ඉතිහාසය කියන්නේ පොත් වල තියෙන කටපාඩම් කළ යුතු දෙයක්ම නෙමෙයි. ඊට වඩා එහාට ගිය සාධක සහිත ඉතිහාසයක් ලාංකික අපිට තියෙනවා. රාවණා වගේ ඈත යුග ගැන කතාන්දර තිබුනාට ඒ යුගේය කියලා හරිහැටි සොයාගත් දෙයක් නැහැ. ඒනිසා අවුරුදු පන්දාස් ගණන් කියලා පොත්වල කතාන්දර තිබුනට ඇත්තටම සාධක විදිහට දරුවන්ට පෙන්වන්න දෙයක් නැහැ.
1. අනුරාධපුරය සහ පොළොන්නරුව
අනුරාධපුරය කියන්නේ සියවස් ගණනාවක් තිස්සේ තිබුන රාජධානියක්. අපි ඉන්න කොළඹ අගනුවර වෙලත් වැඩිම වුනොත් අවුරුදු දෙතුන් සීයක් ඇති. ඒත් අනුරාධපුර රාජධානිය අවුරුදු දාහකටත් වැඩි කාලයක් රජවරුන්ට රාජධානියක් වුනා. ඒ නිසාම විශාල පරාසයක නටබුන් අනුරාධපුර විහිදිලා තියෙනවා. පොළොන්නරුව සාපේක්ෂව පොඩියි. ඒ නිසා අඩු කාලයක් ගත කරල ස්ථාන දැකබලාගන්නත් ලේසියි. අනුරාධපුරයත් දරුවන්ට පෙන්විය යුතුම සිද්ධස්ථාන මාලිගා ආදිය ගණනාවකින් යුක්තයි. පොළොන්නරුව ගත්තාම බොහෝ නටබුන් හොඳට ආරක්ෂා වෙලා තියෙනවා. අදට ගියත් සමහර පිළිම ගෙවල්වල චිත්‍ර පවා පොළොන්නරුවේදි ඉතිරි වෙලා තියෙනවා.
2. වැව් සහ වාරිකර්මාන්ත
වැව් හදලා ගොවිතැන් බත් දියුණු කිරීම අතින් පරාක්‍රමබාහු රජතුමා තමයි පොළොන්නරුවේ වැඩකරු විදියට සලකන්නේ. පරාක්‍රමබාහු රජතුමා හදාපු ඒවයෙ පස්සේ කාලේක නිශ්ශංකමල්ල තමුන්ගේ නම ගහගත්තු වෙලාවලුත් තියෙනවා. වැවක් කියන්නේ මොකද්ද? ඒවායේ සොරොව්ව කියන්නේ මොකද්ද? වැවක් හදන එක කොච්චර අමාරු වැඩක්ද? අද කාලේ වැව් හදන්න යන්තර සූත්තර තිබුනට ඒවා නැති කාලේ කොච්චර මහන්සියක් මේ වැව් කර්මාන්ත වෙනුවෙන් කරන්න ඇතිද කියලා දරුවන්ට කියා දෙන්න පොළොන්නරුව ගැලපෙනම තැනක්. මින්නේරිය, ගිරිතලේ වගේම පරාක්‍රම සමුද්‍රයත් පොළොන්නරුවට යද්දි වැව් විදියට අපිට හමු වෙනවා.
3. සිද්ධස්ථාන
පොළොන්නරුවේ කිරි වෙහෙර මේ මෑතක් වෙනතුරුම පැරණි කළු පැහැයට එදා සිරියෙන් ආරක්ෂා වෙලා තිබුනා. දැන් නම් ඒකේ ලාබ හුණු බදාම තට්ටුවක් ආලේප කරලා පැරණි චෛත්‍යයේ තිබුන පැරණි ගතිය නැතිවෙලා ගිහිල්ලා. ඒත් රන්කොත් වෙහෙර පැරණි ආකාරයෙන් තාම එහෙමම තියෙනවා. ඒ නිසා ඒ පැරණි වටදාගෙය, හැටදාගෙය ආදී දළදා මාලිගා මෙන්ම භික්ෂූන් මහ ගොඩක් වාසය කළා යැයි සැලකෙන ආලාහන පිරිවෙන් සංකීර්ණයද පොළොන්නරුවේ යන අපිට දැකබලාගන්න හැකියි. මේ ගොඩනැගිලිවල පාදම් ගොඩක් හොඳට ආරක්ෂා වෙලා තියෙනවා. සමහර ගොඩනැගිලිවල පැති බැමි බිත්ති පවා තවමත් හොඳින් තියෙනවා.
4. මාලිගා උයන්
පරාක්‍රමබාහු රජ මාලිගය, නිශ්ශංක ලතා මණ්ඩපය එහෙම අයිති වෙන්නේ මාලිගා ගොඩට. මේ මාලිගා හදලා තියෙන ගඩොළු බැමි සමහරක් අදටත් මීටර් ගණනාවක් උසට තියෙනවා. නෙළුම් පොකුණ කියලා අද අපි කොළඹ 7 චීන බිල්ඩිමක් හැඳින්වුවත් එදා නෙළුම් පොකුණ කියලා අපේ ඇත්තෝ ගලින්ම නිම කළ ලස්සන නෙළුම් පොකුණකුත් පොළොන්නරුවේ දකින්නට තියෙනවා. නිශ්ශංක රාජ සභාව කිට්ටුව තියෙන දීප උයනේ අපූරු ජල උද්‍යානයක් තියෙනවා. එදා රජවරුන් නාන්නට පාවිච්චි කළ පොකුණු සහ නානකාමර වැනි දේ ගල් වලින් හදපු නිසා, දීප උයන කෙළවර අදටත් ඒවා ආරක්ෂා වෙලා තියෙනවා.
5. පොළොන්නරු කෞතුකාගාරය
ටිකක් දැනුම් තේරුම් ඇති දරුවන් එක්ක යනවා නම් පොළොන්නරු කෞතුකාගාරය කියන්නේ යා යුතුම තැනක්. අපිට පොළොන්නරුවට යාබදව තියෙන නටබුන් වගේම ටිකක් දුරින් තියෙන දිඹුලාගල වැනි තැන් සහ පොළොන්නරු යුගයට අයිති තැන් ගැන විස්තර මේ කෞතුකාගාරයේ තියෙනවා. පැරණි ආයුධ, පැරණි සන්නාහ, ඒ කාලේ පාවිච්චි වුනු ගොවි උපකරණ, අලංකාර හින්දු පිළිම, මැටි භාණ්ඩ, හමු වූ කාසි, පිත්තල බඩු ආදී විශාල පුරාවස්තු තොගයක් විස්තර එක්කම වෙන් වෙන් වශයෙන් මේ පොළොන්නරු කෞතුකාගාරයේදී දරුවන්ට වගේම අපිටත් බලාගන්න හැකිවෙන්න තියෙනවා.
6. යන්න ඉන්න ලේසියි නේ
කොළඹ සිට පොළොන්නරුවට අලුතින් කෝච්චියක් දැම්මා. ඒකේ නම ‘පුලතිසි’. ඒ වගේම පොළොන්නරුවට දිනපතා කොටුවේ ඉඳලා කෝච්චි 4ක්ම යනවා. ඉතින් ඒ වෙලාවන් අනුව කොළඹ දිහා ඉඳන් පොළොන්නරුවට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කුරුණෑගල, නුවර දිහා ඉඳලත් පොළොන්නරුවට බස් පහසුව තියෙනවා. ඇල්ල, සීගිරිය වගේම පොළොන්නරුවත් පහුගිය පාස්කු බෝම්බ ප්‍රහාරය වෙනකල් සංචාරක ආකර්ෂණ ස්ථානයක් විදියට ජනප්‍රිය වුනා. ඒ නිසාම රුපියල් දාහේ සිට කාමර ආදිය වෙන් කරගන්න පහසුකමත් පොළොන්නරුවේදි තියෙනවා.
7. යන්න සුදුසු කාලය
පොළොන්නරු දිහාට වහිනකොට පැල් බැඳගෙන වැහැලා ගලන්න වහිනවා. ඒත් ඉතින් එහෙම වහින්නේ අවුරුද්දටම දවස් කීපයක් විතරයි. අනෙක් හැම කාලෙකදිම පොළොන්නරුවේ නටබුන් බලන්න යන්න හැකියි. දරුවෝ එක්ක යනවා නම් පාන්දරින්ම නටබුන් බලන්න යන්න පටන් ගන්න එක කෝකටත් හොඳයි. ගේට්ටුව අරිනකොටම උදේ 7ට විතර පුරාවිද්‍යා උද්‍යානයට ගියා නම් අපිට ඉර නැගෙන්න කලින් නිවිහැනහිල්ලේ සිද්ධස්ථාන සහ රාජ මාලිගා ආදිය බලාගන්න පුළුවන්. සෙරෙප්පු ගලවලා යන්න තියෙන නිසා ගල්විහාරය, කිරිවෙහෙර, රන්කොත් වෙහෙර, වටදාගේ ආදියට මද්දහනේ යද්දි ගිනිපාගනවා වගේ කකුල් පිච්චි පිච්චි තමයි යන්න වෙන්නේ. ඒ නිසා පාන්දරම නටබුන් බලන්න පටන් ගන්නවා නම් කොයි කාටත් ලේසියි.
ඉතිහාසේ අභිමානය ගීත විදියට ගායනා කරනවා, පොත් වලින් අපි කියෝනවා. ඒත් දරුවන්ට ඇස් වලින් දැකලා ඒවා බලාගන්න තියෙනවා නම් තමයි ඒ කාලේ රජගොල්ලන්ගේ සිරා වැඩ පොඩ්ඩන්ගේ ඔලුවට යන්නේ. ඉතින් අපිත් ටිකක් ඒවා ගැන දැන කියාගෙන, දරුවන්ටත් කියා දීලා, වැවක බැහැලා නාගන්න ඊලඟ නිවාඩු කාලේදිවත් පොළොන්නරු දිහා යමු නේද? දුවන පෙරහැරේ ගිහින් ගල් විහාරේ පිළිම තුනයි කිරි වෙහෙරයි වැඳලා ආවාට ඇත්තටම පොළොන්නරුව කියන්නේ අඩුම පැය පහ හයක් වත් හෙමිහිට බලන්න වටින නටබුන් තියෙන තැනක්.
Leave a Reply