සාමාන්‍යයෙන් දැන් කාලේ කවුරුහරි වෙඩිමක් කිව්වහම “ෂහ් මරු, වෙඩිමක්!” කියලා හිතෙන්නෙ නැති තරම්. ඒකට හේතු තියෙනවා. වෙඩිමක් කියලා කාඩ් දීලා ගියාට පස්සේ අඳින්නේ මොනවද කියලා හිතන්න ඕන. කොල්ලෙක්ට ගෙදර තියෙන කෝට් එක දාගන්න සයිස් එකට හිටියොත් නං ෂර්ට් එකක් විතරයි ගන්න වෙන්නේ. නැත්තං සරමකට වගේ බහින්න පුළුවන්. කෙල්ලෙක්ට තමයි ලොකුම ප්‍රශ්නේ. කොහෙන් ගියත් අලුතින් මොනවහරි ගන්නම වෙනවා.
ඊට පස්සේ දෙවෙනියට එන ප්‍රශ්නේ තමයි මගුල් ගෙදරට මොනවද ගෙනියන්නේ කියන එක. සාමාන්‍යයෙන් සල්ලි දෙන එක තමයි දැන් කාලේ ට්‍රෙන්ඩ් එක සහ වුවමනාව. හැබැයි ඉතින් දැන් හොටෙල් එකක ප්ලේට් එකක ගණන් වල හැටියට සූටි සුපියල් දාහක් දීලා ෂේප් වෙන්න බෑ. අනික් කාලා සල්ලි කවරෙක දාලා දීලා එන එක නිකං හොටෙල් එකේ ගාණ දීලා එනවා වගේ කියලා හිතෙන අයත් ඉන්නවා. අන්න එහෙම අයට වැඩිපුර ගැලපෙන්නේ තෑග්ගක් දෙන එක තමයි. තෑග්ගක් දෙන එකේ තියෙන ප්‍රශ්නේ තමයි තෑග්ගක් තෝරගන්න එක. ආන්න ඒ වැඩේට උදවුවක් දෙන්න තමයි අපි මේ ලැහැස්ති වෙන්නේ!
බලන්න මේ තෑගි වලින් එකක් වෙඩින් එකට කලින් සෙට් කරගන්න පුළුවන් වෙයිද කියලා!
1. ඩිනර් සෙට්
ඇත්තටම කියනවා නම්, වෙඩිමකට දෙන්න පුළුවන් තෑගි අතරේ තාමත් උඩින්ම තියෙනවා ඩිනර් සෙට්, කෝප්ප සෙට් එහෙම. හැබැයි ලඟම කඩේට ගිහිල්ලා ගන්න ඩිනර්, කෝප්ප සෙට් නං මේකට හරියන්නෙ නෑ. හොඳම දේ තමයි පිටකොටුවේ එහෙම පොඩ්ඩක් ඇවිදලා අන්කොමන් ඩිනර් සෙට් එකක්, කෝප්ප සෙට් එකක් ගන්න එක!
2. ටෙරා කොටා සෙට්
දැකලා තියෙනවද මැටි භාණ්ඩ තියෙන තැන්? ඒ කියන්නේ එක්ස්පෝට් කොලිටි එකට මැටි භාණ්ඩ හදන අය ඉන්නවා. ඒ වගේ ෂෝ රූම් එකකට ගිහින් බලන්න එතන තියෙන ටෙරා කොටා කෝප්ප සෙට්, ඩිනර් සෙට්, තේ පෝච්චි සෙට් එහෙම කොහොමද කියලා. ඒවල මාරම වෙනසක් තියෙනවා තෑග්ගක් විදියට. විශේෂයෙන්ම මේවා දුඹුරු, කළු වගේ තනි වර්ණ වලින්, මැටි ගතිය ඉස්මතු වෙන්න හදලා තියෙනකොට මාරම වෙනස්. තෑග්ගකට කදිමයි!
3. සූට්කේස් සෙට් එකක්!
ටිකක් ලොකුවට පේන්න, වැඩි ගාණක, ප්‍රයෝජනවත් තෑග්ගක් ගන්න හිතනවා නම් මේකත් හොඳ ඔප්ෂන් එකක්. හැබැයි මේ වගේ තෑග්ගක් ගන්න කලින් මනාල යුවළට කල් තියා කථාකරලා අහලා ඉන්න වෙනවා. මොකද වෙඩිම වෙනකොට හනිමූන් යන්න බඩුත් පැක් කරලා අහවරයි. එතකොට සූට්කේස් සෙට් එකක් දුන්නට වැඩක් නෑ. ඒත් කලින් අහලා හිටියොත්, මනාල යුවළ ගාව සූට්කේස් නැතිනම් ට්‍රැවලින් සූට්කේස් සෙට් එකක් නියම තෑග්ගක්. ගොඩක් වෙලාවට හනිමූන් යනකොට සූට්කේස් සල්ලි දීලා ගන්නවට වඩා කාගෙන් හරි ඉල්ලගන්න එකනේ කරන්නේ. ඒ නිසා දහ දොළොස්දාහක් වියදම් වුනත්, මේ තෑග්ගේ වටිනාකම හැමදාටම වැඩි වෙනවා.
4. රෙසිපි පොත්!
මේ තෑග්ග ඉතාමත් කදිමයි ගෙදර හුරතලේට හැදුණු, උයන්න පිහන්න ඒ තරම් බැරි කපල් එකකට. මොකද හුරතලේට හැදුනා කියලා වෙඩිමෙන් පස්සේ හුරතල් වෙවී ඉන්න බැහැනේ. කන්න බොන්නත් ඕන. ආන්න ඒ නිසා දෙන්නට පොත බලාගෙන උයන්න පිහන්න පුරුදු වෙන්න කියලා ගන්න හොඳ කොලිටි ආහාර වට්ටෝරු පොත් ටිකක්. ඉංග්‍රීසි එව්වා නම් ගණන් වැඩියි. දැන් ඔය රෙසිපි පොත් එක්කම පැක් කරන්න ආහාර අමුද්‍රව්‍ය ටිකකුත්. ඒ කියන්නේ පාස්තා, මැකරෝනි, සෝස් වර්ග වගේ මාස ගාණක් වුනත් අවුලක් නැතුව කල් තියාගන්න පුළුවන් ඒවා. ඔන්න තෑග්ග රෙඩී. හැබැයි මතක ඇතුව තෑග්ග දීලා කියන්න දෙන්නට ඇතුළේ මොනවද තියෙන්නෙ කියලා.
5. ගිෆ්ට් වවුචර්
මෙන්න මේකත් බොහොම සරල, හැබැයි ප්‍රායෝගික තෑග්ගක්. ඒ තමයි ගිෆ්ට් වවුචර් එකක් අරගෙන දෙන එක. මේ ගිෆ්ට් වවුචර් එක කීල්ස් හරි කාගිල්ස් හරි සුපර් මාකට් එකක බඩු ගන්න වෙන්න පුළුවන්, අබාන්ස්, සීඩ්ල්ස්, සිංගර් වගේ තැනකින් බඩු ගන්න වෙන්න පුළුවන්, සරසවි බුක්ෂොප් වගේ තැනකින් පොත් ගන්න වෙන්න පුළුවන්, තිලකවර්ධන වගේ තැනකින් ඇඳුම් ගන්නත් වෙන්න පුළුවන්. ඔය මොකක් වුනත් වටිනවා. හැබැයි කපල් එක කොයි විදියේද කියලා හිතලා මතලා තමයි මේක ගන්න ඕන. උදාහරණයක් විදියට, පොත් කියවන්නෙ නැති ඩබලකට සරසවි බුක්ෂොප් ගිෆ්ට් වවුචර් කන්නද?
අනික ගිෆ්ට් වවුචර් ගන්නවා නම්, ඒකේ ගාණ ගැන හිතන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, රුපියල් දෙදාහක ගිෆ්ට් වවුචර් එකක් අබාන්ස් එකෙන් අරගෙන දීලා වැඩක් නෑ. මොකද ඒකෙන් තමන්ට අවශ්‍ය බඩුවක් ගන්න අර කපල් එකට තව රුපියල් අටදාහක් අතින් දාන්න වෙන්න පුළුවන්.
6. බෙඩ් කවර් සෙට්
දැකලා තියෙනවද ඔය රෙදි වියන තැන් වල, බතික් සෙන්ටර් වල සහ වෙනත් ඒ වගේ අන්කොමන් විදියේ රෙදි තියෙන තැන්වල තියෙනවා බෙඩ් කවර් සෙට්? මේවලට අයිති වෙන්නේ සාමාන්‍යයෙන් බෙඩ්ෂීට් එක සහ ඒකටම ගැලපෙන කොට්ට උර සෙට් එක. මේ සෙට් එක ගන්න පුළුවන් එක එක ඇඳන් සයිස් වලට ගැලපෙන විදියට. විශේෂයෙන්ම තමන්ගේම ගෙදරකට යන්න සැලසුම් කරන කපල් එකක වෙඩිමකට නම් මේක ඉතාම වටින ගිෆ්ට් එකක් වෙයි.
7. ඉලෙක්ට්‍රොනික්ස්
මේකත් ඉතාම ප්‍රායෝගික තෑග්ගක් වගේම, කලින් කථාකරලා බලලා ගෙනියන්න ඕන තෑග්ගක්. ඒ නිසා හොඳින් දන්න අඳුනන කපල් එකකට මිසක්, ඒ තරම් නොදන්න කපල් එකකට මේ විදියේ තෑග්ගක් හරියන්නෙ නෑ. ඒ තමයි ගෙදරට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික් බඩු. තමන් ගන්න හිතන බඩුව මොකක්ද කියන එක ඇත්තටම තීරණය වෙන්නේ තමන්ගේ බජට් එකට අනුව. ඒ අනුව ටීවී එකක, මයික්‍රොවේව් එකක ඉඳලා පොල් ගාන මැෂින් එකක්, පාන් ටෝස්ටරයක් දක්වා එක එක ඉලෙක්ට්‍රොනික්, ඉලෙක්ට්‍රික් බඩු වලින් එකක් තෑග්ගක් විදියට දෙන්න පුළුවන්.
හැබැයි මතක ඇතුව කලින් අහන්න. මොකද අලුත් ගෙදරකට යන කපල් එකකට මේ වගේ තෑග්ගක් අතිශයින්ම වටිනවා වුනත්, ඒ අය දැනටමත් ගෙදරට ඕන බඩු අරගෙන තියෙන්න පුළුවන්.
8. ගෙදරට ලස්සනක් ගේන්න සැරසිල්ලක්
විවිධ වර්ගයේ තෑගි කීපයක් ගැනම එක පාර කියන්න පුළුවන්, ගෙදර අලංකරණයට සෙට් වෙන දේවල් කියලා. මේකත් ගැලපෙනවා තමන්ගේම ගෙදරකට යන්න හිතන කපල් එකකට. එක්කෝ හොඳ වටින විදියට ෆ්‍රේම් කරපු චිත්‍රයක්. හැබැයි එක්දාස් පන්සීයට තියෙන අර ඊබේ එකෙන් ගෙන්නපු හැමතැනම තියෙන චිත්‍ර නං එපා. අන්කොමන් වෙන්න ඕන. එහෙම නැතිනම් ප්‍රතිමාවක්. ඒවත් ඔය පොඩි පොඩි ඇන්ටික් ෂොප් වල, ලී පිළිම තියෙන ෂොප් වල එහෙම ගන්න තියෙනවා. එතකොට අර මැටි වලින් හදපු ලස්සනට තියෙන මල් වාස් සෙට් එහෙමත් මේ වැඩේට ගැලපෙනවා.
9. බෝතලයක්!
මෙන්න මේ තෑග්ග ගැලපෙන්නේ අතිශයින්ම මද්‍යප යුවලකට තමයි. ඒ කියන්නේ කොල්ලා කන බොන එකෙක් වුනත් වැඩක් නෑ, කෙල්ල අමද්‍යප නං. අන්න ඒ නිසා කොල්ලා ෆිට් එක වුනත්, පොඩ්ඩක් හොයලා බලන්න ඕන කෙල්ලත් කන බොන චරිතයක්ද, එහෙම නැත්තං අමද්‍යප වුනත් සුමිහිරි පානෙට ගරහන්නෙ නැති චරිතයක්ද කියලා. එහෙම අවුලක් ඇත්තෙම නැති නං ඕන්න ගෙනියන්න හොඳවැයින් වයින් බෝතලයක්. නැතිනං වඩා සැර ජාතියක් වුනත් කමක් නෑ.
10. යාලු පිට් එක!
යාලුවෝ ගැන්සියේ එකෙක් බඳිනවා නම්, උඩ කියපු තෑගි වලින් එකකට අමතරව, යාලුවෝ සෙට් එකටම එකතු වෙලා දෙන්න පුළුවන් තෑග්ගක් තියෙනවා. කපල් එකේ තියෙන ෂෝයි ෆොටෝ එකක් හරි කුප්ප ෆොටෝ එකක් හරි, ෆොටෝෂොප් පාරක් දාපු ෆොටෝ එකක් හරි අරගෙන, ඒක වටේ කියන්න තියෙන හොඳකථා, කුප්ප කථා ඔක්කොම ලියලා ලස්සනට ෆ්‍රේම් කරලා දෙන්න තියෙන්නේ. ඕක දැක්කහම කුණුහරුපෙන් තමයි අහගන්න වෙන්නේ. හැබැයි එහෙම තෑග්ගක් උන් දෙන්නා අනිවාර්යයෙන්ම ගෙදර අනික් ෆොටෝස් එක්කම ඉස්සරහා තියලා තියන්නෙත් ආසාවෙන්!
දැන් මොනවද වෙඩිමට අරගෙන යන්නෙ කියන එක ප්‍රශ්නයක් නැහැනේ. ඊලඟට හිතන්න තියෙන්නේ මොනවද ඇඳගෙන යන්නේ කියන එක තමයි!
Leave a Reply