ඕනෑම මනුස්සයෙක්ගේ ජීවිතේ හොඳම කාලේ තිහේ ඉඳලා පණහ වෙනකල් කියලා කිවුවොත් විශ්වාස කරනවද? මොකද අවුරුදු තිහ වෙනකල් ජීවිතේ ඇත්තටම වැඩුණු මිනිහෙක් හැටියට නෙවෙයි ගතවෙන්නේ. එතකල් වෙන්නේ වැඩිහිටි ලෝකෙට ක්‍රම ක්‍රමයෙන් පුරුදු පුහුණු වෙන එක. හැබැයි විසිපහෙන්, තිහෙන් පස්සේ තමයි මනුස්සයෙක් වැඩිහිටියෙක් විදියට, වෘත්තිය ප්‍රවීණයෙක් විදියට, දරුපවුල්කාරයෙක් විදියට ලෝකෙට හරියට මුහුණ දෙන්නේ. හැබැයි ඉතින් මේ කාලේ හොඳම කාලේ විදියට ගත කරන්න නම් ඕනෑම තිහ පැනපු මනුස්සයෙක් ජීවිතේට එකතු කරගන්න ඕන පුරුදු ටිකක්, ගතිගුණ ටිකක්, ප්‍රතිපත්ති ටිකක් තියෙනවා. ඒවා තමයි මේවා!
1. විශ්‍රාම ගැනීම ගැන හිතන්න පටන් ගන්න
මේ කියන්නේ පුලුවන් ඉක්මනට විශ්‍රාම යන්න කියලා නෙවෙයි. මුදල් ඉතිරි කිරීම ගැන සෑහෙන්න සීරියස් පිට හිතන්න ඕන කියන එකයි. ඒ කියන්නේ බැංකු පොතේ ඉතිරි කරන එකම නෙවෙයි. කොහොමත් මේ ආර්ථිකේ හැටියට නිකම්ම බැංකු පොතේ දාලා අනාගතේට ඇති වෙන්න සල්ලි ඉතුරු කරන්න බෑ. හැබැයි ආයෝජනය කරන්න පුලුවන්. ඒත් වා නම් වා, පෝ නම් පෝ ලෙවල් එකේ ආයෝජන ගැන නෙවෙයි අපි කියන්නේ. දීර්ඝ කාලීනව ඉහළ ප්‍රතිලාභ ලබාදෙන, සාපේක්ෂව අවදානම් රහිත, විශ්වාසනීය ආයෝජන. ඒක ඉතින් පොඩ්ඩක් දැන කියාගන්න ඕන සාස්තරයක්. හැබැයි තිස් ගණන් වලම මේක පටන් ගත්තොත් හැට ගණන් වෙනකොට සැපේ ඉන්න පුලුවන්.
2. මහන්සියෙන් වැඩ කරනවාටත් වඩා ඥානවන්තව වැඩ කරන්න
හරියට වෘත්තිය ජීවිතේ පටන් ගත්තු සහ පවත්වාගෙන ගියපු හාදයෙක් නම් අවුරුදු තිහක් තිස්පහක් වෙනකොට තමන්ගේ ඉන්න ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ විසි ගණන් වල වගේ ආධුනිකයෙක් විදියට බෙල්ල කඩාගෙන වැඩ කරන්න ඕන නෑ. ගොඩක් වෙලාවට මේ වෙනකොට විධායක මට්ටමේ කෙනෙක්, වෘත්තීය ප්‍රවීණයෙක්, මධ්‍යම තලයේ කළමනාකාරීවරයෙක් වගේ තත්ත්වයක තමයි කෙනෙක් ඉන්නේ. ඒ කියන්නේ මේ කාලේදී “වර්කින්ග් හාඩ් කියන එකටත් වැඩියෙන් වර්කින්ග් ස්මාට්” කියන එක තමයි කෙරෙන්න ඕන. තමන්ගේ ප්‍රවීණත්වයෙන්, දැනුමෙන් වැඩි මුදලක් උපයන්න මේ කාලේදී පුලුවන් වෙන්න ඕන. තාමත් එහෙම බැරි වුනා නම් වහාම ඒකට අවශ්‍ය කුසලතා හදාගන්නත්, වෘත්තිය ඉණිමගේ ඉහළ නගින්න පටන් ගන්නත් ඕන.
3. සල්ලි වලට සතුට ගන්න පුලුවන්!
ඔය සල්ලි වලට සතුට ගන්න බෑ කියන කතාව ඉස්සර මන්තරේ වගේ කිවුවට ඇත්තටම ඒක බොරු. “සල්ලි පස්සේම දුවන එකෙන් සතුට ලැබෙන්නේ නෑ” කිවුවොත් ඒක හරි. හැබැයි සතුටින් ජීවත් වෙන්න ඕන නම් හොඳට සල්ලි තියෙන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ ප්‍රමාණයට, තමන් ඉන්න තලයේ හැටියට යම් යම් දේවල් ළඟා කරගන්න, පැවැත්ම කරගෙන යන්න, පවුල නඩත්තු කරන්න, සතුට ලබාදෙන දේවල් අත්විඳින්න සල්ලි අනිවාර්යයෙන්ම ඕන. ආන්න ඒ නිසා සල්ලි හම්බුකිරීම ගැන මේ කාලේ හොඳ අවධානයක් යොමු කරන්න ඕන. ඇත්තටම මේ කාරණාව උඩින් කියපු කාරණාව එක්කත් සම්බන්ධයි. ඒ වගේම නිස්කාරණේ සල්ලි පුච්චන්නේ නැතුව හොඳ මාසික සැලසුමක් යටතේ සල්ලි වියදම් කිරීමත් මේ කාරණාවට සම්බන්ධයි. හම්බ කරන හැම සතේම කැළණි ගඟට ඩිස්ප්‍රීන් පෙත්තක් දැම්මා වගේ නම් අමතර වැඩක් එහෙම කරලා ගාණක් හොයාගත්තත් කාරියක් නෑ.
4. හැබැයි පවුලට තැන දෙන්නත් ඕන
ඔන්න ඔතන තමයි ට්‍රික් එක. අවුරුදු තිහ පැන්නට පස්සේ තනිකම දැනෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඇත්තටම අපි සමාජ සත්වයොනේ. ඒ කියන්නේ අපිට ලව් කරන්න කෙල්ලෙක් හරි විවාහ ජීවිතේට කොල්ලෙක් හරි ඕන කියන එක විතරක් නෙවෙයි. තමන්ගේ පවුලේ අය වුවමනායි. අව්‍යාජ යාලු මිත්තරයෝ වුවමනායි. මොකද අපිට මේ ගේම් එක ගහලා දිනන්න වක්‍රාකාරයෙන් මේ හැමෝගෙන්ම ගැම්මක් ලැබෙනවා. අන්න ඒ නිසා ඔය උඩින් කියපු හැමදේමත් එක්කම තමන්ගේ පවුල, තමන් ආදරය කරන අය වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න ඕන. මාසෙකට දෙහෙකට සැරයක් යාලුවෝ එක්ක සෙට් වෙන්නත් වෙලාව වෙන් කරගන්න ඕන. මොකද මේ අයව අත ඇරලා රේස් දුවලා, පස්සේ අපිට පසුතැවෙන්න කාලයක් ඉතුරු වෙන්නෙ නෑ.
5. තමන් ගැන වැඩි වැඩියෙන් හිතන්න ඕන
අපි හැමදාමත් අපි ගැන හිතුවා කියල නේද හිතාගෙන ඉන්නේ? වැරදියි. අපි ඇත්තටම තිහට කලින් අපි ගැන හරියට හිතලා නෑ. හැබැයි තිහෙන් පස්සේවත් හිතන්න පටන් ගන්න ඕන. ඒකට හේතුවක් තියෙනවා. අපි හරි ජීවන රටාවක් නිසා වැඩි කරගන්නේ අපේ වයසක කාලය නෙවෙයි. වයස්ගත වෙලත් ෆිට් එකේ කොල්ලා, කෙල්ල වගේ ඉන්න තියෙන කාලය තමයි දීර්ඝ කරගන්නේ. ආන්න ඒ නිසා තිහ පැනපු ගමන් පුරුද්දක් වශයෙන් කාලෙන් කාලෙට වෛද්‍ය පරීක්ෂාවන් එහෙම කරගන්න පටන් ගන්න ඕන. නිවැරදි, පෝෂ්‍යදායී විදියට ආහාර ගන්න පුරුදු වෙන්න ඕන. ඒ කියන්නේ ඉස්සර වගේ සතියේ දවස් හතරක් බෝතලේට සෙට් වෙලා, කණ පාත් වෙන්න බොන එක, දවස් දෙකට සිගරට් පැකට් එකක් අදින එක නවත්තන්න ඕන. හිතෙන හිතෙන හැම දෙයක්ම කන බොන එක නවත්තන්න ඕන. දවසට හරි පැය ගාණක් කොහොම හරි නිදාගන්න ඕන. ඒ එක්කම කරුණාකරලා ශාරීරික ව්‍යායාම වලටත් දිනචරියාවෙන් තැනක් දෙන්න ඕන.
6. අයිස්ක්‍රීම් කාරයෙක් වෙන එක නවත්තන්න
මේ කියන්නේ බොහොම සරල දෙයක්. මුළු ලෝකේම සතුටු කරන්න යන එක අවුරුදු තිහ පැන්නහම නවත්ත ගන්න. නෑ, බෑ කියන්න පුලුවන් පුරුද්ද ඇති කරගන්න. ඕනෑවට වඩා හම්බුවෙන හැම කෙනාම විශ්වාස කරන එක නවත්තගන්න. තමන්ගේ සමීප යාලුමිත්‍රයෝ ඇරුණහම අනෙක් දන්න අඳුනන, නොදන්න නාඳුනන හැම එකාටම උදවු කරන්න යන එක නවත්තගන්න. කොටින්ම කිවුවොත් අනවශ්‍ය මිනිස් සම්බන්ධතා වලට කාලය, හැඟීම්, ශ්‍රමය සහ සල්ලි නාස්ති කරන එක කරුණාකරලා නවත්තගන්න. අවුරුදු තිහ පනිනවා කියන්නේ අපිට ඊට වඩා සීරියස් මිෂන් එකක් තියෙනවා. තේරුමක් නැති දේවල් එක්ක දඟල දඟල ඉන්න කාලයක් නෑ.
අනෙක් අතට හැබෑවටම අපේ උදවු වුවමනා කෙනෙක්ට පුලුවන් මොහොතේදී උදවුවක් කරන්න. හැබැයි කවදාවත් ඒ උදවුව තව දෙයක් බලාපොරොත්තුවෙන් නොකරන්නත් වගබලා ගන්න. උදවුව කරලා එතනින් අමතක කරන්න. හැබැයි ජීවිතේම තමන්ගේ වැඩ පාඩු කරන් අනික් අයට උදවු කරන ඩයල් එකක් නොවෙන්න.
7. තමන්ටම කියලා ආතල් එකක් තියෙන්න ඕන
තමුන් ඉස්සර පොතේ පතේම ඇලිලා හිටපු, දැන් වුනත් ඔෆිස් එකේ පුටුවටම හරි ගෙදර පුටුවටම හරි ඇලිලා ඉන්න ඩයල් එකක් වෙන්න පුලුවන්. එහෙම නම් තිහ පැන්නට පස්සේවත් එලියට බැහැලා ආතල් එකක් ගන්න. ඒ කියන්නේ සංචාරය කරන එක, කෑම්පින්ග් පාරක් දාන එක වගේ වැඩක් ඉඳලා හිටලා කරන්න. එතකොට පොතක් පතක් කියවන්න නැතිනම් ෆිල්ම් එකක් ටීවී සීරීස් එකක් බලන්න නැතිනම් සිංදුවක් අහන්න හුරු වෙන එකත් හොඳයි. විනෝදාංශයක් දෙකක් එහෙම පටන් ගන්න එකත් මරු. කොටින්ම කිවුවොත් හරකෙක් වගේ දිවා රාත්‍රී වැඩ කරන්නේ නැතුව, මහන්සියෙන් වැඩ කරන අතරේම තමන් ජීවත් වෙනවාය කියලා දැනෙන ආතල් එකක් එහෙමත් අනිවාර්යයෙන්ම ගන්න ඕන. ඔය ආතල් අතරට අර ඩ්‍රීම් ලිස්ට්, බකට් ලිස්ට් වගේ ඒවාත් එකතු කරගත්තට කාරි නෑ.
Leave a Reply