මේක ඇත්තටම බොහොම පුළුල් මාතෘකාවක්. එක ආටිකල් එකකින් ආවරණය කරලා ඉවර කරන්න බැරි තරමට පුළුල් මාතෘකාවක්. නිකමට හිතලා බලන්න අපේ ජීවිත කොයි තරම් සංකීර්ණ තත්ත්වයකට පත් වෙලාද වර්තමානයේදී කියලා. රැකිරක්ෂා කටයුතු, ගෙදරදොර කටයුතු, පවුල් පන්සල් කටයුතු, සමාජ කටයුතු වගේ දහසක් දේවල් අතරට, දැන් වෙනකොට ලෝක ආර්ථිකයේ තත්ත්වය, කොවිඩ්-19 එක්ක ජීවත් වීම, ඇමරිකාවේ ප්‍රශ්න, චීනේ ප්‍රශ්න, විදේශ විනිමය වගේ තවතවත් අපේ ජීවිත සංකීර්ණ කරන ප්‍රශ්න එකතුවෙලා තියෙනවා. ඔව්, බැලූ බැල්මට ඇමරිකාවේ ප්‍රශ්නය වගේ දෙයක් වුනත් අපිට අදාළ නැහැ වගේ පෙනුණට, ඇත්තටම ඒවත් අපිට අදාළයි කියන ඇත්ත අපිට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. ඔය අතරට ඉන්පස්සේ එනවා සමාජයෙන් යම් යම් දේවල් ගැන එල්ල වෙන පීඩනයන්, පවුලෙන් යම් යම් දෙවල් ගැන එල්ල වෙන පීඩනයන් වගේ කරුණු කාරණාත්.
කොහොම හරි, මේ හැමදෙයක්ම එක්ක අපිට සරල ජීවිතයක් ගත කරන එක ලේසි නෑ. හැබැයි බැරිත් නැහැ. අපි පටන් ගැන්මෙදිම කිව්වා වගේ සරල වෙනවාය කියන එක බොහොම පුළුල්ව කතා කරන්න ඕන දෙයක්. ආන්න ඒ නිසා, අපි අද කතා කරමු, සරල ජීවිතයක් වෙනුවෙන් සිතුවිලි හැඩගස්වා ගන්නේ කොහොමද කියලා.
1. අවශ්‍ය ප්‍රමාණයට හිතන්න
අපි ඕවර් තින්කින් කියලා කියනවා නේද? ඒ කියන්නේ ඕනෑවට වඩා හිතන අය ගැන. ඇත්තටම ඕනෑවට වඩා හිතන එක සරල ජීවිතයක්, සරල මනසක් සඳහා බොහොම අහිතකරයි. ඇයි එහෙම කියන්නේ? දැන් හිතන්න. අපිට ඕන නම් හිතාගෙන හිතාගෙන හිතාගෙන ගිහිල්ලා නවතින්න පුළුවන්, මේ ලෝකේ තේරුම මොකද්ද? කවදාහරි උල්කාපාතයක් කඩාගෙන වැටිලා අපි ඔක්කොම මැරෙන්නත් පුළුවන් නේද? වගේ තැන්වලට යනකල්. ඒ වගේ දාර්ශනික ප්‍රශ්න ගැන හිතන එකේ වැරැද්දක් නැහැ. හැබැයි ඒකෙන් අපේ එදිනෙදා ජීවිතේට කිසිම උදවුවක් නැහැ. අන්න ඒ නිසා මේ හිතන එක අවශ්‍ය ප්‍රමාණයට කරගන්න ඉගෙන ගන්න වෙනවා. ඒකට මෙතනින් එහාට කියන්න යන දේවලුත් උපකාරී වෙයි. කොටින්ම කියනවා නම්, ඕනෑම දෙයක් ගැන දිගින් දිගටම අනවශ්‍ය විදියට හිතන්නේ නැතුව, ප්‍රශ්නය මොකද්ද? ප්‍රශ්නයට විසඳුම මොකද්ද? ප්‍රශ්නයට විසඳුම යොදාගන්න මාර්ගය මොකද්ද? කියලා හිතුවා නම් ප්‍රමාණවත් වෙයි.
