සති අන්තයක් අමුතුම විදිහට ගතකරන්න ඇටන්වල නකල්ස් මායිමට යමු

වීකෙන්ඩ් එකක් ගතකරන්න බොහෝ විදි අපිට තියෙනවා. එයින් වීකෙන්ඩ් එකකට අලුත් විදිහෙ තැනකට ට්‍රිප් එකක යන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා නේද? ඉතින් අපි ඒ වගේ අලුත් විදිහෙ තැනක් බලමු. ඇටන්වල කියන්නේ එහෙම සුන්දර තැනක්. ඒකේ සුන්දරත්වය කියන්නේ විඳගන්න ඕනි දෙයක්. ඉතින් අපි බලමු ඇටන්වල ගැන විස්තර.

 

1. ඇටන්වල සහ අවට

ඇටන්වල කියන්නේ නක්ල්ස් මායිමේ තියෙන සුන්දර ගමක්. ඒ ගමේ මායිමෙන් ලස්සන දොළ පාරක් ගලාගෙන යනවා. ඒ වගේම සුන්දර කඳු වළල්ලකින් ඒ ගම වටවෙලා තියෙනවා. මීට කාලෙකට කලින් ඇටන්වල අවට තවත් කැලෑබද ගම්මාන කිහිපයක් තිබිලා තියෙනවා. අද වෙද්දි ඒ ඇතැම් ගම් නැතිවෙලා ගිහින්. ඇටන්වල දැන් දැන් ටිකක් සංචාරක කර්මාන්තයට යොමුවෙලා. මීමුරේ තරම්ම අවුලට ගිහින් නැති ඇටන්වල තවමත් බලන්න කියන්න වටින දේවල් තියෙන තැනක්.

 

2. යන හැටි

ඇටන්වලට යන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි, මාතලේ ලග්ගල පල්ලේගම පැත්තට ගිහින් එතනින් පිටවල පතනට එන පාරේ ටිකක් ඇතුළට ගිහින් ඇටන්වල ගමට එන්න පුළුවන්. මාතලේ ඉඳන් එනවා නම් රිවස්ටන් සහ පිටවල පතන පාස් කරලා එද්දි මොරගහකන්ද ජලාශයට කලින් ඇටන්වල ගමට එන හංදිය හමු වෙනවා. ඉතින් මේ මොන විදිහට ගියත් ටිකක් විතර දුෂ්කර ගමනක් තමයි තියෙන්නේ. දුෂ්කර වුණත් මේ කඳුකර ගම්මාන වලදි ගමන බිමන කියන්නේ හිත නිවෙන වැඩක්. ඒ මොකද මේ කඳුකරය හරහා තියෙන පාරවල් වලට සුන්දර භූමි දර්ශන තියෙනවා.

 

3. සුන්දර මානිගල

මානිගල කන්ද කියන්නේ කෑම්පින් වලට කියාපු තැනක්. මානිගල කෑම්පින් කරන්න කෑම්ප් ගහන්න පුළුවන් ලස්සන ලොකේශන් තියෙනවා. ඒ පරිසරයට ගියාම වට පිටේ පේන දර්ශනයත් සුන්දරයි. මානිගල යන්න ඇටන්වල ඉඳලා තියෙන්නේ කිලෝමීටර කිහිපයයි. ඒ කිලෝමීටර කිහිපය වුණත් කලින් ගියපු නැති කෙනක්ට නම් නගින්න ටිකක් අමාරුයි. ඒත් ගියොත් සුන්දර අත්දැකීමක් ලැබෙනවා.

 

4. වල්පොලමුල්ල සුන්දර ගම

වල්පොලමුල්ල සහ තවත් පැරණි ගම්මාන කිහිපයක්ම මේ ඇටන්වල ගමට ආසන්නයේ තියෙනවා. මේ වල්පොලමුල්ල කියන්නේ කලකදී බොහොම අහිංසක ගැමියන් ජීවත්වුන ගමක්. වල්පොලමුල්ල ගමේ ඒ කාලේ උන්න මිනිස්සු දඩයම් කරලා, ඒ දඩයම් කළ මස් සිදාදියට අරන් ගිහින් විකුණුවා. තවත් පිරිසක් දාඩිය මහන්සියෙන් හෙල්මලු පෙරලලා බව බෝග වගා කළා. ඒත් එක්තරා යුගයකදී වල්පොල මුල්ල වගේ ගම්මාන වලට අලි කරදර එන්නට ගත්තා. එතනින් පස්සේ ඒ ගමේ මිනිස්සුන්ට, වගාවන්ට අලි කරදර වැඩි වුණා. ඉතින් එයාල වෙනත් වාසස්ථාන වලට ගියා. එත් අදටත් වල්පොලමුල්ල අත්හැරපු වෙල් යාය අපිට පේන්න තියෙනවා. ඒ ගමේ නෂ්ඨාවශේෂ තියෙනවා. ඒ කඳුකර ගම්මානයේ සම්පූර්ණ සුන්දරත්වය නැතත් ඉතිරි වෙලා තියෙන සොබා සෞන්දර්යය විදගන්න උපරිම අවස්ථාවක් අපිට ඒ ගමනේදි ලැබෙනවා.

 

5. දොළ පහර සහ තෙල්ගමු ඔය

තෙල්ගමු ඔය කියන්නේ සුන්දර තැනක් නෙමෙයි. මෑතකදි ගිය මාධ්‍ය වාර්තා බැලුවොත් තෙල්ගමු ඔයේ නාන්නට ගිය පිරිස් අවාසනාවන්ත ලෙස ගහෙගන ගියා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒත් මේ ඇටන්වල ගම හරහා ගලා යන දොළ පහර දිහා බල බල නාන්නේ නැතුව එන්න අමාරුයි. ගල් අතරින්, කඳු අතරින් ගලන සීතල දිය පාරක් අපේ ඇඟේ දැවටෙද්දි කඳු නැගලා මහන්සිවෙලා ගමට ගිය තෙහෙට්ටුව කොහෙ ගියාද කියලා අපිට සොයාගන්න නැතිවෙනවා. ඉතින් මේ සුන්දර දිය දහරාවල පහසින් නාගන්නත් හැකියාව ඔයාලට ඇටන්වල ගියොත් ලැබෙනවා.

 

6. වෙල් සිසිල සහ රෑ නවාතැන්

ලංකාව වටේ තැන් තැන්වල අපිට සමහර විට හිතාගන්නත් බැරි මට්ටම්වල හෝටල විවිධ විවිධ මිල කාණ්ඩ යටතේ තියෙනවා. මේ ඇටන්වල ගමෙත් සුන්දර නවාතැන් තියෙනවා. වෙල් සිසිල ආසන්නයේ තියෙන සමහර නවාතැන් වලදි කඳුකර බිම පිස එන සුන්දර සුළං රැළි අපේ ඇඟට වදින්නේ අමුතුම මිහිරක් ගෙන එමින්. ඉතින් ඒ වගේ එළිමහන් තැනකට වෙලා කන්න බොන්න ලැබෙන එකත් එක්තරා ලැබීමක්. සමහර විට ලොකු හෝටලයක තිබෙන තරම් තරු පහසුකම් නැති වුණත් ගමේ විදිහට බත් ටිකක් කාලා, වෙල් සිහිලෙ කාලය ගතකරන්න ලැබෙන එකම නාගරික ජීවිත වලට කොටුවෙලා ඉන්න අයට වටිනවා.

 

7. ගම සහ ගමේ විනෝදය

මේ කියන ඇටන්වල ගමේ දැන් දැන් අලුතින් නවාතැන් ඇතිවෙලා තියෙනවා. එවායේ ලොකු වියදමක් නැතුව නවතින්න පහසුකම් තියෙනවා. ඒත්  ඉතින් ඒක ගමක්. අපි බීල කාල, කෑ ගහලා විකාර කරන්න ගියොත් ගමේ අයටත් අපිව ඉක්මනින්ම එපා වෙනවා. ඒ වාගෙම අපි බලන්න යන නකල්ස් වල සුන්දර ගමන් වලදි පොලිතීන් ආදිය පරිසරයට නිකුත් කරන එක ගැනත් අපි සැළකිලිමත් වෙන එක වටිනවා. මොකද සුන්දර පරිසරය කියන්නේ අපි හැමෝටම විඳගන්න ඉතිරි කරන්න ඕනි සම්පතක්. 

 

ටුවර් යෑමෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ වෙනසක් සහ සිතට සැනසීමක්. ඒ අනුව බැලුවාම ඇටන්වල ගම බලා යෑම කියන්නෙ හොඳ රිලැක්ස් එකක් ලෙසටම ලැබෙන වැඩක්. ගමකදි සමහර විට තරු පන්ති හෝටලයක ලැබෙන පහසුකම් ඔයාලට ලැබෙන එකක් නැහැ. එත් කඳුකර ගමක තියෙන පාරිසරික නිමාව අත්විඳින්නට ලැබෙන සුන්දර අවස්ථාවක් ඔයාලට ඇටන්වල ගමේදි හමුවේවි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *