ඉන්දියාවෙන් කෝච්චි ගේන සෑම වතාවකම ෆේස්බුක් සහ සාමාන්‍ය මිනිස්සු ඒ කෝච්චි බාලය, ඒවා හොඳ නැහැය කියලා පොදුවේ චෝදනාවක් කරනවා. ඒ වගේම ඉපැරණි දුම්රිය වලට පෙම් බැන්ද උදවියත් අලුත් ඉන්දීය දුම්රිය වලට වැඩි මනාපයක් නැහැ. ඉන්දියාව කියන්නේ දුම්රිය නිෂ්පාදනය අතින් මොන වගේ රටක්ද? ඉන්දියාවේ හදාපු අලුත් අලුත් කෝච්චි මොනවාද? ඇයි අපිට ගේන මැදිරි ජාති ඉක්මනින්ම කැඩෙන්නෙ? ආදී දේ ගැන සොයාබලන්න අපි හිතුවා.
1. ඉන්දීය දුම්රිය සේවයේ විශාලත්වය
ඉන්දියානු දුම්රිය සේවාව ලොව ඇති විශාලත්වයෙන් තුන්වැනි තැන ගන්නා දුම්රිය ජාලයයි. දුම්රිය මාර්ග කිලෝමීටර 67,328ක් ඇති ඉන්දියාවේ දුම්රිය ස්ථාන පමණක් 7349ක් තිබෙනවා. ඉන්දියාවේ ධාවනය වන මගී දුම්රිය පෙට්ටි පමණක් 277,992කට වඩා තිබෙනවා. සාමාන්‍ය වශයෙන් ගත්තොත් දිනකට ලංකාවේ ජනගහණයට සමාන මිලියන 22ක විතර විශාල ජනතාවක් ඉන්දියාවේ දුම්රියේ ගමන් පහසුව සලසා ගන්නවා. සරලව කිවුවොත් ඉන්දියානු දුම්රිය වල අපේ රටේම ජනතාව මගීන් ලෙස පටවන්න පුළුවන්. මගී දුම්රිය වගේම භාණ්ඩ ප්‍රවාහනයෙන් ඉන්දීය දුම්රිය ලාබ ලබනවා. ඉන්දීය දුම්රිය සේවය ලෝකයේ සේවකයින් වැඩිම ආයතන වලින් එකක්. එහි සම්පූර්ණ සේවකයින් මිලියන 1.3කට වඩා වැඩියි. මේ සුවිශාල ඉන්දීය දුම්රිය සේවයේ බොහොමයක් දුම්රිය දැන් නිමවෙන්නේ ඉන්දියාව තුලදීමයි.
2. ඉන්දියාවේ දුවන ඉලෙක්ට්‍රික් කෝච්චි
ඉන්දියානු දුම්රිය සේවයේ ඇති රේල් පාරවල් වලින් බාගයක්ම දැන් දුවන්නේ විදුලි බලයෙන්. ඒවා විදුලි දුම්රිය වලට බලය සපයාගැනීමට හැකි වන ලෙස හදලා තියෙනවා. ඉදිරි අවුරුදු දෙකේදි ඉන්දියාවේ මූලික රේල් පාරවල් ඔක්කොම වගේ විදුලි දුම්රිය දුවන කෝච්චි පාරවල් බවට පත් කරන්න ඉන්දියාව අදහස් කරගෙන ඉන්නවා. ගල් අඟුරු තිබෙන නිසා ඉන්දියාවට විදුලිය යනු මිල අඩු ශක්ති ප්‍රභවයක්. ඒ නිසා ඉන්දියාව දැන් ඩීසල් කෝච්චි හදනවාට වඩා විදුලි දුම්රිය හදන්න අවධානය යොමු කරලා තියෙනවා. ලංකාවෙ තවමත් විදුලි දුම්රිය දුවන්න පහසුව නැහැ. ඒ නිසා ලංකාවට ගේන්නේ ඩීසල් බලවේග කට්ටල නැතිනම් ඩීසල් එන්ජින්. ඉන්දියානු ඩීසල් බලවේග කට්ටල සහ ඩීසල් එන්ජින් දැන් ඉවත් කරන්න ඉන්න නිසා ඔවුන් ඒවා තාක්ෂණිකව එතරම් වැඩිදියුණු කරන්න උත්සාහයක් නැහැ. ඒත් තවමත් ඉන්දියාවේ ඈත ගම් දනව් වල තිබෙන දුම්රිය මාර්ග වල ඩීසල් දුම්රිය ධාවනය වෙනවා.
3. අලුතින් හැදෙන ඉන්දීය දුම්රිය
ඉන්දීය දුම්රිය වලින් ගොඩක් හැදෙන්නේ ඉන්දියාවේමයි. කඳුකර පාරවල් වලට හරියන්න විස්ටඩෝම් කියන වටේම පේන දුම්රිය මැදිරි ඉන්දියාව නිපදවලා තියෙනවා. කෝච්චි පෙට්ටියේ වහල සහ වටේ කොටස් වීදුරු වලින් හදා තියෙන නිසා කෝච්චියේ යන අයට කඳුකර පරිසරය හොඳින් දැකබලාගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඉන්දියාවේ තිබෙන දුර දුවන දුම්රිය වල පහසුකම් වැඩිකරලා නවීන ආකාරයට ඒවා නිපදවන්නත් ඉන්දියාව නිතර උත්සාහ කරනවා. එක පෙට්ටියක වැඩි මගීන් පිරිසකට ගමන් කළ හැකි ඩබල් ඩෙකර් හෙවත් තට්ටු දෙකේ වායුසමන දුම්රිය චෙන්නයි බැංගලෝර් මාර්ගයෙත් හොඳින් සේවාව සපයනවා. ඒ වගේම සම්පූර්ණයෙන් වායුසමනය කරන ලද සැප රාජධානි, ශටාබ්දි, ඒසී සුපර් ෆාස්ට් ආදී දුම්රිය වර්ගත් ඉන්දියානු දුම්රිය සේවය තුල තියෙනවා. මීට වසර විස්සකට පෙර අපේ ආච්චිලා දඹදිව ගිය කාලේට වඩා ඉන්දීය දුම්රිය සේවය දැන් දියුණු වෙලා තියෙනවා.
4. නිහඬව වේගය ජයගත් 18
ට්‍රේන් එයිටීන්, එහෙමත් නැත්නම් දහ අට වෙනි දුම්රිය කියල අලුතින්ම වේගවත් දුම්රිය විශේෂයක් ඉන්දියානු දුම්රිය සේවයට හඳුන්වා දුන්නා. මේක මෙතෙක් ඉන්දියාවේ භාවිතා කරපු දුම්රිය වලට වඩා තරමක් වෙනස්. මේ දුම්රියේ ඩීසල් හෝ ඉලෙක්ට්‍රික් දුම්රිය වලට වගේ විශේෂයෙන් සැකසූ එන්ජින් නැහැ. දුම්රියේ රෝද කට්ටල කිහිපයකට කෙලින්ම ට්‍රැක්ෂන් මෝටර්ස් මගින් බලය සපයනවා. දුම්රියේ තැන් තැන්වල පිහිටි රෝද කට්ටල කීපයකටම එකපාර බලය ලැබෙන නිසා මේ දුම්රිය බොහොම ඉක්මනින් උපරිම වේගයට ළඟාකරගන්නත් හැකියි. දැනට ඉන්දියාවේ දිල්ලි සිට අග්‍රා පාරේ දුවන මේ කෝච්චියට එම ගමනේදී පැයට කිලෝමීටර 160ක වේගය ලඟාකරගන්න හැකි වෙලා තියෙනවා. දුම්රිය මාර්ග සහ විදුලි පද්ධතියෙ සහයෝගය තියෙනවා නම් මේ දුම්රිය පැයට කිලෝමීටර 200 දක්වා වේගය වැඩිකරන්නත් පුළුවන්. විශේෂ එන්ජිමක් නැති නිසා කෝච්චිය යනවාද නැද්ද කියලා දැනෙන් නැති තරමට මේ කෝච්චියේ ශබ්දය අඩුයි. ජපානේ, චීනේ දුවන අධිවේගී දුම්රිය හැඩයට හදලා තියෙන මේ දුම්රිය ඇතුලත මගීන්ට ඕනි පහසුකම් එහෙමත් දියුණු විදියට සපයලා තියෙනවා. ඉදිරියට මේ නවීන දහ අට දුම්රිය විශේෂය ඉන්දියානු දුම්රිය සේවාව තුල වඩාත් ජනප්‍රිය දුම්රිය මාදිලියක් වේවි.
5. නිතර නඩත්තු කරන්න වෙන ඉන්දීය ඩෙමු
ඩීසල් ඉලෙක්ට්‍රික් මල්ටිපල් යුනිට් හෙවත් ඩීසල් බලයෙන් විදුලිය නිපදවා දුවන බලවේග කට්ටල තමයි ලංකාවෙ ධාවනයට ඉන්දියානු දුම්රිය සේවය හඳුන්වා දීලා තියෙන්නේ. මේ ඩීසල් ඉලෙක්ට්‍රික් දුම්රිය ඉන්දියාවේ ධාවනයේදී අවුරුදු දෙකකට විතර වතාවක් ඉන්දියාවේ ඒවා හදපු කර්මාන්තශාලා වලට ගෙනැවිත් ඒවා අලුත්වැඩියා කරනවා. කඳු නිසා ඉන්දියානු රේල් ජාලයෙන් වෙන් වූ කාශ්මීර දුම්රිය සේවයට මේ ඩීසල් මල්ටිපල් යුනිට් හෙවත් ඩෙමු දුම්රිය සේවාවට යොදවලා තිබුනා. එතකොට ඒ දුම්රිය මාර්ගයට දුම්රිය මැදිරි සහ පෙට්ටි ගෙනියන්න වෙන්නේ විශාල කන්ටේනර් රථවල පටවලා. ඉතින් මේ දුම්රිය ටික අලුත්වැඩියා කටයුතු වලට සෑම අවුරුදු දෙකකට වතාවක් විතර ට්‍රක් වල පටවලා ලක්නව් වලට ගේන්න වෙලා තියෙනවා. මේ කාශ්මීර රේල් කියන වෙන් වූ කොටස පාඩු ලබන්නත් මූලික හේතුවක් විදියට අලුත්වැඩියා වලට දුම්රිය නිතර දුරබැහැර උස්සන් යන්න වීම ඉන්දියානු මාධ්‍ය විසින් දක්වලා තියෙනවා. අපේ රටේ දුවන ඩීසල් මල්ටිපල් යුනිට් වලත් නඩත්තු වියදම වැඩියි කියලා තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ තහවුරු නොකළ ආරංචි මාර්ග කියන්නේ.
6. ඉන්දියානු සැහැල්ලු දුම්රිය
අලුතින්ම ලංකාවට ආපු එස්-13 මාදිලියේ දුම්රිය වල තහඩු බොහොම තුනී බවට චෝදනාවක් එනවා. මෑතක් වනතුරු ඉන්දියානු දුම්රිය සේවය මළ නොකන වානේ වලින් හදාපු ශක්තිමත් තහඩු දුම්රිය හදන්න පාව්චිච් කළා. ඒත් ඇලුමිනියම් තහඩු භාවිතා කිරීම වඩාත් වාසිදායක බව ඉන්දියානු දුම්රිය සේවය සොයාගෙන තිබුනා. ඉන්දියාවේ හැදුනු සුපිරිම කෝච්චිය වන ට්‍රේන් 18 වලටත් මේ ඇලුමිනියම් බොඩි යොදාගන්න ඉන්දීය දුම්රිය නිපදවන්නන් කටයුතු කරලා තිබුනා. ශක්තිමත් සැකිල්ලකට සැහැල්ලු තහඩු යොදාගනිමින් අඩු වියදමකින් දුම්රිය නිපදවන්න දැන් දැන් ඉන්දීය දුම්රිය නිපදවන අය කටයුතු කරනවා. ඒනිසා අලුතින් ආපු සහ එන ඉන්දීය මැදිරි තුනී තහඩුවලින් නිම වන්නට බොහෝ විට ඉඩ තිබෙනවා.
7. ඉන්දියාවේ තියෙන දුම්රිය සහ අපිට ඕනි දුම්රිය
බංගලිදේශය පහුගිය කාලේ බංගලි රේල්වේ එකට කෝච්චි පෙට්ටි වගයක් ඇනවුම් කළා. එතනදි බංගලිදේශය සාමාන්‍ය දුම්රිය වලට වඩා දෙගුණයක් සවිමත් දුම්රිය මැදිරි එයාලට ඕනි කියාල තිබුනා. මොකද බංගලි දුම්රිය වල ඇතුලේ මගීන් යනවා වගේම පොඩ්ඩක් හිර වුන ගමන් මගීන් දුම්රියේ වහල උඩත් යනවා. ඒ විදියට බංග්ලාදේශය පවා තමුන්ට ඕනි ආකාරයට දුම්රිය නිම කරවාගෙන රටට ගෙන්වාගන්න කටයුතු කළා. අපේ රටේ දුම්රිය ගෙනල්ලා සතියෙන් සීට් ඉරිලා තියෙනවා පේනවා. දුම්රිය ජනෙල් ලොක් කැඩිලා තියෙනවා පේනවා, වැසිකිළි කරාම ආදිය කැඩිලා තියෙනවා පේනවා. මගීන්ගේ භාවිතාවත් මේවාට හේතු වුනත් දුම්රිය ගේනකොට වඩාත් සවිමත් ආකාරයේ මාදිලි ගේනවා නම් සතියෙන් දෙකෙන් කෝච්චි වල අඩුපාඩු දකින්නට පුළඅවන්කමක් ලැබෙන එකක් නැහැ.
ඉන්දියාව, චීනය වගේ රටවල් වලින් අපිට ඕනි ආකාරයෙන් අපි ඇනවුම් කරන ආකාරයෙන් දුම්රිය නිපදවාගන්න පුළුවන්. ඉන්දියාව වගේ රටක එකිනෙකට වෙනස් මාදිලි ගණනාවකින් ඉන්දියානු දුම්රිය සේවය වෙනුවෙන් දුම්රිය මැදිරි සහ එන්ජින් නිපදවනවා. ඉතින් ඒ රටේ බඩු හොඳ නැහැ, ඉන්දියාවේ තියෙන්නේ සවුත්තු බඩු කියලා චෝදනා කරන්නේ නැතිව අපිට ඕනි තරමේ තත්ත්වයෙන් යුතු බඩු භාණ්ඩ ඒ රටවලින් තත්ත්වය හොඳට පරීක්ෂා කරලා බලලා මිලදී ගන්න උනන්දු වෙනවා නම් වටිනවා. මොකද දැන් ඉස්සර වගේ ඇමරිකාවෙන් යුරෝපයෙන් දුම්රිය මැදිරි මිලදී ගන්න ගියොත් දැනට යන වියදම වගේ කිහිප ගුණයක් අපිට දුම්රිය වෙනුවෙන් වියදම් කරන්නට වෙනවා.
Leave a Reply