2. සැප දුක සමබර වේ
මෙන්න මේක සරලව ජීවත් වෙන්න අත්‍යාවශ්‍ය කාරණයක්. ඒ තමයි සැප දුක දෙකම උපේක්ෂාවෙන් භාරගන්න පුරුදු වෙන එක. මේක බුදුහාමුදුරුවොත් කියලා තියෙන දෙයක්නේ. හරි, ධර්මයට යන්න ඕන නෑ. සරලව අපි මේ ගැන හිතමු. අපිට ජීවිතේ දුක වගේම සැපත් ලැබෙනවා. සැප වගේම දුකත් ලැබෙනවා. එහෙම නැතුව සැපෙන්ම ජීවත් වෙන්න පුළුවන් කමක් නෑ. හැබැයි උපේක්ෂාවෙන් යුතුව ජීවත් වෙනවා කියන්නේ එක්තරා විදියකට සැපේ ජීවත් වීමක් තමයි. ඔන්න අපි කාලයක් තිස්සේ ආස කරන දෙයක් ලැබෙනවා. අපිට සතුටුයි. ඒ සතුට විඳින්න ඕන. හැබැයි ඒ සතුට විඳින අතරේම මතක තියාගන්න, ඒ ආස දේ හැමදාමත් ලඟ තියාගන්න බැහැයි කියන එකත්. එතකොට අපේ ප්‍රියතමයෙක් අපෙන් වෙන් වෙන්න පුළුවන්. ඒක දුකක්. ඒ දුක අත්විඳින්න. හැබැයි ඒ එක්කම මතක තියාගන්න, දුක වුනත් සදාකාලික නෑ කියන එක. ඒ දුක වුනත් නැතිවෙලා යනවා. එච්චරයි.
3. දේවල් ගැන ඉගෙන ගන්න
Ignorance, එහෙම නැතිනම් මුග්ධබව නැතිනම් නොදැනුම කියන්නේ සමහර වෙලාවට ආශීර්වාදයක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අපිට රටක ආර්ථිකය වැඩ කරන හැටි ගැන කිසිම දැනුමක් නැතිනම්, ඔය දේශපාලකයෙක් ආර්ථිකය ගැන කියන ඕනම කෙප්පයක් විශ්වාස කරගෙන සැපේ ඉන්න පුළුවන්. අපේ සැපතට ගැලපෙන කෙප්පය අපිට තෝරගන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් ඇත්තටම අපේ ජීවිතේ සරල වෙන්නෙ නෑ. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ තමයි රටේ ආර්ථිකය වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන සරල කරුණු ටිකක් හරි ඉගෙන ගන්න එක. මේක ආර්ථිකය විතරක් නෙවෙයි, දේශපාලන, සමාජය, සංස්කෘතිය වගේ හැම කරුණක් ගැනම අදාළයි. ඇත්තටම මේ දේවල් ගැන හරියට දැනුවත් වෙනකොට, ඒ දේවල් ගැන හිත කරදර කරගන්නේ නැතුව ඉන්න පුළුවන්.
4. තනියෙන් ජීවත් වෙන්න එපා
තනියෙන් ජීවත් වෙන එක හරිම සරලයි කියලා ගොඩක් අය හිතනවා. හැබැයි ඒක දෙයාකාරයි. තනියෙන් ජීවත් වෙන එක සරල වෙන්නේ, ඒකට හරි ක්‍රමයක් තියෙනවා නම් තමයි. ඒ කියන්නේ තනියෙන් ජීවත් වෙනකොට හරියට සැලසුමක්, පුරුද්දක් තියෙන්න ඕන. හැබැයි එහෙම නැතිවුණු ගමන් තනියෙන් ජීවත් වෙන එකේ තියෙන සරල බව නැතිවෙලා දේවල් අනවශ්‍ය විදියට සංකීර්ණ වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදියට ගත්තොත්, තනියෙන් ජීවත් වෙනකොට ලෙඩක් දුකක් වුනොත් අර සරල බව ඉවරයි. ඒ නිසා හරියාකාර සිස්ටම් එකක්, සැලැස්මක් නැතුව තනියෙන් ජීවත් වෙන්න හිතන්න එපා.
5. සැලසුම් තියාගන්න
සැලසුම් කියන්නේ ජීවිතේ සංකීර්ණ කරන දේවල් කියලා නේද හිතෙන්නේ? ඔව්, සැලසුම් සංකීර්ණ වෙනකොට ජීවිතේ සංකීර්ණ වෙනවා. හැබැයි අපිට සංකීර්ණ අවශ්‍යතා කියලා දෙයක් නැහැනේ. තියෙන්නේ අපිට අවශ්‍ය දේවල් සහ අනවශ්‍ය දේවල්. එතකොට අවශ්‍ය දේවල් වුනත් අපිට මේ මොහොතේ ලබාගන්න පුළුවන්ද බැරිද කියන දේ තමයි තියෙන්නේ. එතකොට අත්‍යාවශ්‍ය දේවල් මේ මොහොතේදී ලබාගන්නත්, අවශ්‍ය දේවල් මේ මොහොතේදී බැරිනම් අනාගතයේදී ලබාගන්නත් තමයි සැලසුම් අවශ්‍ය වෙන්නේ.
6. අත් හැරිය යුතු මොහොතට අත් හරින්න
මෙන්න මේක සරල ජීවිතේකට අත්‍යාවශ්‍ය දෙයක්. අත් හැරිය යුතු දේවල්, අත් හැරිය යුතු මොහොතේදී අත් හරින එක. ඒ කියන්නේ මොකද්ද? අපි කියමු. අපි ගෑණු ළමයෙක්ට කැමතියි කියලා. එයා අපිට ලොකු කැමැත්තක් හෝ අකමැත්තක් පෙන්නන්නෙත් නෑ. ඒ නිසා ඉතින් අපි දිගින් දිගටම ඒ පස්සේ පන්නනවා. හැබැයි ඒකෙන් වෙන්නේ අපේ ජීවිතේ එක මොහොතකදී අනවශ්‍ය විදියට සංකීර්ණ වෙන එක නෙවෙයිද? අපි, අපිට කැමතිද නැද්ද කියලාවත් දන්නෙ නැති කෙනෙක් ගැන අනවශ්‍ය විදියට බැඳිලා, විඳවනවා කියන්නෙත් ජීවිතේට අනවශ්‍ය සංකීර්ණත්වයක් තමයි. අන්න ඒ නිසා බෑ කිවුවොත් වහාම අයින් වෙන්න. හා කිවුවොත් එයත් එක්ක සතුටෙන් ඉන්න. හා බෑ මොකුත් නොකියා ඉන්නවා නම්, එක් දුරකට ආවට පස්සේ අයින් වෙන්න.
මේ තියරිය අනික් හැමදේටමත් අදාළයි. අනවශ්‍ය වෙහෙසක් දරාගෙන කිසිම තැනක ඉන්නවත්, කිසිම කෙනෙක්ව තියාගන්න උත්සාහ කරන්නවත් එපා. තේරුමක් නෑ. ජීවිතේට අනවශ්‍ය සංකීර්ණත්වයක් විතරයි.
7. ඔබව සමබරව ගොඩනගන්න
මෙන්න මේක බොහොම පුළුල් කාරණාවක්. මෙතනදී අපි ගොඩනඟන්න කියන්නේ තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය, මානසික යෝග්‍යතාවය, වෘත්තිය ජීවිතය, ආධ්‍යාත්මය, පුද්ගල සබඳතා, සමාජ සබඳතා කියන හැමදෙයක්ම. ඒ හැමදෙයක්ම අදාළ වෙන්නේ අපිට නිසා තමයි තමන්වම ගොඩනගන්න කියන්නේ. හැබැයි මෙතනදී ප්‍රධානතම දේ තමයි මනා සමබරතාවය. මොකද, මේ ගොඩනැංවීමේදී අසමබර වෙනවා කියන්නේ ආයෙමත් අනවශ්‍ය විදියට ජීව්තේ සංකීර්ණ වීම. සරල උදාහරණයක් කිවුවොත්, වෘත්තීය ජීවිතය ගොඩනගලා පුද්ගල හෝ සමාජ සබඳතා අත්හැරුණොත් වෙන්නේ අපිට සම්පූර්ණයෙන්ම කාර්ය බහුල, සංකීර්ණ, වෙහෙසකර ජීවිතයක් උරුම වෙන එක. ආන්න ඒ නිසා තමයි සමබරතාවය අපිට අවශ්‍ය වෙන්නේ.
ඇත්තටම මේ ජීවිතේ සරල බව සොයා යන ගමනේ එක පියවරක් විතරයි. ඒ නිසා ජීවිතේ සරල බව සෙවීමේ වෑයමේ තවත් කරුණු අපි කථාබහ කරමු ඊලඟ ලිපි වලින්.
Leave a Reply