විශේෂ දවසක හදන ලන්ච් එකට වෙනස්ම ඩිශස් 5ක්

විශේෂ දවස් වලට ගෙවල් වල හදන්නෙම මස් කරියයි, අල තෙල් දාලයි, පරිප්පුයි, සලාදයි, වම්බටුයි වගේ හරිම සාම්ප්‍රදායික කෑම වර්ග ටිකක්නෙ. හැබැයි විශේෂ දවසකට වෙනස්ම විදියට කෑම හදාගන්න ඔයාලා කැමතියි නේද? ඔන්න අද අපි ගෙනාවෙ එහෙම රෙසිපි ටිකක්. එකම මෙනූ එක නැතුව විශේෂ දවසකට මේ ඩිශස් හදල බලන්නකො රස. 

 

1. මශෲම් මැන්චූරියන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බට්න් මශෲම් කෝප්ප 1
  2. පාන්පිටි කෝප්ප 1
  3. කෝන්ෆ්ලා කෝප්ප 1/2
  4. මිරිස්කුඩු තේ හැඳි 1/2
  5. රස අනුව ලුණු
  6. චොප්කරගත් ඉඟුරු, සුදුළූණු තේ හැඳි 2
  7. ලොකුවට කපාගත් ළූණු ගෙඩි 1
  8. හීනියට කපාගත් අමුමිරිස් කරල් 2
  9. බෙල්පෙපර් ගෙඩි 1/2
  10. ග්‍රීන් චිලි සෝස් මේස හැඳි 1
  11. සෝයාසෝස් මේස හැඳි 1
  12. විනාකිරි මේස හැඳි 1
  13. තක්කාලි සෝස් මේස හැඳි 4
  14. ලුණු
  15. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2

 

  • පාන්පිටි වලට කෝන්ෆ්ලා දාලා මිරිස්කුඩු හා ලුණු එකතු කරලා වතුර ටික ටික දාලා තික් බැටර් එකක් හදාගන්න. මේකට මශෲම් ටික දාලා කෝට් කරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා ඉඟුරු සුදුළූණු එකතු කරලා ළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න. 
  • ඒකට අමුමිරිස් හා බෙල්පෙපර් එකතු කරන්න. සෝස් වර්ග ටික දාලා කලවම් කරගන්න. රස අනුව ලුණු, කොත්තමල්ලි කුඩු දාලා තව ටිකක් කලවම් කරලා බැටර්ඩ් ෆ්‍රයි කරපු මශෲම් ටික දාගන්න. කලවම් කරලා චොප්කරගත් කොත්තමල්ලි කොළ දාලා ලිප නිවාගන්න. 

 

2. මාළු ස්ටූ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තලපත් මාළු ග්‍රෑම් 500
  2. ලුණු හා ගම්මිරිස්කුඩු
  3. කහකුඩු තේ හැඳි 1/2
  4. විනාකිරි
  5. රම්පේ හා කරපිංචා
  6. චොප්කරගත් සුදුළූණු බික් 4
  7. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
  8. අබ කුඩු මේස හැඳි 1/2 සහ තේ හැඳි 1/2
  9. රවුමට ලියාගත් ළූණු ගෙඩි 4
  10. රවුමට කපාගත් මාළුමිරිස් කරල් 2
  11. අමුමිරිස් කරල් 3-4
  12. කුරුඳු පොතු කෑල්ලක්
  13. කරදමුංගු කරල් 2
  14. කරාබුනැටි 2
  15. පෙති කපාගත් කැරට් අල 1
  16. තෙල් ස්වල්පයක්

 

  • මාළු ටික ඇතිලියකට දාලා ලුණු,  ගම්මිරිස්කුඩු, කහකුඩු හා අබ කුඩු තේ හැඳි 1/2ක් දාලා විනාකිරි එක්ක කලවම් කරගන්න. මේකට වතුර කෝප්ප 1ක් දාලා විනාඩි 10ක් හොඳට තම්බගන්න. 
  • ඒ අතරෙ අබ කුඩු මේස හැඳි 1/2ට  විනාකිරි තේ හැඳි 2ක් දාලා කලවම් කරලා තියාගන්න. 
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට මේකට රම්පේ, කරපිංචා, ඉඟුරු, සුදුළූණු, කරදමුංගු, කරාබුනැටි හා කුරුඳු පොතු කෑල්ලත් දාලා විනාඩියක් විතර තෙම්පරාදු කරගන්න. 
  • මේකට අබ, විනාකිරි මිශ්‍රණය හා මාළු වල ග්‍රේවි ටික දාලා හොඳට කලවම් කරගන්න. මේකට තව ගම්මිරිස් කුඩු තේ හැඳි ½ ක් හා කහකුඩු ස්වල්පයක් දාලා හැඳිගාන්න. රස අනුව ලුණු එකතු කරගන්න. 
  • දැන් මේකට අමුමිරිස්, කැරට් හා මාළුමිරිස් ටික දාලා විනාඩි 2ක් විතර කුක් කරගන්න. අන්තිමට ළූණු ටිකත් දාලා කලවම් කරලා මාළු ටික දාගන්න. මාළු දැම්මට පස්සෙ මාළු කැඩෙන්නෙ නැතිවෙන්න පරිස්සමට කලවම් කරගන්න. 

 

3. බේබිකෝන් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පොඩියට කපාගත් බේබි කෝන් කෑන් 1
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. කෝන්ෆ්ලා තේ හැඳි 3
  4. මිරිස්කුඩු තේ හැඳි 3
  5. කපාගත් මාළුමිරිස් කරල් 2
  6. විනාකිරි තේ හැඳි 4
  7. ලොකුවට කපාගත් ළූණු ගෙඩි 2
  8. කපාගත් තක්කාලි ගෙඩි 2
  9. සෝයා සෝස් මේස හැඳි 2
  10. කපාගත් ලීක්ස් ගස් 1/2
  11. ඉඟුරු, සුදුළූණු පේස්ට් තේ හැඳි 2
  12. ලුණු හා ගම්මිරිස්කුඩු
  13. තෙල් ස්වල්පයක්
  14. උණුවතුර කෝප්ප 1/2
  15. සීනි තේ හැඳි 2

 

  • බේබි කෝන් වල වතුර බේරගෙන ඒ ටික ගැඹුරු තෙලේ බැදගන්න. 
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා ඉඟුරු, සුදුළූණු හා චොප් කරගත් ළූණු ටික දාගෙන තෙම්පරාදු කරගන්න. 
  • ඊලඟට කපාගත් මාළු මිරිස්, ලීක්ස් හා ලොකුවට කපාගත් ළූණු ටිකත් දාගන්න. කලවම් කරන ගමන් තක්කාලි එකතු කරන්න. ටිකකින් ගම්මිරිස්කුඩු හා මිරිස්කුඩු එක්ක සෝයාසෝස් දාගන්න. ලිපේ ගින්දර ටිකක් වැඩි කළාට කමක් නෑ. 
  • දැන් රස අනුව ලුණු දාලා උණුවතුර දාගන්න. ටිකක් හැඳිගාලා සීනි ටික හා විනාකිරි එකතු කරන්න. කෝන්ෆ්ලා ටික වතුර ස්වල්පයක් දියකරගෙන මේකට එකතු කරන්න. හොඳට උකු උනාම අන්තිමට බැදගත් බේබිකෝන් ටික දාලා කලවම් කරගන්න. 

 

4. ගෝවාමල් අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පොඩියට කඩාගත් මල්ගෝවා ග්‍රෑම් 500
  2. මිරිස්කුඩු තේ හැඳි 1
  3. කහකුඩු තේ හැඳි 1/2
  4. චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු තේ හැඳි 2
  5. කහකුඩු තේ හැඳි 1
  6. සීනි කෝප්ප 1/4
  7. විනාකිරි කෝප්ප 1/2
  8. ලුණු
  9. බැදීමට තෙල්
  10. මසාලා පවුඩර් එක සඳහා
  11. වියළි මිරිස් කරල් 10
  12. කොත්තමල්ලි ඇට මේස හැඳි 2
  13. ගම්මිරිස් ඇට මේස හැඳි 1
  14. සූදුරු පින්ච් එකක්
  15. මාදුරු පින්ච් එකක්
  16. උළුහාල් තේ හැඳි 1
  17. අබ තේ හැඳි 1

 

  • මල්ගෝවා පොඩියට කඩලා මිරිස්කුඩු, කහකුඩු හා ලුණු දාලා කලවම් කරලා පොඩ්ඩක් සීසන් කරගන්න. 
  • මසාලා පවුඩර් එකට මිරිස් කරල් ටික කඩලා තාච්චියකට දාලා කොත්තමල්ලි ඇට, ගම්මිරිස්, සූදුරු, මාදුරු, අබ, උළුහාල් ටික දාලා කබලෙ බැදගන්න. දැන් මේක ග්‍රයින්ඩ් කරගන්න. 
  • පෑන් එකකට තෙල් දාලා මල්ගෝවා ටික රන්වන්පාට වෙනකල් ගැඹුරු තෙලේ බැදගන්න. දැන් ඒ පෑන් එකේම තෙල් මේස හැඳි 2ක් වගේ ඉතුරු කරගෙන වැඩිපුර තෙල් ටික අයින් කරගන්න. 
  • මේ පෑන් එකට ඉඟුරු සුදුළූණු ටික දාලා බැදගන්න. ඊළඟට බැදගත් මල්ගෝවා ටික දාගන්න. ඒකට හදාගත්තු මසාලා එක දාගන්න. ගින්දර අඩු කරලා කලවම් කරගන්න. විනාඩි 3කින් විතර සීනි හා විනාකිරි ටික දාගන්න. රස අනුව ලුණු දාගන්න. තව විනාඩි 7-8ක් පිසගෙන ලිපෙන් බාගන්න. 

 

5. චිකන් කුර්මා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තරමක කෑලි කපාගත් චිකන් කිලෝ 1
  2. චොප්කරගත් ළූණු ගෙඩි 2
  3. කරපිංචා ස්වල්පයක් 
  4. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  5. තෙල් ස්වල්පයක් 
  6. චොප්කරගත් තක්කාලි ගෙඩි 2
  7. කහකුඩු තේ හැඳි 1/4
  8. ලුණු ස්වල්පයක් 
  9. වතුර කෝප්ප 2 1/2
  10. කොත්තමල්ලි කොළ ස්වල්පයක්

 

මසාලා පේස්ට් එකට

 

  1. තෙල් මේස හැඳි 2
  2. කරදමුංගු 2
  3. කරාබුනැටි 2
  4. ස්ටාර් ඇනීස් 1
  5. කුරුඳු පොතු කෑල්ලක්
  6. සුදුළූණු බික් 6-7
  7. ඉඟුරු කෑල්ලක්
  8. චොප්කරගත් ළූණු ගෙඩි 2
  9. චොප්කරගත් තක්කාලි ගෙඩි 1
  10. ගාගත් පොල් කෝප්ප 1
  11. රෝස්ට් කරගත් කඩල පරිප්පු මේස හැඳි 1
  12. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
  13. වතුර කෝප්ප ¼

 

  • මුලින්ම මසාලා පේස්ට් එක හදාගන්න පෑන් එකකට තෙල් ටිකක් දාලා කරදමුංගු, කරාබුනැටි, ස්ටාර් ඇනීස්, කුරුඳු පොතු දාලා ෆ්‍රයි කරගන්න. මේකට ඉඟුරු හා සුදුළූණු ටික එකතු කරලා චොප්කරගත් ළූණු, අමුමිරිස් ටික එකතු කරන්න. 
  • ළූණු ටික රන්වන්පාට වෙනකල් බැදුනම තක්කාලි එකතු කරන්න. තවත් විනාඩි 5ක් විතර කලවම් කරලා රස අනුව ලුණු දාලා විනාඩි 10ක් පිසගන්න. 
  • ග්‍රයින්ඩර් එකට ගාගත් පොල් ටික දාලා කඩල පරිප්පු එකතු කරගන්න. දැන් මේකට තෙම්පරාදු කරපු මසාලා එක දාලා කලවම් කරලා කොත්තමල්ලි කුඩු දාගන්න. දැන් වතුර ටිකත් දාලා හොඳට ග්‍රයින්ඩ් කරලා මසාලා පේස්ට් එක හදාගන්න. 
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා චොප්කරගත් ළූණු දාලා බැදගන්න. කරපිංචා හා අමුමිරිස් එකතු කරන්න. දැන් චොප්කරගත් තක්කාලි ටික දාලා කහකුඩු එකතු කරන්න. 
  • රස අනුව ලුණු දාලා කලවම් කරලා චිකන් ටික දාගෙන ටිකක් බැදගන්න. මේකට මසාලා පේස්ට් එක දාලා වතුර කෝප්ප 2 1/2ක් එකතු කරලා තික් කරියක් එනකම් පිසගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *