් අපේ රටේ වැඩි දෙනෙක්ට චිකන් නිතර කන්න ලැබෙන්නෙ නැහැ. ඉතින් එකම විදිහට චිකන් හදන්නේ නැතිව එක එක රෙසිපි වලට චිකන් හදලා බැලුවොත් චිකන් රස කියල අපි හුරුවෙලා තියෙන රසත් වෙනස්කරගන්න ඔයාලට පුළුවන් වෙයි.
Leave a Reply