ලංකාවේ ඇති වුණු ශාස්ත්‍රීය වාද – දෙවැනි කොටස

මේ මාතෘකාවට යන්න කලින්ම අපිට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි බොහෝ වෙලාවට අපිට එල්ලවන චෝදනාවක් තමයි කලා ලෝකයේ ඕප දූප ලියනවා වෙනුවට වැදගත් යමක් ඉගෙන ගන්න පුළුවන් මාතෘකාවක් ගැන ලියන්න කියන එක. හැබැයි ඇත්ත කතාව තමයි අපේ ලයිෆි එක එකේ සීයට අනූ නමයක්ම තියෙන්නෙ ඔබට දැනුමක් ගෙනෙන ආටිකල්. හැබැයි ඔබේ අවධානය යොමු වෙන්නේ අපි කලාකරුවන්ගේ ජීවිත ගැන ලියන ආටිකල් වලට විතරක් නම් ඒක ඔබේ වැරැද්දක් වෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණයක් තමයි අපි මේ අද ලියන ආටිකල් එකේ පළවෙනි කොටස. ඒකට අපි හිතපු තරම් හොඳ ප්‍රතිචාරයක් ඔබෙන් ලැබිලා තිබ්බේ නැහැ. හැබැයි අපි ලංකාවේ ප්‍රධානතම දැනුම ගෙනෙන වෙබ් එකක් විදිහට පාඨකයන්ගේ ප්‍රතිචාර නිසා අපේ ගුණාත්මක භාවය අඩු කරගන්න හිතන්නේ නෑ. ඒ නිසා අපි අද ලංකාවේ ඔබ මෙතෙක් වැඩිපුර නොඅසපු ශාස්ත්‍රීය වාද කීපයක් ගැන තොරතුරු ඔබ වෙත ගෙන එනවා.

ලංකාවේ ඇතිවුණු ශාස්ත්‍රීය වාද 1 කොටස මෙතනින් කියවන්න!

 

1. නිර්වාණ වාදය 

බෞද්ධයෝ සියලු දෙනාගේම අවසාන අභිප්‍රාය තමයි නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම. හැබැයි නිර්වාණය කියන දේ විස්තර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට එක හේතුවක් වෙන්නේ  නිර්වාණය කියන දේ මනසට ගෝචර වන දෙයක් නොවන හින්දා. නමුත් අද දක්වාම නිර්වාණය ගැන විවිධ මත පළ වෙනවා.

නිර්වාණය පිළිබඳව ලංකාවේ වාර්තා වෙන පැරණිම වාදය පැවතිලා තියෙන්නෙ නිර්වාණය කියන්නේ විඥාන සහිත ද එහෙමත් නැත්නම් විඥාන රහිතව ද කියන ප්‍රශ්නය මූලික කරගෙන. පළමු මතය වෙනුවෙන් මාතර වටගෙදර සුධර්මාරාමාධිපති පොල්වත්තේ ශ්‍රී සිද්ධාර්ථ හාමුදුරුවෝ ඉදිරිපත් වෙද්දී නිර්වාණය විඥාන රහිත බව ඔප්පු කිරීමට දොඩම්පහල දීපංකර හාමුදුරුවෝ ඉදිරිපත් වුණා. හැබැයි මේ වාදය එක පක්ෂයක් හෝ ජයග්‍රහණය කිරීමෙන් කෙළවර වුණා කියලා දැනගන්න ලැබෙන්නේ නැහැ.

 

2. විෂ්ණු වාදය 

අද වෙනකොට බෞද්ධ සහ හින්දු ජනතාව අතර වැඩි වශයෙන් වශයෙන්ම ජනප්‍රිය වුණු දෙවියෙක් විදිහට විෂ්ණු දෙවියන්ව හඳුන්වන්න පුළුවන්. හැබැයි බොහෝ බෞද්ධයෝ විෂ්ණු කියලා දෙවි කෙනෙක් ගැන ත්‍රිපිටකයේ සඳහන් නොවන බවත් ඔහු සම්පූර්ණයෙන් ම හින්දු ආගමේ ආභාෂය නිසා බෞද්ධයෝ වඳින්න පුදන්න පටන් ගත්ත දෙවි කෙනෙක් කියලාත් කියනවා. මේ පිළිබඳව අදටත් වඩා 1900 දී පමණ විශාල මතවාද අරගලයක් ලංකාවේ ඇතිවෙලා තියෙනවා. දෙනිපිටියේ සුභාචාර, මාවැල්ලේ අරියකිත්ති යන හිමිවරුන් සහ ගිහි දේශකයෙකු වුණු බෙලිඅත්තේ ධර්මසේකර නම් පඬිතුමා එක පක්ෂයකටත් මාලාලංකාර නම් ස්වාමීන්වහන්සේ තවත් පක්ෂයකටත් සහභාගී වෙමින් මේ පිළිබඳව විවාදයක් දෙනිපිටියේ ඓතිහාසික නුග රුක මුල දී පවත්වා තිබෙනවා.

