සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණයෙන් නිරුවත් වුණු බොලිවුඩ් තරු

සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණයත් සමගම සුන්දර බොලිවුඩ් සිනමාවේ අසුන්දර පැත්ත ඉන්දියානුවන් ඉදිරියේ පමණක් නොව සමස්ත ලෝකය ඉදිරියේම දිගහැරෙමින් පවතිනවා. මුල් අවස්ථාවේදී සුශාන්ත්ගේ මරණය මානසික ආතතිය නිසා සිදුවූවක් යැයි පැවසුවත් ඔහුගේ දෙමව්පියන් සහ ඉන්දීය ජන මාධ්‍ය එය ඝාතනයක් බවට දිගින් දිගටම කරුණු හෙළි කරමින් තිබුණා. එහිදී මෙතෙක් සුන්දර මිනිසුන් ලෙස හඳුන්වමින් තිබූ බොලිවුඩ් සිනමාවේ පතාක යෝධයන්ගේ සළුපිළි ඉවත්වෙමින් ඔවුන්ගේ නිරුවත නිරාවරණය වෙමින් පවතිනවා. සුශාන්ත් සඳහා සාධාරණයක් ඉෂ්ට විය යුතු බවට ප්‍රසිද්ධ මාධ්‍ය හරහා සටනක් ගෙන යන්නේ තවත් සුප්‍රකට බොලිවුඩ් නිළියක් වන කන්ගනා රානව්ත්ය. ඇය ඉන්දීය සිනමාව තුළ තමන්ට මුහුණ දීමට සිදුවුණු අසාධාරණකම් සහ සුශාන්ත්ට දිවි අහිමි කිරීමට හේතු වුණු සිනමා මාෆියාව පිළිබඳව හෙළි කරනු ලබන කරුණු වඩාත්ම සමීප වන්නේ ඛේදාන්තයකින් කෙළවර වන හින්දි සිනමා පටයකටයි. මේ හෙළිදරව් කිරීම් හරහා මේ වන විට හින්දි සිනමා රසිකයන් අතර දුෂ්ටයන් බවට පත් වී සිටින කීපදෙනෙක් ගැන සැබෑ නිරුවත සිංහල පාඨකයන් හට Lifie අපි මෙසේ ඉදිරිපත් කරන්නට කල්පනා කළා.

 

1. කරන් ජෝහර්

තම පළමු සිනමා නිර්මාණයෙන්ම බොක්ස් ඔෆිස් වාර්තා තැබූ නිර්මාණකරුවෙකු වන කරන් ජෝහර් බොහෝ දෙනෙක් පිළිගන්නේ සුන්දර මනුෂ්‍යයෙකු ලෙසයි. එහෙත් ඔහු කොතරම් අසුන්දර පුද්ගලයෙක්ද යන්න කන්ගනා ඇතුළු පිරිස හෙළි කරමින් පවතිනවා. බොලිවුඩයේ සුපිරි තාරකාවන්ගේ දරුවන්ව තම චිත්‍රපට හරහා කළඑළි බැස්සවීමට උපරිම උත්සාහය දරණ කරන්, ඔවුන්ට අභියෝගයක් විය හැකි බොහෝ තරුණ නළු නිළියන්ගේ සිනමා දිවිය අවුල් කිරීමට කටයුතු කර තිබෙන බව මේ වන විට ඉන්දීය මාධ්‍ය මඟින් මගින් අනාවරණය කොට තිබෙනවා.

 

2. සල්මාන් ඛාන්

සරාගී සහ කඩවසම් දේහයකින් යුතු මේ නළුවා බොහෝ අවස්ථාවල නීතිවිරෝධී ක්‍රියා පිළිබඳව කුප්‍රකට වූ අයෙක්. එහෙත් ඔහු ඊට එහා ගිහින් තමන්ට තර්ජනයක් විය හැකි හෝ තමන්ට නිසි ගරුත්වයක් ලබා නොදුන් නවක නළු නිළියන්ව දඩයම් කිරීමට කටයුතු කරන ආකාරය පිළිබඳව ඉන්දියාව පුරාම කතාබහක් ඇති වී තිබෙනවා. හෙළි වී ඇති කරුණුවලට අනුව කලකට පෙර නැගී එන නළුවෙකු වූ විවේක් ඔබරෝයිගේ සිනමා ගමන නැවත්වීම සඳහා වන ක්‍රියාදාමය සැලසුම් කොට ඇත්තේත් සල්මන් ඛාන් විසින්.

 

3. සන්ජේ ලීලා බාන්සාලි

මේ සිනමා නිර්මාණකරුවාටත් සුශාන්ත්ගේ මරණයත් සමඟ ඇඟිල්ල දික් වුණා. ඒ ඔහු විසින් නිර්මාණය කරන ලද ‘පද්මාවත්’ සහ ‘රාම් ලීලා’ ඇතුළු චිත්‍රපටි හතරක් සඳහා මුල් අවස්ථාවේදී සුශාන්ත්ව සම්බන්ධ කර ගැනීමට ඔහු සැලසුම් කර තිබුනත් පසුව එම අවස්ථාව වෙනත් නළුවන්ට ලබා දීම නිසා. නමුත් බන්සාලි මේ චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර ඔහු පවසන්නේ එම චිත්‍රපටි සඳහා කාලය වෙන් කිරීමට සුශාන්ත්ට නොහැකි වූ බවයි. ඇතැම් පාර්ශව පවසන පරිදි බන්සාලි මෙම චෝදනාවෙන් නිර්දෝෂ වන නමුත් සුශාන්ත්ගේ මරණය පිළිබඳව සැබෑ චිත්‍රයක් ලබාගැනීමට බන්සාලිගේ ප්‍රකාශ වැදගත් වන බවයි.

 

4. ආදිත්‍ය චොප්රා

කරන් ජෝහර්ගෙන් පසුව සුශාන්ත් රාජ්පුත්ගේ සිනමා ජීවිතය විනාශ කිරීම පිළිබඳව වැඩිම චෝදනාව එල්ලවන්නේ ආදිත්‍ය චොප්රාටයි. දැනට පැවසෙන පරිදි ආදිත්‍ය චොප්රා විසින් වසර ගණනාවකට ගිවිසුමකට එළඹීම මගින් සුශාන්ත්ව වෙනත් චිත්‍රපටි සඳහා සහභාගි කිරීම නවතා දමා තිබෙනවා. එහෙත් ඔහුට රඟපෑම සඳහා වෙනත් චිත්‍රපටියක්ද ආදිත්‍ය චොප්රා විසින් ලබාදී නැහැ. අවසානයේදී තමන් උගුලක හසු වූ බව වටහාගත් සුශාන්‍ත්, මේ ගිවිසුමෙන් ඉවත් වීමට කටයුතු කොට තිබුණා.

 

5. රියා චක්‍රබෝර්තී

සුශාන්ත් රාජපුත්ගේ අවසාන පෙම්වතිය ලෙස සැලකෙන මෙම නවක නිළිය බොලිවුඩයේ සිනමා මාෆියාවේ අතකොළුවක් ලෙස ක්‍රියාකරමින් සුශාන්තගේ මරණය ඉක්මන් කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වෙනවා. මේ වන විට ඇයට පමණක් නොව ඇයගේ පවුලේ සාමාජිකයන්ටත් ඔහුගේ මරණය පිළිබඳව චෝදනා එල්ල වෙමින් පවතිනවා. පසුගිය දිනවල ඇය තමන්ට එරෙහිව සිදුවන ද්වේශ සහගත ප්‍රචාරණයන් වලට විරුද්ධව තහනම් නියෝගයක් ගැනීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙතටත් යොමු වුණා .

 

6. මහේෂ් බාත්

මේ ජේෂ්ඨ සිනමාකරුවා බොලිවුඩ් මාෆියාවේ අනෙකුත් පුද්ගලයන් සමග එක්ව රියා චක්‍රබෝර්තී ඇමක් ලෙස භාවිතා කිරීමට කටයුතු කළ බවත්, සුශාන්ත්ගේ මරණය පිටුපස සිටින මුලිකයෙකු ලෙසත් ඇතැම් මාධ්‍ය දිගින් දිගටම චෝදනා කරනවා. එසේම බොලිවුඩය තුළ පවුල්වල ආධිපත්‍යය පතුරවා හැරීම සඳහා ඔහු තමන්ගේ සියලුම සබඳතා හරහා උත්සාහ කරන බවටත් දිගින් දිගටම ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් වෙමින් පවතිනවා.

 

7. අලියා බාත්

මහේෂ් බාත්ගේ දියණිය වන අලියා බාත් විවිධ අවස්ථාවල සුශාන්ත් අරබයා ද්වේශ සහගත ප්‍රකාශ සහ ඔහුගේ රංගනය සහ පෞරුෂය හාස්‍යයට ලක් කරමින් සිදු කළ ප්‍රකාශ වල වීඩියෝ පට මේ වන විට සමාජ මාධ්‍ය ජාලා හරහා වේගයෙන් සංසරණය වෙනවා. මීට මාස කීපයකට පෙර සෑම දෙනාගේම ආදරයට ලක් වුණු ඇය මේ වන විට ඉන්දියානුවන් බොහෝ දෙනෙකුගේ දැඩි වෛරයට සහ පිළිකුලට පාත්‍ර වී තිබෙනවා.

 

කෙසේ වෙතත් සුශාන්ත් රාජ්පුත් සිංග්ගේ මරණය පිටුපසින් ඇති බලවේග පිළිබඳව ඉදිරියේදී හෙළි වනු ඇත. ඉන් අනතුරුව මෙම ලිපියට පසුවිපරම් ලිපියක් ලිවීමට අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *