ඉන්දීය උපමහද්වීපයේ ජනප්‍රියම ඇඳුම වෙන සාරිය ගැන තොරතුරු දැනගනිමු

ගෑණු ​ළමයි පොඩි කාලේ හරි ආසයි ලොකු අය විදිහට අඳින්න පලඳින්න. ඉතින් තනිය​ම වස්ත්‍රයක් පටලවාගන්න හැකි වුන කාලේම අම්මලාගේ වටිනා සාරියක් හරි හොරෙන් ඇ​ඳලා බලන්න චූටි ගෑණු ළමයි පවා කැමතියි. කලිසමට, හිර සායට වඩා සාරිය අඳින්න ටිකක් ​අමාරුයි. ඒත් අමාරුවෙන් ඇන්දාම ඒකෙත් අමුතු ලල් එකක් තියෙනවා. ​ඒ වගේම සාරි අඳින යුවතියන් වඩාත් සංවර හැදියාව තියෙන කට්ටියක්ය කියලාත් අපේ සමාජයේ යම් පිලිගැනීමකුත් තියෙනවා. සාරි ගැන පොඩි කාරණා ටිකක් අපි හොයල බලමු නේද? 

 

1. ලංකාවේ සාරි ඇඳීම 

නවසිය ග​ණන් වල ජාතික සටන් සමයේදී අපිට ජාතික ඇඳුමක් උවමනා උනා. වසර දෙදහස් ග​ණනක් තිස්සේ පන්සලෙන් පොහොසත් වූ අප ජාතියට ජාතික ඇඳුම ලෙස සුදුපැහැති සිල් ඇඳුම වඩාත් යෝග්‍යයයි සැලකූ ආනන්ද විද්‍යාලයේ ගුරු භවතුන් කිහිප දෙනෙකු සරමට සහ අත් දිග බැනියමට බැස්සා. ඉන් පස්සේ කාන්තා ඇඳුම ලෙස එවකට ඉන්දීය උපමහද්වීපයේම කාන්තාවන් අතර සුල​භව පැවති සාරිය තෝරාගත්තා. ඉන් පෙර නුවර යුගය, කෝට්ටේ යුගය ආදී යුග වල ඇති පොත පත දෙස බැලූවිට කාන්තාවන් සාරි ඇන්ද බවක් ගැන වැඩි සඳහනක් හමු වෙන්​නෙ නැහැ. එහෙත් සාරියට ආසන්න චෝලිය සහ එවැනි ඇඳුම් ලාංකික කාන්තාවන් අඳින්නට ඇති බව අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසෝවරුන් දෙස බැලූ කල පෙනී යනවා. 

 

2. ඈත අතීතේ සාරි 

ලංකාවේ එදා කාන්තාව මොන ආකාර වී දැයි බැලීමට සාධක ගොඩක් තියෙනවා. ඒ අතර ක්‍රි.ව පස්වන සියවසේ සීගිරි ​ලලනාවෝ එකල කාන්තා විලාසිතා ගැන ඇති වටිනා සාධක විදිහට තාමත් පෙනී ඉන්නවා. සීගිරි ල​ලනාවන්ගෙන් කොටසක් උඩුකය නිර්වස්ත්‍රයෙන් සිටින අතර අනෙක් අය ඇ​ඟටම සිර වූ සැට්ටයකින් සැරසී ඉන්නවා. මේ දෙකොටසම චිත්‍ර වල පෙන්නුම් කරන ආකාරයට යටට වර්ණවත් දිගු රෙදි ඇ​ඳලයි ඉන්නේ. එසේම පැරණි විහාර ආදී චිත්‍ර වලද දෙවි දේවතාවියන් නිරූප​ණයේදී මෙවැනි සාරි ආකාර​යේ ඇඳුම් පේන්න තියෙනවා. ඒ අනුව ලංකාවේ රජ කාලේ කාන්තාවන් සාරියම ඇන්දේ නැතිවුවත් ඊට සමාන වූ ඇඳුමකින් අලංකාරව සැරසී සිටින්නට ඇති බවට අපිට නිගමනය කරන්නට හැකියි… 

 

3. සාරිය අපහසු ඇඳුමක්ද? 

ලංකාවේ ටෙලිනාට්‍ය වල නම් සාරි ඇ​ඳගෙන ගෙදර වැඩ කරන අය ඉන්නවා. ඒත් සාමාන්‍ය ජීවිතේදි සාමාන්‍ය ලාංකික කාන්තාවන් සාරිය අඳිනවා බොහොම අඩුයි. ඉන්දියාවේදි සහ බංග්ලාදේශ, නේපාල වැනි දකුණු ආසියා රටවලදි ආකාර සිය ගා​ණකට සාරි අඳිනවා. ඉන්දියාවේ දැනටත් ඇතැම් ගම්බද පළාත්වල ගැහැණු අය සාරි ඇ​ඳගෙන දවසේ වැඩකටයුතු සියල්ලම පාහේ කිසිදු අපහසුවක් නැතිවම කරනවා. සාරිය ලංකාවේදි අඳින සාමාන්‍ය විදියට වඩා බොහොම ලේසියෙන් ඉන්දියාවේ කාන්තාවන් සාරිය අඳිනවා. එහිදී විනාඩි ගා​ණකදී සාරියෙන් සැරසිලා ඕනාම ආකාරයේ වැඩක් ප​ළක් කරන්නට සාරි අඳින ඉන්දියානු කාන්තාවන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා. 

 

4. කාලෙට අනුව වෙනස් කරගත හැකි සාරිය

ඇඳුම් තෝරාගැනීමේදී ශීත කාලය, ගිම්හානය වගේ සෘතු භේදය තිබෙන රටවලදි එක් එක් සෘතුවට අනුකූලව ඇඳුම් පැළඳුම් වෙනස් වෙනවා. සාරියත් උතුරු ඉන්දියාවේදී මේ ආකාරයෙන් එක් එක් කාලයට, කලාපයට අනුව වෙනස් වෙලා තියෙනවා. දකුණු ඉන්දියාවේ කාන්තාවන් නම් ලංකාවේ පරිදි බොහෝ තැන් නිරාවරණය වෙන සාරි අඳිනවා. උතුරු ඉන්දියාවේදී ශීත කාලේදී කාන්තාවන් උඩුක​ය නිරාවරණය වන තැන් වඩාත් හොඳින් වැසෙන පරිදි ශීත කාලේදී සාරිය සහ බ්ලවුස් එක නිමවා ගන්නවා. 

 

5. සාරිය සංවර ඇඳුමක්? 

ඉන්දියාවේදී පංසල්, කෝවිල් පූජා උත්සව මංගල උත්සවවලට කාන්තාවන් සාරිය අඳිනවා. ඒ වගේම ඉන්දියාවේ තිබෙන ගණිකා වෘත්තීන්, කම්කරු වෘත්තීන් ආදියේ නිරත වෙන කාන්තාවනුත් හරි හරියට සාරිය අඳිනවා. සාරිය ඇඳීමේදී නාභිය වඩාත් හොඳින් නිරූප​ණය වන සේ සාරි ඇඳීමෙන් ඇතැම් කාන්තාවන් ආකර්ෂ​ණය වැඩි කරගන්නවා. පහ​ළට කැපුන හිර සැට්ටයකින්, ඉනෙන් ගොඩක් පහ​ළට හිරට අඳින සාරි නම් සංවර ඒවා කියලා පිළිගන්නට අමාරුයි. කොහොම වුනත් එකම සාරිය දේශගුණයට වෙනස් කරලා අඳින්නට පුළුවන් වගේම සරාගී විදිහට වගේම සිල්වත් විදියට පේන්නත් සාරිය අඳින්නට කාන්තාවන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා. 

 

6. සාරි ඇඳීමේ වාසි 

කාර්යාල වැඩට සාරි ඇඳීම සාමාන්‍ය​යෙන් යෞවන වයසේ සිටින ගැහැණු ​ළමුන් නම් කරදරයක් විදිහට දකිනවා. ඒත් ලංකාව වගේ ආසියානු රටකදී පෙනුම ගැන හැමෝගෙම විශේෂ සැලකිල්ලක් තියෙනවා. අමුවෙන්ම කිව්වොත් අපේ පෙනුමෙන් අපිව මනින්න ගොඩක් අය උත්සාහ කරනවා. ඉතින් සම්ප්‍රදායක් විදිහට සාරි අඳින අය ගොඩක් ඉන්න පරිසරයකදී සාරියට හුරු වෙන එක වටිනවා. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේදී අපේ රට සහ අපේ කලාපයේ සංස්කෘතිය පෙන්වන්න සංකේතයක් විදියටත් සාරිය කියන ඇඳුම බොහොම සරලවම යොදාගන්න හැකියි. 

 

7. සාරිය සහ පෙනුම 

සාරිය තුලින් කාන්තාවන්ගේ හැඩය වඩාත් හොඳින් ඉස්මතු කරනවා. සාරියක් තෝරාගැනීමේදී සිරුරේ හැඩය සහ වර්ණය ගැනත් සැලකිලිමත් වුනොත් ආකර්ෂණීය විදියට සාරිය ඇ​ඳලා ඉවෙන්ට් එකකට සහභාගි වෙන්න කාන්තාවන්ට පුළුවන්කම ලැබෙනවා. සාරියේ මැටීරියල් එක, සාරිවල මිල, සාරියේ වර්ණය වගේම සාරිය අඳින විදිහත් සාරි ඇඳි යුවතියක් හැඩට පේන්නට බලපානවා. ඒ වගේම සාරියට අනුකූලව ආභරණ සහ රූපලාවණ්‍ය කටයුතු ටිකත් ගා​ණට කරගත්තොත් ඒකෙන් තමුන්ටත් සාරියටත් අමතර ලස්සනක් එකතු වෙනවා. 

හැඩට පේන්න සාරියක් අඳින හැටි දැනගන්​න මේ ලින්ක් එක ක්ලික් කරලා කියවන්​න

උත්සව අවස්ථාවකදී පහසුවෙන්ම සැරසෙන්න පුළුවන් ලස්සන සාරි විලාසිතා ගැන මෙතනින් කියවන්න!

වෙඩින් සීසන් එකට ෂොපින් යන්න කොළඹ අවට හොඳම සාරි කඩ ගැන දැනගන්න!

සාරිය කියන්නේ යාර හතර හමාරත් හයත් අතර දිගක් තියන දිග ඇඳුමක්. ඒ වගේම අඳින්නත් ටිකක් අමාරුයි. ඉතින් සාරිය ගැන ලියන්න කියන්න ගියත්, සාරි වර්ග, සාරි අඳින ආකාර, සාරි ෆැෂන් ගැන ගොඩක් තොරතුරු  තියෙනවා. ඒ ගැන ඉහත තියන ලින්ක් වලින් යම් දැනුවත්කම් ලබාගන්න පුළුවන් වේවි. සාරි ඇඳීම ගැන යම් කරුණු කාරණා ටිකක් ඔබට මේ හරහා දැනගන්නට ලැබෙන්නට ඇති කියලා අපි හිතනවා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *