මෙහෙම කියපු ගමන් ගොඩක් දෙනෙක්ට ඔළුවට එන ප්‍රශ්නය වෙන්නේ, මොකක්ද proactive කියන්නේ කියන එක. ඇත්තටම අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා, අනාගතය ගැන හිතලා ක්‍රියාත්මක වෙන (proactive) මනුස්සයෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන. ආයෙමත් මතක් කරගමු proactive වෙනවා කියන්නේ මොකක්ද කියලා. proactive කියන්නේ , අපේ වෘත්තියේදී හෝ අධ්‍යාපනයේදී හෝ එදිනෙදා ජීවිතයේදී, අපිට අනාගතයේදී මුහුණ දෙන්නට වෙන ගැටළු, අනාගතයේදී ඇතිවෙන්න පුලුවන් වෙනස්කම්, අනාගතයේදී මතුවෙන්න පුලුවන් අවශ්‍යතාවයන් වගේ දේවල් ගැන කලින්ම හිතලා, ඒ දේවල් සිද්ධ වෙන්න කලින්ම ඒ වලට මුහුණ දෙන්න සූදානම් වෙන්න, සැලසුම් කරන්න, ක්‍රියාත්මක වෙන්න තියෙන හැකියාව තමයි.
උදාහරණයකින් දෙකකින් අපි මේක තේරුම් ගමු. ඔන්න අපි බිස්නස් එකක් කරනවා. එතකොට බිස්නස් එකේ ලබන අවුරුද්දේ තත්වය කොහොම වෙයිද? ඒක කියන්න අපිට ඇත්තටම දිව්‍යඥාණයක් ඕන නෑ. අපිට පුලුවන් අපි බිස්නස් එක කරන කර්මාන්තය ගැන, රටේ තත්වය ගැන, ආර්ථික-දේශපාලන තීන්දු තීරණ එක්ක කොහොමද ලබන අවුරුද්දේ තත්වය කියලා ඇනලිසිස් එකක් කරලා තේරුම් ගන්න. ඊට පස්සේ, ඒ අනුව අපේ බිස්නස් එක දුවන තත්වයත් විශ්ලේෂණය කරලා බලලා, ඊලඟ අවුරුද්දේ මෙහෙම ගියොත්, රටේ තත්වෙත්, ආර්ථිකේ තත්වෙත්, ට්‍රේඩ් එකේ තත්වෙත් එක්ක වෙන්නෙ මේකයි, එතකොට බිස්නස් එක ගැන අපි මෙහෙම තීන්දු තීරණ ටිකක් ගත්තොත් මෙහෙම වෙන්න පුලුවන් කියලා අවබෝධයක් ලබාගන්න පුලුවන්. ආන්න proactive වීමක්.
ඊලඟට, අපි හිතමු අපිට හෙට අනාගතයේ වැදගත් ක්ලයන්ට් කෙනෙක් වෙන්න පුලුවන් කෙනෙක් එක්ක මීටින් එකක් තියෙනවා. අපිට ඕන නම් පුලුවන් අත් වන වනා මීටින් එකට ගිහින්, එන එන විදියට මුහුණ දෙන්නත්. එහෙම නැතිනම්, අපිට පුලුවන් ක්ලයන්ට් ගැන පොඩ්ඩක් කරුණු කාරණා හොයලා බලලා, අපි කතා කරන්න යන දේවල් ගැන පොඩ්ඩක් වැඩිදුර දේවල් හොයලා බලලා, අපි ඉදිරිපත් කරන යෝජනා එහෙම හොඳ ප්‍රසන්ටේෂන් එකක් විදියට සූදානම් කරගෙන මීටින් එකට යන්න. ඇත්තටම දෙවෙනියට කියපු විදියට සූදානම් වෙලා ගියොත්, මීටින් එක සාර්ථක වෙන්න තියෙන ඉඩ ඉතාම වැඩියි. ආන්න proactive මනුස්සයෙක් විදියට වැඩ කරන විදිය.
ඉතින් අපි කියන්න යන්නේ, එහෙම proactive මනුස්සයෙක් වෙන්න අපිට කරන්න පුලුවන් දේවල් තව කිහිපයක් ගැන තමයි.
01. ඊමේල්ස් එක්ක අප් ටු ඩේට්
දැන් කාලේ ගොඩක් වෘත්තිකයෝ ගනුදෙනු කරන ක්‍රමයක් තමයි විද්‍යුත් තැපෑල නැතිනම් ඊමේල්ස්. ඔය ටීම්ස්, ස්ලැක් වගේ ටීම් ප්‍රොජෙක්ට් සොෆ්ට්වෙයාර්ස් එහෙමත් පාවිච්චි වෙනවා තමයි. ඒත් තවමත්, ඊමේල්ස් වල තියෙන වැදගත්කම අඩු වෙලා නෑ. ඉතින් proactive වෙන්න අවශ්‍යම කරුණක් තමයි, ඊමේල්ස් හරියට පාවිච්චි කිරීම. ඒක කරන්න සරල ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි, ඊමේල් එකවුන්ට්ස් කීපයක් තියාගන්න එක. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඔෆිස් වැඩවලට එකක්, පර්සනල් වැඩ වලට එකක්, අනික් හැමදේකටම පාවිච්චි කරන්න එකක්. අන්න එතකොට, ඔෆිස් සහ පර්සනල් ඊමේල් වලට ටොන් ගාණින් ඒ තරම් අදාළ නොවෙන ඊමේල්ස් එන්නෙ නෑ. දෙවෙනුව, තමන් පාවිච්චි කරන බ්‍රවුසර් එකට, ඊමේල්ස් ආව ගමන් පෙන්නන ඇඩ්-ඕන් එකක්, එක්ස්ටෙන්ෂන් එකක් දාගන්න පුලුවන්. උදාහරණයක් විදියට, Notifier for Gmail වගේ ඇඩ්-ඕන් එකක් ෆයර්ෆොක්ස් වලට පාවිච්චි කරන්න පුලුවන්. එතකොට ඊමේල් එකක් ආපු ගමන් නෝටිෆිකේෂන් එකක් එනවා. තමන්ට ඊමේල් වෙබ් ඇප් එක විවෘත නොකරම තමන්ට ආපු ඊමේල්ස් මොනවද බලන්න පුලුවන්. එතනින්, වැඩ සම්බන්ධ හෝ පුද්ගලික, අඩු ගාණේ පැය විසිහතරක් ඇතුළත රිප්ලයි කරන්න අවශ්‍ය ඊමේල් වලට, ඒක දකින වෙලේම රිප්ලයි කරන්න පුලුවන්. ඒක පස්සට කල් දාන්න එපා!
02. ෆෝන් කෝල්ස් එක්ක අප් ටු ඩේට්
හොඳ වෘත්තිකයෙක් ෆෝන් කෝල් සම්බන්ධයෙන් වැඩ කරන කොට වැදගත් කරුණු කීපයක් තියෙනවා.
* ෆෝන් එක රින්ග් වෙනකොට කොච්චර ඉක්මනට ආන්සර් කරනවද?
* ෆෝන් එක ආන්සර් කරනකොට කතා කරන ටෝන් එක කොහොමද?
* තමන් ගන්න කෝල් එකකදී එහෙම තමන්ව හඳුන්වා දෙන්නේ කොහොමද?
* කොයි තරම් ඉක්මනට අඳුනන්නේ නැති කෙනෙක් කෝල් කළහම වුණත් එයාගේ නම අහලා, ඊට පස්සේ නම මතක තියාගෙන නමෙන් එයාට කතා කරනවද?
* නම්, දුරකථන අංක, ලිපින වගේ වැදගත් කරුණු ෆෝන් කෝල් එකකින් ලබාදෙනකොට, කොයි තරම් හොඳට අනික් පැත්තේ කෙනාට ඒක සන්නිවේදනය කරනවද? එතනදී නම්, ඒ වගේ කාරණා එස්.එම්.එස් හෝ වට්ස්ඇප් ඔස්සේ යවන්නත් පුලුවන්. ෆෝන් එකෙන් කියනවා නම්, ඒක දෙපාරක්වත් රිපීට් කරන්න පුලුවන්.
03. වැඩියෙන් කාර්යක්ෂම වෙන්න
proactive වීම ගැන කතා කරනවා නම්, ඊට කලින් reactive වෙන එක නවත්තන්න ඕන කියලා අපි කලින් ආටිකල් එකෙත් කිව්වා. ඒ කියන්නේ දෙයක් වුණාට පස්සේ ඒකට ප්‍රතිචාර දක්වනවා වෙනුවට, දෙයක් වෙන්න කලින් වෙන්න පුලුවන් කියලා හිතලා ඒ අනුව වැඩ කරන්න ඕන. හැබැයි එහෙම කරන්න නම්, අපේ කාර්යක්ෂමතාවය ඉහළ යන්න ඕන. ඇත්තටම කාර්යක්ෂම වෙනවා කියන්නේ කාර්යබහුල වෙනවා කියන එක නෙවෙයි. ඊට වඩා වැඩ කරන පැය ගාණ හරියට හදාගෙන, චිල් එකේ, රිලැක්ස් එකේ වැඩ ටික හරියට කරන එක තමයි කාර්යක්ෂමව වැඩ කරනවා කියන්නේ. ඒක කරන්න ඕන කරන ටිප්ස් කීපයකුත් අපි කලින් කියලා දීලා තියෙනවා.
04. කැලැන්ඩරයක් පවත්වා ගන්න
proactive වීම ගැන කතා කරනකොට, මෙන්න මේක බොහොම හොඳ ව්‍යායාමයක්. ඒ තමයි කැලැන්ඩරයක් පාවිච්චි කිරීම. ඉස්සර දැකලා තියෙනවද කාර්යක්ෂමව වැඩ කරන අය කැලැන්ඩරයක්, බිස්නස් ඩයරි එකක් එහෙම පාවිච්චි කරනවා? හැබැයි දැන් අපිට ඒක ඩිජිටල් ක්‍රමේට කරන්න පුලුවන්. එතකොට අපිට කරන්න තියෙන්නේ, අපිට ඉස්සරහට තියෙන මීටින්ග්ස්, අපි යන්න ඕන ඉවෙන්ට්ස් වගේ හැම දෙයක්ම දැනගත්තු ගමන් ඒ කැලැන්ඩර් එකේ මාක් කරන එක. දැන් ඔය ඊමේල් සේවාවන් සහ ඩිජිටල් කැලැන්ඩර් ගොඩක් වෙලාවට සම්බන්ධයි. එතකොට මීටින් එකකට ඉන්විටේෂන් එක ආපු ගමන් ඒක කැලැන්ඩරේ මාක් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ. හැමදාම කැලැන්ඩරය බලලා, ඉස්සරහට තියෙන ඒ වගේ වැඩකටයුතු වලට සූදානම් වෙන්න දවසේ වෙලාවක් වෙන් කරගන්න එක.
05. චෙස් අදිනවා වගේ ප්‍රශ්න අනුමාන කරමු
දැන් අපි කියමු, අපිට බදාදට ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා කරන්න. අද සෙනසුරාදා. මුලින්ම අපිට පුලුවන් හැකි ඉක්මනටම මේ ප්‍රසන්ටේෂන් එක හදන්න සහ ඒකට සූදානම් වෙන්න, පුහුණු වෙන්න දවසක් දාගන්න. ඒක අඟහරුවාදාට දාගන්න එපා. අඟහරුවාදා අපි ලෙඩ වුණොත්? වෙන හදිසි වැඩක් වැටුණොත්? ඔෆිස් ගිහින් එනකොට බස් එක කැඩිලා මඟ පරක්කු වුණොත්? ඔය ඕනම දෙයක් වෙන්න බැරිකමක් නැහැනේ. අන්න ඒ නිසා, ඒ වැඩේ අඩු ගාණේ ඉරිදටවත් දාගන්න. එතකොට, ඉරිදා ඔය වගේ ගැටළුවක් වුණත්, තව දවස් දෙකක් ඉස්සරහට තියෙනවා. එතකොට ඔය ප්‍රසන්ටේෂන් එක කරන්න යනකොට, කම්පියුටරේ හිර වුණොත්? කරන්ට් කැපුවොත්? ඔන්න ඔය වගේ ගැටළු පවා අනුමාන කරලා, අපිට පුලුවන් ප්‍රසන්ටේෂන් එක කෝකටත් පෙන් ඩ්‍රයිව් එකක වගේ දාගන්න. තව බැකප් එකට වෙන කාගේ හරි එතන ඉන්න කෙනෙක්ගේ කම්පියුටර් එකත් සෙට් කරගන්න. ඔන්න ඔය විදියට ඉදිරියේදී එන්න පුලුවන් ප්‍රශ්න ගැටළු අනුමාන කළහම, ඒ වලට ගන්න පුලුවන් විසඳුම් එහෙමත් කලින්ම හිතාගන්න පුලුවන්. හරියට චෙස් අදිනකොට, ප්‍රතිවාදියාගේ පියවර තුන හතරක් ඉස්සරහට අනුමාන කරලා, ඒකට සූදානම් වෙනවා වගේ තමා!
06. ප්‍රැක්ටිකල් විදියට වැඩ බෙදාගමු
දැන් අපිට ඕන නම් දවසේ වැඩ සීයක් දාගන්න පුලුවන් කරන්න. කොක්කෙන් හරි කෙක්කෙන් හරි මේ වැඩ ටික කොහොමහරි ඉවරකරනවා කියලා තදබල විදියට අධිෂ්ඨාන කරගන්නත් පුලුවන්. හැබැයි ඇත්තටම අපිටත් තියෙන්නේ දවසකට පැය 24 යි. අපිට රොබෝලා වගේ වැඩ කරන්නත් බෑ. අපේ උපරිම කාර්යක්ෂමතාවයට ලඟා වුණත්, තවමත් දවසක් ඇතුළේ කරන්න පුලුවන් වැඩ ප්‍රමාණයේ සීමාවක් තියෙනවා. ආන්න ඒ නිසා, දවසේ වැඩ, සතියේ වැඩ සැලසුම් කරනකොට, ප්‍රායෝගිකව ඇත්තටම ඉවර කරන්න පුලුවන් වැඩ ප්‍රමාණය තීරණය කරන්න ඕන. ඊට පස්සේ ඒ ප්‍රමාණය විතරක් කරනවා කියලා භාරගන්න ඕන. එහෙම නැතිනම් අපිට proactive විදියට වැඩ කරන්න තියා, තියෙන ටිකවත් ඉවර කරගන්න වෙන්නෙ නෑ.
07. කමියුනිකේෂන්
මේ කියන්නේ සන්නිවේදනය කියන එකනේ. ඒක proactive විදියට වැඩ කරන්න කොහොමද වැදගත් වෙන්නේ? මතක් කරගන්න අපි කියපු පළවෙනි සහ දෙවෙනි පොයින්ට්ස්. ඒ වල කියලා තියෙන්නෙත් proactive සන්නිවේදනය ගැන තමයි. හැබැයි, මේ ඇරෙන්න, proactive විදියට වැඩ කරනකොට අපි අනුගමනය කරන්න ඕන සන්නිවේදන ක්‍රමවේද කීපයක් තියෙනවා. එකක් තමයි, අපි කරන වැඩක් සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම, අදාළ වගකිව යුතු තැන් වලට දැනුම් දීම, අප්ඩේට්ස් ලබාදීම. ඒකට බොස් අහනකල් ඉන්න එපා. දවස අවසානයේදී ෆුල් අප්ඩේට් එකක් දෙන්න. ඒක ඊමේල් එකකින් වුණත් කරන්න පුලුවන්. එතකොට, ෆලෝ අප් කිරීම, ඒ කියන්නේ වැඩක් කොහොමද, හරියට වෙනවද කියලා හොයලා බැලීමත් ඒ වගේම වැදගත්. විශේෂයෙන්ම අපි වැඩක් තව කෙනෙක්ට පැවරුවහම ඒ සන්නිවේදනය තියෙන්න ඕන.
අනාගතය ගැන හිතලා ක්‍රියාත්මක වෙන (proactive) මනුස්සයෙක් වෙන්නේ මෙහෙමයි! – පළමුවන කොටස
Leave a Reply