ලංකාවේ පිහිටීමේ ස්වභාවයත් එක්ක අපි කාන්තාර ගැන ඉගෙන ගන්නේ භූගෝල විද්‍යා පාඩමේදි විතරයි. හැබැයි ජාතක පොත් වහන්සේ තුළින් සහ මැදපෙරදිග සේවය කරන්න ගිහිල්ලා ඉන්න අපේ යාළු මිත්‍රයන්ගෙන් අපි කාන්තාර ගැන දැන ගන්නවා. ගොඩක් දෙනෙක් කාන්තාරයේ ගමන් යන්න උදව් කරන ඔටුවන්ට ආසයි. අපි අද කතා කරන්න යන්නේ ලෝකයේ තියන ප්‍රධාන කාන්තාර කීපයක් පිළිබඳව. මේ ලැයිස්තුවට අපි සහරා කාන්තාරය ඇතුළත් කරන්නේ නැහැ. මොකද සහරාව ගැන ගොඩක් දෙනෙක් දන්න නිසා.
1. කලහාරි කාන්තාරය
සහරා කාන්තාරයට පමණක් දෙවැනි වන කලහාරි කාන්තාරයේ වැඩි කොටසක් අයිති වෙන්නේ බොට්ස්වානාවට. ඒ වගේම මේ කාන්තාරය දකුණු අප්‍රිකාවට සහ නැමීබියාවටත් විහිදී යනවා. කලහාරි යන නමේ අර්ථය මහා පිපාසය ලෙසට ගෝත්‍රික භාෂා තුළ අර්ථකථනය කෙරෙනවා. මේ මඟින් කාන්තාරය තුළ ජලය සොයා ගැනීමට ඇති අතිමහත් අපහසුව සන්නිවේදනය වෙනවා. මෙම කාන්තාරයේ ඇතැම් කොටස් තුළ ලුණු ජලයෙන් පිරුණු විල් සහ අති ශුෂ්ක කාලගුණයක් තුළ දැකිය හැකි පතොක් සහ පඳුරු වර්ග දකින්නට ලැබෙනවා. නමුත් බහුතරයක් ප්‍රදේශවල දකින්නට ලැබෙන්නේ කාන්තාරමය ලක්ෂණ පමණයි.
2. ටක්ලමාකන් කාන්තාරය
චීනය් ෂියැංජින් ප්‍රාන්තයේ ගිණිකොණදිග කොටසේ පිහිටා ඇති මෙම කාන්තාරයට නම ලැබී ඇති ආකාරය පිළිබඳව විවිධ මත පළ වෙනවා. ඇතැම් අයට අනුව මේ සඳහා ඇත්තේ පර්සියානු මූලයක්. නමුත් ඊට විරෝධය පළ කරන පිරිසක් පවසන්නේ යමෙක් ‘ගියොත් යළිත් නොඑන ප්‍රදේශය’ යන අර්ථය මින් ලබා දෙන බවයි. භූමි ප්‍රමාණයෙන් ජර්මනියට වඩා මදක් විශාලත්වයෙන් අඩු ටක්ලමාකන් කාන්තාරය පිළිබඳව විවිධ පර්යේෂණ සිදු කරමින් පවතිනවා. ඔවුන්ට අනුව මෙම කාන්තාරය නිර්මාණය වීමට අවශ්‍ය වැලි ගසා ගෙන එන්නේ බටහිර ඇමරිකා එක්සත් ජනපදය ප්‍රදේශයෙන්.
3. නමීබ් කාන්තාරය
අති දැවැන්ත බිම් කඩ යන අර්ථය ලබාදෙන නමීබ් කාන්තාරය පිහිටා තිබෙන්නේ දකුණුදිග අප්රිකාවේ වෙරළ ආශ්‍රිතවයි .කිලෝමීටර් 2000ක පමණ වපසරියක විහිදීයන මෙම කාන්තාරය ඇන්ගෝලාව, නැමීබියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල කොටස් සිය ග්‍රහණයට නතු කරගෙන සිටිනවා. අතිශයින්ම අඩු ජල පරිමාවක් පරිභෝජනය කරමින් ජීවත් විය හැකි ශාක සහ සත්ව විශේෂ රැසක් මෙම කාන්තාරය ඇසුරු කරමින් ජීවත් වෙනවා.
4. ඇන්ටාක්ටිකාව
සමහරවිට ඒ වචනය දැක්ක ගමන් Lifie ඕගොල්ලන්ට පිස්සුද කියලා කියවන ඔබට හිතෙන්න ඇති. කාන්තාරයක් සඳහා ලබාදෙන අර්ථ දැක්වීම අනුව ඇන්ටාක්ටිකාවත් කාන්තාරයක්. ලෝකයේ මිරිදිය ජලයෙන් 80% ක් ඇන්ටාක්ටිකාවේ ගබඩා වෙලා තිබ්බත් වසර මිලියන දෙකකින් පමණ ඇන්ටාක්ටිකාවට නිසි පරිදි වර්ෂාපතනයක් ලැබිලා නැහැයි කියලයි වාර්තාවල සඳහන් වෙන්නෙ. මේ කටුක උෂ්ණත්වය තුළ සහ හිමෙන් වැසුණු ගොඩබිම තුළ එම පරිසරයට අනුවර්තනය වුණ ශාක සහ සත්ව විශේෂ දකින්නට ලැබෙනවා.
5. පැටගෝනියා කාන්තාරය
ආජන්ටිනාව තුළ පවතින මෙම කාන්තාරය බටහිරින් ඇන්ඩීස් කඳුවැටියටත් නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයටත් සීමා වෙනවා. නමුත් මේ කාන්තාරය තුළ සීත සුළං රැළි සහ ජලය ඇතැම් කොටස්වල පවතිනවා. මේ නිසා මේ ආශ්‍රිතව විවිධ වර්ගයේ සතුන් රැසක් මෙන්ම ශාක විශේෂද දකින්නට ලැබෙනවා. දුරාතීතයේ පටන්ම කාන්තාරයේ තිබූ ගුහා අශ්‍රිතව ආදී මානවයන් ජීවත් වී ඇති අතර වර්තමානයේ ද මෙම කාන්තාරය ආශ්‍රිතව ජනාවාස පවතිනවා.
6. ඇටකමා කාන්තාරය
අඟහරු ලෝකය තුළ අනාගතයේ සිදු කිරීමට නියමිත මිනිස් ගවේෂණ පිළිබඳව පර්යේෂණ භූමියක් ලෙස මෙම කාන්තාරය භාවිතා වෙනවා. ඊට හේතුව වන්නේ ඇන්ටාක්ටිකාවට පසුව ලෝකයේ වියළිතම ස්ථානය වන්නේ ඇටකාමා කාන්තාරය වීමයි. කෙසේ වෙතත් අනෙකුත් බොහෝ කාන්තාර සේම එම දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයට හැඩ ගැසුණු ශාක සහ සත්ව විශේෂ මෙහි දකින්නට ලැබෙනවා. එසේම සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා කාලය තුළදී ලැබෙන වර්ෂාවත් සමග මෙම කාන්තාරය මලින් පිරී යාම අතිශයින්ම සුන්දර දර්ශනයක්.
7. තාර් කාන්තාරය
වර්ග කිලෝමීටර ලක්ෂ දෙකක පමණ වපසරියක විහිදී යන තාර් කාන්තාරයෙන් වැඩි කොටසක් ඉන්දියාවට හිමි වන අතර ඉතිරි කොටස පාකිස්තානය තුළ පිහිටා තිබෙනවා. මෙම කාන්තාරය තුළ වාසය කරන සතුන්ගේ සහ ශාකවල ආරක්ෂාව වෙනුවෙන් මෙම රටවල් දෙකම අභය භූමි සහ ජාතික වනෝද්‍යානයන් රැසක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. එසේම තාර් අශ්‍රිතව වාර්ෂිකව විවිධ සංස්කෘතික උත්සව රැසක් පැවැත්වෙන අතර ඒවා සඳහා දැඩි සංචාරක ආකර්ෂණයක් හිමි වෙනවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply