සමහර අවස්ථාවල දෙවිවරුන්ට පින් දෙද්දි අපේ ආච්චිලා සීයලාගේ ඉඳන් බාල මහලු හැමෝම වගේ “සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ශ්‍රී විෂ්ණු දේවරාජෝත්තමයාණන් වහන්සේ” කියලා කියනවා. මොකද කියනවා නම් විෂ්ණු දෙවියෝ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න බාර අරගෙන ඉන්නවා කියලා අදහසක් ජනප්‍රවාදයෙන් සහ ධර්ම දේශනාවලින් අපේ ඔළුවලට ගිහින් තියෙනවා. අපි අද බලමු ඇත්තටම මේ අදහස හරිද කියලා?
1. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට බාරවුණේ විෂ්ණු දෙවියන්ටද?
බුද්ධ ශාසනය විෂ්ණු දෙවියන්ට බාර කළා කියන කතාව හුදු ජනප්‍රවාදයේම එන කාරණයක් නෙමෙයි. මේ ගැන සඳහන් වෙන්නේ මහාවංශේ. මහාවංශේ කියන විදිහට බුදුහාමුදුරුවෝ පිරිනිවන් මංචකයෙදි තමන්ගේ ශාසනය ඉන්දියාවෙන් තුරන් වුණත් ලංකාවේ පිහිටනවා කියලා දිවැසින් දකිනවා. ඒ වගේම එදා ලංකාවට විජය කුමාරයා ඇතුළු සත්සියයක් සෙනඟ ගොඩ බහිනවා කියලත් දකිනවා. උන්වහන්සේ ශක්‍ර දෙවියන්ට දැනුම් දෙනවා මේ පිරිස ආරක්ෂා කරන්න කියලා. ශක්‍ර දෙවියෝ මේ කාර්යය උපුල්වන් දෙවියන්ට පවරනවා. උපුල්වන් දෙවියෝ පරිබ්‍රාජක වේෂයක් මවාගෙන ඇවිත් ලංකාවට ගොඩ බහින විජය කුමාරයා ඇතුළු පිරිසට පිරිත් නූල් බැඳලා, පිරිත් පැන් ලබා දීලා ආශිර්වාද කරනවා. මේ කතාව නිසා බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම උපුල්වන් දෙවියන්ට බාරවුණා කියන කතාව ඇති වෙනවා. දැන් වෙනකොට අපිට උපුල්වන් දෙවියන්ව අමතක වෙලා අපි හිතන් ඉන්නවා විෂ්ණු දෙවියන්ට තමයි ශාසනය ආරක්ෂා කිරීම බාර වුණේ කියලා.
2. විෂ්ණු දෙවියන්ව කළු පාට කරපු උපුල්වන් දෙවියෝ
සමහරුන්ට අපේ ලිපියේ පළවෙනි කොටස කියවද්දි අසූහාරදාහට කේන්ති ගිහිල්ලා ඇති. “බම්බුව තමයි, උපුල්වන් කියන්නෙත් විෂ්ණු දෙවියන්ට තමයි” කියලා බණිනවා ඇති. “නෑ, කලබල වෙන්න එපා, ඔයා වැරදියි” කියලා තමයි අපිට කියන්න තියෙන්නේ ඉතින්. විෂ්ණු දෙවියෝ කියන්නේ අපිට හින්දු සංස්කෘතියෙන් ලැබුණු දෙවි කෙනෙක්. උපුල්වන් කියන්නේ අපේ රටේ දෙවි කෙනෙක්. මේ දෙවිවරු දෙන්නෙක් කියලා උදාහරණ රාශියක් දෙන්න පුළුවන් වුණත් අපි දැනට එක උදාහරණයක් දෙන්නම්. ශ්‍රී රාහුල හාමුදුරුවෝ කෝට්ටේ යුගයේදී පරෙවි සංදේශය ලියනවා. පරවියා සංදේශය ගෙන යන්නේ දෙවිනුවර උපුල්වන් දේවාලයට. උපුල්වන් දෙවියන්ව වර්ණනා කරද්දි රාහුල හාමුදුරුවෝ මෙන්න මෙහෙම කියනවා.
සතොසින් වසන සිරි සරසවිය මොහු කෙරේ
වියොවින් පැමිණි දුක් නොම වින්ද එඅවසරේ
රැකියෙන් මිසක් බඹසර ම අරතරේ
සොවගින් තැවී කළු නොම වේද වෙනයුරේ
මේ කවියේ තේරුම මෙන්න මෙහෙමයි…
මහා බ්‍රහ්මයාගේ භාර්යාව වුණු සරස්වතී දේවියත්, විෂ්ණු දෙවියන්ගේ ශ්‍රියා කාන්තාවත් ඔවුන් දෙදෙනා අතහැර උපුල්වන් දෙවියන් වෙත පැමිණ වාසය කරති. මහා බ්‍රහ්මයා බ්‍රහ්මචාරී බැවින් ඔහුට එය ගැටලුවක් නොවීය, නමුදු ඒ ශෝකයෙන් විෂ්ණු දෙවියන් කළු පැහැ විය.
මේ විදිහට ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ සංදේශ කාව්‍යවලින් මේ වගේ උදාහරණ රාශියක් දෙන්න පුළුවන්.
3. උපුල්වන් දෙවියන් දෙවිනුවරට පැමිණීම
ජනප්‍රවාදයේ කියවෙන විදිහට දාපුළුසෙන් කියලත් හඳුන්වන පළවෙනි දප්පුල රජ්ජුරුවන්ගේ කාලෙදි රජ්ජුරුවන්ට උපුල්වන් දෙවියෝ සිහිනෙන් පෙනෙනවා. තමන් කිහිරි කඳක ස්වරූපයෙන් මුහුදෙන් දෙවිනුවර ප්‍රදේශයට එන බවත්, තමන් වෙනුවෙන් දේවාලයක් කළ යුතු බවත් නියෝග කරනවා. නියමිත දවසට දෙවිනුවර වෙරළට යන රජ්ජුරුවෝ මුහුදේ පාවෙන කිහිරි කඳක් දකිනවා. ඒ කිහිරි කඳ වෙරළට ගෙනල්ලා උපුල්වන් දෙවියන්ගේ පිළිමයක් හදන්න කල්පනා කරද්දි විශ්වකර්ම දේව පුත්‍රයා මිනිස් ස්වරූපයෙන් ඇවිත් පිළිමය නිර්මාණය කරනවා. පස්සේ රජ්ජුරුවෝ ඒ පිළිමය වෙනුවෙන් දෙවුන්දර දේවාලය නිර්මාණය කරනවා.
4. ලෝක ප්‍රකට වුණු දෙවුන්දර දේවාලය
දෙවිනුවර ආශ්‍රිතව සිද්ධ වුණු විදේශ වෙළඳාම් නිසා උපුල්වන් දේවාලයේ දර්ශනීය බව ගැන ලෝක ප්‍රසිද්ධ වෙනවා. ලංකාවට ආපු ඉබන් බතුතා උපුල්වන් දේවාලය ගැන මෙන්න මෙහෙම කියනවා.
“ඉන්දියන් සාගරයේ යාත්‍රා කරන සැමට ක්‍ෂිතිජයේ ඉතා ඈත දහවල් කාලයේ සැඩ හිරු රැසින්ද රාත්‍රී කාලයේ සඳ රැසින්ද බබලන රන් ආලේපිත තඹ තහඩුවලින් වසන ලද මනහර ගොඩනැගිල්ලක් දක්‌නට ලැබේ. මේ වනාහි එම නගරයට (දෙවිනුවර) අධිපති දෙවියන්ගේ දෙවොලයි. එහි මිනිස් රුවක් පමණක් වූ ගණ රන් පිළිමයක් තිබේ. එහි නෙතුවලට රතුකැට ඔබ්බවා ඇත. ඒවා රාත්‍රී කාලයේදී ඒකාලෝක වෙයි.”
ලංකාවට චීනයෙන් එන ‘චෙන් හෝ’ සෙනවියත් දෙවිනුවර දේවාලය උදෙසා පඬුරු රැගෙන එනවා.
5. උපුල්වන් දේවාලය විනාශ කිරීම
මේ විදිහටම ශ්‍රී විභූතියෙන් බැබළුණු උපුල්වන් දේවාලය අපේ රටට කඩා වැදුණු පෘතුගීසින් අතින් විනාශ වෙනවා. මේ අවස්ථාවට සහභාගී වුණ ‘දියෝගු ද කූටෝ’ කියන්නේ මෙහෙමයි. “පළමුව ඔවුන් දේව භූමියේ තිබුණ දහසකටත් වැඩි දේව ප‍්‍රතිමා විනාශ කර දැමීමේ කාර්යය ඇරඹුහ. නොයෙකුත් හැඩරුවින් යුත් එම ප‍්‍රතිමා සමහරක් මැටියෙන් තනා තිබුණ අතර සමහර ඒවා දැවයෙන්ද ලෝකඩ සහ තඹ ලෝකඩයෙන් ද නිම කළ ඒවා විය. දේව ප‍්‍රතිමා කඩා බිඳ දැමූ පසු මුළු මහ දේවාල පද්ධතියම විනාශ කිරීමේ කාර්යය ඇරඹීය. ඒ අනුව දේව මන්දිර ප‍්‍රතිමා ගෘහ කුලුන ආදිය ද කඩාබිඳ දමා සුනු විසුණු කරන ලදී. ඉන් ඉක්බිතිව දේවාලයේ ගබඩාගාරය දෙසට ගමන් කළ අප සේනාවන්ට ඇත්දත්, මුතු මැණික්, සඳුන් දර, අගනා පට පිළි ස්වණාභරණ විශාල වස්තු සම්භාරයක් සම්භ විය. තමන්ට රිසිසේම එම වස්තුව බෙදාගත් අප භටයෝ සියලු දෙනා ඉතිරිව තිබූ භාණ්ඩ ගිනිතබා විනාශ කර දැමූහ. මහා දේවාල භූමියේ පාරිශුද්ධත්වය සදාකල් අපවිත‍්‍රභාවයට පත් කිරීම සඳහා දේවාල භූමිය තුළ එළදෙනුන් කීප දෙනෙක් මරා දමන ලදී. අපගේ අවසාන කාර්යය වූයේ සත් මහලකින් යුත් දැවයෙන් නිම වූ දේව රථයට ගිනි තැබීමයි. මෙම දේව රථය නොයෙක් වර්ණවලින් යුක්තවූ ඉතාම අලංකාර නිර්මාණයක් විය. වසරක් පාසා මහා දෙවියන්ගේ පිළිරුවක් මෙම රථය තුළ තබා නගරය වටා ගෙනයාමේ සිරිතක් තිබුණි.”
6. විනාශයෙන් පසුව
පෘතුගිසී පාලනය කාලය තුළ වෙනත් ආගම් අදහන්නන්ට දැඩි දඬුවම් ලබා දීම සිදු කළා. මේ නිසා උපුල්වන් දේවාල බිමට පුද සත්කාර කිරීමට කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. සමහරු කියන විදිහට ඒ බිමේ පල්ලියක් ඉදි කිරීම කරලා. මේ නිසා ඒ ප්‍රදේශයට කාලයක් පල්ලියවත්ත කියලත් භාවිතා වුණාලු. දෙවෙනි රාජසිංහ රජතුමාගේ කාලේදී ලන්දේසින්ගේ පැමිණීමත් එක්ක රජතුමාගේ අනුග්‍රහයෙන් නැවතත් කුඩා දේවාලයක් ඒ බිමේ ඉදි වුණා. ඒත් එක්කම නැවතත් උපුල්වන් දෙවියන්ට වන්දනාමාන කිරීමට දෙවිනුවර ආශ්‍රිත ජනතාවට හැකියාව ලැබුණා.
7. උපුල්වන් දේවාලය විෂ්ණු දේවාලයක් වීම
උපුල්වන් දේවාලය නැවත ඇරඹෙන්නේ දැඩි හින්දු බලපෑමක් තිබ්බ මහනුවර යුගයේ වීමත් වගේම උපුල්වන් දෙවියන් ඇදහීම සියවසක් වගේ තහනම් වීමත් නිසා උපුල්වන් දෙවියන් කියන්නේ විෂ්ණු දෙවියන් කියලා අදහසක් අපේ රටේ මිනිස්සු තුළ ඇති වුණා. මේ නිසා අද වෙන කොට උපුල්වන් දේවාලය ” ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලය” කියලා හැඳින්වෙනවා.
උපුල්වන් සහ විෂ්ණු දෙවියන්ගේ වුණු මේ පටලැවිල්ල ගැන කතාව ඔන්න ඔහොමයි. එහෙනන් මේ ලිපිය ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ ලිපියේ සඳහන් කරුණු ගැන ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න.
Leave a Reply