 

3. ගුත්තිල වාදය

ගුත්තිල කාව්‍යය කියන්නේ සාමාන්‍ය ජනතාව අතර වගේම සාහිත්‍යය පිළිබඳව විධිමත් හැදෑරීමක් තියෙන අය අතර  පවා ජනප්‍රිය කවි පොතක්. මේ කවි පොත පිළිබඳව අර්ථ විවරණ සහිතව ගුත්තිල කාව්‍ය වර්ණනා නමින් ඩබ්ලිව්. එෆ් ගුණවර්ධන වාසල මුදලි තුමා කෘතියක් රචනා කළා. මේ කෘතියේ දෝෂ දක්වමින් ඇතැම් උගතුන් පුවත්පත් වලට ලිපි ලියන්න පටන් ගත්තා. අවසානයේ දී බත්තරමුල්ලේ ශ්‍රී සුභුති හිමියන් “විදුලිය” යන නමින් සඟරාවක් පටන් ගත්තේ ගුත්තිල කාව්‍ය වර්ණනා පොතේ වැරදි සමාජගත කරන්න.

 

4. නමස්කාර වාදය 

තිසරණ සහිත පන්සිල් සමාදන් වීමේදී නමස්කාර පාඨය කීම අනවශ්‍ය බවට මතයක් මාතර ශ්‍රී ධර්මාරාම ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබුවා. නමුත් මීට විරුද්ධ ව එවකට සිටි බොහෝ දැනඋගත් භික්ෂූන් වහන්සේලා තමන්ගේ විරෝධය ප්‍රකාශ කළා. අවසානයේ දී මේ මත ගැටුම වර්ධනය වීම නිසා තවත් කරුණුත් මුල්කරගෙන මාතර ධර්මාරාම හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් සද්ධම්මයුත්තික නමින් නව නිකායක් පිහිටුවා ගැනීමට කටයුතු කළා.

 

5. දස සිල් වාදය 

පොහොය දවස්වල සිල් සමාදන් වීමේ දී අටසිල් වෙනුවට දස සිල් සමාදන් කළ යුතු බවට නව සම්ප්‍රදායක් මිරිස්සේ උඩුපිල සුධර්මාරාමාධිපතිව වැඩ විසූ පොල්වත්තේ සාරානන්ද හිමියන් විසින් ආරම්භ කළා. තමන් වහන්සේ ආරම්භ කළ  එම නව ක්‍රමයේ තර්කානුකූල බව සහ ධර්මානුකූල බව පැහැදිලි කරමින් උන්වහන්සේ විසින් “ගෘහස්ථ දශ ශීල විනිශ්චය” නමින් කෘතියක්ද රචනා කරනු ලැබුවා. මීට පිළිතුරු වශයෙන් දෙවුන්දර ඇස්. කේ. එන්දෝරිස් ද සිල්වා කුලරත්න විසින් “සත්‍යව්දනය” නමින් කෘතියක් රචනා කරනු ලැබුවා. මීට අමතරව සමකාලීන භික්ෂූන් වහන්සේලා වන දෙවුන්දර ධම්මානන්ද, කහදමෝදර පඤ්ඤානන්ද වැනි භික්ෂූන් වහන්සේලාද සාරානන්ද හිමියන්ගේ මෙම මතයට තම විරෝධය පළ කරනු ලැබුවා.

 

6. ආජීවක අෂ්ටමක ශීල වාදය 

සාමාන්‍යයෙන් ගිහි බෞද්ධයාගේ නිත්‍ය ශීලය විදිහට සලකන්නේ පංච ශීලයයි. නමුත් කපුගම සුධර්මාරාමය සහ කපුගම අරියාරාමය යන විහාරස්ථානවල වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලා “නිත්‍ය පඤ්ච ශීලය” වෙනුවට ගිහියන්ට ආජීවක අෂ්ටමක ශීලය සමාදන් කිරීමේ සම්ප්‍රදායක් ආරම්භ කළා. නමුත් මෙම නව සම්ප්‍රදායටත් විරෝධය පළ කිරීමට එවකට සිටි බහුශ්‍රැත භික්ෂූන් වහන්සේලා මෙන්ම ධර්මධර ගිහියන් ද කටයුතු කළා. එල්ල වූ දැඩි විරෝධය හමුවේ අවසානයේ දී කෙමෙන් කෙමෙන් මෙම සම්ප්‍රදාය ඉවත්ව ගියා.

 

7. අධි මාස වාදය 

පොහොය ගණන් කිරීම පිළිබඳව සාම්ප්‍රදායික ක්‍රමයක් ලංකාවේ පවතිනවා. භික්ෂූන් වහන්සේලාගේ විනය කර්ම කිරීමට මේ පොහොය ගණන් කිරීම ඉතා වැදගත්. ලංකාවේ එතෙක් පැවති පොහොය ගණන් කිරීමේ ක්‍රමය වැරදි සහගත බව දක්වමින් බෙන්තර අත්ථදස්සී හිමියන් විසින් නව මතයක් ඉදිරිපත් කරනු ලැබුවා. උන්වහන්සේගේ මේ මතයට මල්වතු විහාරයෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. අවසානයේ දී එහි ප්‍රතිඵලය වුණේ බෙන්තර අත්ථදස්සී හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් මල්වතු පාර්ශවයෙන් වෙන් වී කල්‍යාණී සාමග්‍රී ධර්ම සංඝ සභාව ආරම්භ කිරීමයි.

 

එහෙමනම්  නම් ඉතිං අපි මේ ලිපියට ආරම්භයේ දී කිව්වා වගේ ලොකු ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඔබේ ප්‍රතිචාර නොලැබුණත් මේ වගේ දැනුම ලබාදෙන ලිපි ගෙනෙන එක අපි නවත්තන්නේත් නැහැ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *