නියම රහට පීසා එකක් කන්න කොළඹ අවට තියෙන ගොඩක් දෙනෙක් නොදන්න තැන් කීපයක්!

පීසා කියන්නේ අපේ කෑමක් නෙවෙයිනේ. ඉතාලි කාරයොන්ගෙ කෑමක්. හැබැයි මේ වෙනකොට පීසා ගැන නොදන්න මනුස්සයෙක් නෑ. ඒ තරමටම පීසා හැමෝගෙම වෙලා. හැබැයි පොඩි පරහක් තියෙනවා. ගොඩක් දෙනෙක් එහෙම ලේසියකට පීසා කන්නෙ නෑ. සමහරුන්ට උපන් හඳවියකට පීසා එකක් කන්න ලැබිලත් නෑ. ඒ වගේම පීසා කිව්වහම හැමෝම දන්නෙත් ඔය ලංකාවේ හැමතැනම තියෙන එකම පීසා විකුණන නමක් දෙකක් විතරයි. හැබැයි ඇත්තටම කොළඹ රටේ විතරක් නෙවෙයි, ඔය වෙන ප්‍රධාන නගරවලත් දැන් දැන් පීසා විකුණන තැන් තියෙනවා. සමහර තැන් නම් පාන් පිටි රොටී උඩ දාපු සෝස් ටික විතරයි. හැබැයි වැඩේ ඉතාලි කාරයන්ටත් වඩා සාරසුබාවට කරන පීසා බාස් ලත් ඉන්නවා. ඉතින් අද අපි කියන්න යන්නේ ආන්න ඒ විදියේ ෂුවර් පිට වෙනස්, ඔරිජිනල් රසක පීසා එකක් කන්න යන්න තියෙන කොළඹ අවට තැන් කීපයක් ගැන!

 

1. Giovanni’s

ජියෝවානිස් පීසා කියන්නේ අපේ ප්‍රියතම පීසා කඩේ කිව්වොත් හරි. එහෙම කියන්නේ ජියෝවානිස් පීසා වල රස නිසාමත් නෙවෙයි. වයින් බෝතලේකුත් අරගෙන ගිහිල්ලා, ජියෝවානිස් එකේ අඳුරු උඩ තට්ටුවේ මේසෙක වාඩි වෙලා දෙන්නා තුන්දෙනා එක්ක පීසා එකක් ඕඩර් කරලා කන එකේ තියෙන අමුතු ආතල් එකත් නිසා. කොහොම වුනත් ජියෝවානිස් පීසා වල කොලිටිය ගැන නම් ආයෙ අමුතුවෙන් අටුවාටීකා කියන්න ඕන නෑ!
මේ අයගේ නියම දර පෝරණු, තින් ක්‍රස්ට් පීසා වලින් අපිට නම් අල්ලලා ගියේ මාර්ගරීටා පීසා එක. ඉන් පස්සේ අර හාල්මැස්සෝ දාලා හදපු Anchovy පීසා එකෙත් අමුතු ගතියක් තියෙනවා කියන එක කියන්නම ඕන. හැබැයි මෙතන තව පීසා වර්ග ගණනාවක්ම තියෙනවා. විශේෂයෙන්ම විවිධ මස් වර්ග වලින් තියෙන පීසා එහෙමත් ට්‍රයි කරලාම බලන්න වටිනවා.
තැන මෙතන:

 

2. Pizza Napolitana

මේක අපි දැක්කේ මුලින්ම ෆේස්බුක් පෝස්ටරේකින්. පෝස්ටරේ දැක්කහම අපි හිතුවේ සුද්දගෙ කාලේ කොළඹ මේ විදියේ පීසා පොට් එකක් තියෙන්න ඇති කියලා. බලනකොට මෙන්න ඇත්තටම මෙහෙම එකක් දැනටමත් බොරලැස්ගමුවේ තියෙනවා. ඉතින් අපි ගියා කොහොමද පීසා නපොලිතානා වාස දේස කියලා බලන්න. කියන්න සතුටුයි මිත්‍රවරුනි, අපේ අත්දැකීම ඉතාම සුබවාදීයි. විශේෂයෙන්ම මේ අයගේ නයි මිරිස් දාපු බ්ලැක් පෝර්ක් පීසා එකට ගහන්න පෝක් පීසා එකක් අපිට තාම හම්බුවෙලා නැහැ!
ඇත්තටම මේ අය ගාව ස්පෙෂලයිස්ඩ් පෝක් පීසා වර්ග හතරක්ම තියෙනවා. තව චිකන් පීසා වර්ග හතරකුත්, සී ෆුඩ් පීසා දෙකකුත්, වෙජි පීසා දෙකකුත් තියෙනවා. වෙජිටේලියන් අයට අපි බය නැතුව කියනවා මේ අයගේ රෝස්ට් කරපු වම්බටු පීසා එක රස බලන්න කියලා.
තැන මෙතන:

3. Arthur’s Pizza

ආතර්ගේ පීසා කඩේ තියෙන්නේ ගල්කිස්සේ. මෙතනත් අපි නිතරම නොගියට බොහොම කැමති පීසා විකුණන තැනක්. නියම පබ් එකක ලුක් එකක් එක්ක හදලා තියෙන පොඩි පහේ තැන, යාලුවෝ කීප දෙනෙක්ට ඇවිත් නිස්කලංකේ පීසා එකක් කාලා යන්න ගැලපෙනවා. මෙතන කොක්ටේල් එහෙමත් ගන්න පුළුවන් වීම වටිනවා. ඒ නිසා එලියෙන් වයින් අරගෙන යන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.
ආතර්ලා තමයි කාලෙකට කලින් කොළඹ පීසා සීන් එක ඇතුළේ නයිමිරිස් පීසා ජනප්‍රිය කරන්න උර දීලා කටයුතු කලේ. මෙතන මස් කන නොකන හැමෝටම ගැලපෙන පීසා තියෙනවා. අපේ ප්‍රියතම පීසා එක වුනේ නයි මිරිස් චූට්ටක් එක්ක හදලා දෙන්න කියලා අපි ඉල්ලපු කලවම් මස් පීසා එක තමයි. ෆීටා චීස් එක්ක නිවිති දාලා හදපු පීසා එක මරු, වෙජි ඩයල් එකකට!
තැන මෙතන:

 

4. Dolce Italia

දොල්සෙ ඉතාලියා කියන්නේ කාලෙක ඉඳලම අපි දන්න කියන තැනක්. හැබැයි දැන් තමයි මේ කට්ටිය වඩාත් ස්ථාවර තැනක, ලොකුවට පවත්වගෙන යන්නේ. දොල්සෙ ඉතාලියා කියන්නේ නමෙන්ම කියවෙන විදියට ඉතාලි කෑම කඩයක්. ඒ කියන්නේ පැස්ටා, රවියෝලි, රිසොත්තෝ, ලසාඥ්ඥා වල ඉඳලා හැම ඉතාලි සාම්ප්‍රදායික කෑමක්ම වගේ මෙතන තියෙනවා. එතකොට පීසා කියන්නෙත් ඉතාලි සාම්ප්‍රදායික කෑමක්නේ. ඉතින් පීසාත් තියෙනවා!
මේ අයගේ තියෙන අති විශාල මෙනු එකේ අඟල් 13 ප්‍රමාණයේ පීසා වර්ග විසිපහක් විතර තියෙනවා. ඔක්කොම වගේ ඉතාලි නම් වලින් තියෙන්නෙත්. මෙතනින් අපි සෑහෙන්න කැමති වුනා නපෝලි පීසා එකට! තව වෙජි ඩයල් එකකට මෙතන තියෙන ඇරබියාතා පීසා එකත් මරු.
තැන මෙතන:

5. Caffe Michelangelo

මෙන්න තවත් සෑහෙන්න පරණ පීසා කඩයක්. පරණයි කියන්නේ ඉතින් ලංකාවේ පීසා බ්‍රෑන්ඩ් අස්සේ වෙනම පීසා රෙස්ටුරන්ට් බිහිවෙන්න පටන් ගත්තු කාලේම ආපු තවත් තැනක් නිසා තමයි. නාවල පාරේ තියෙන කැෆේ මයිකල්ආන්ජෙලෝ එකේ විශේෂත්වය පීසා වුනාට, තව ඉතාලි කෑම වර්ග බරගාණක්ම මෙනු එකේ තියෙනවා. මයීකල්ආන්ජෙලෝ පීසා ගැන කථා කලොත්, මේ අයගේ පීසා අඟල් 9 සහ අඟල් 12 ප්‍රමාණ වලින් ගන්න පුළුවන්. එතකොට අපි කැමතියි මේ අයගේ පොල් සම්බොල් පීසා, චිකන් කුරුමා පීසා සහ හොට් බටර් කට්ල්ෆිෂ් පීසා කියන තුනටම. හැබැයි අමතක කරන්න එපා, මේ අය ගාව මස් කන අයව පිස්සු වට්ටන තව ස්පෙෂල් පීසා වර්ග කීපයක්ම තියෙනවා!
තැන මෙතන:

6. Harpo’s Pizza

ලංකාවේ පීසා ගැන කථා කරනකොට හාර්පෝගේ පීසා ගැන කථා නොකරම බැහැ. හාර්පෝ කියන්නේ ලංකාවේ පීසා සීන් එකේ මුල් කාලෙම තමන්ගේ නම තියපු කෙනෙක්. මේ වෙනකොට හාර්පෝ පීසා ජොයින්ට් කීපයක්ම කොළඹ අවට තිබුණත්, තවමත් ඔරිජිනල් හාර්පෝ පීසා වල රස වෙනස් වෙලා නැහැ!
හාර්පෝලගෙ පීසා වල අපි තාමත් ආසා කරන රස තියෙන පීසා එක තමයි පීසා මාර්කෝ පෝලෝ. චිකන් සහ බීෆ් පදමට එකතුවුණු ෆීටා, ගෝර්ගොන්සාලා සහ මොසරැල්ලා චීස් දැවටුණු මේ පීසා එක අපේ ෆේවරිට්. ඊලඟට අපේ වෙජි යාලුවන්ට රෙකමන්ඩ් කරනවා පීසා මෙඩිටෙරේනියන්.
හාර්පෝගේ පීසා රෙස්ටුරන්ට් සෑහෙන්න ඉඩ කඩ ඇතුව තියෙන නිසා ලොකු යාලුවෝ කණ්ඩායමකට වුනත් ගිහින් පීසා එකකට සෙට් වෙන්න පුළුවන්. ඒ වගේම බිස්නස් මීටින් එකක් ලන්ච් එකත් එක්ක ෂේප් කරගන්න වුනත් හාර්පෝගේ පීසා රෙස්ටුරන්ට් එකක් ගැලපෙනවා.
තැන මෙතන:

7. Rocco’s

“එපා කියන්න බැරි රසයක්” රොකෝස් පීසා වල තියෙනවා කියලා තමයි රොකෝස් පීසා කට්ටිය කියන්නේ! අපිත් ඉතින් කියන්නා කෙසේ කීවත් අසන්නා කාලා බලලාම ඇසිය යුතුයි කියලා ගියා රාජගිරියේ රොකෝස් එකට, පීසා එකක රහ බාන්න. කියන්න සන්තෝසයි මිත්‍රවරුනි, රොකෝස් පීසා අපේ බලාපොරොත්තු කඩ කළේ නැහැ!
රොකෝස් පීසාත් අඟල් 9 සහ අඟල් 14 ප්‍රමාණයන්ගෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අතිවිශාල පීසා මෙනු එකක් තියෙන නිසා අපිට හොඳම පීසා එකක් තෝරගන්න සමහර වෙලාවට වැඩකරන හාදයෙක්ගේ හරි හාදියක්ගේ හරි උදවු ඉල්ලන්නත් වෙනවා. ඒ වගේම මෙතන අර පීසා එකක් නවලා හදපු කැල්සෝන් එහෙමත් ගන්න තියෙනවා. කොහොම හරි මෙතන අපේ හිත ගියපු ප්‍රියතම පීසා එක වුනේ ගම්බෙරට්ටි කියලා අමුතු නමකින් තිබුණු ලෙමන් මැරිනේටඩ් චිලි ශ්‍රිම්ප් පීසා එක. එතකොට මොරොක්කන් ලෑම්බ් පීසා එකත් අපි රෙකමන්ඩ් කරනවා බය නැතුව.
තැන මෙතන:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *