සුද්දන්ගේ රටෙන් ආපු අතුරුපස 7ක් ගෙදරදීම හදාගමු

කෑම වේලක ආශික්ම අවස්ථාවක් තමයි අතුරුපස කියන්නේ. කෙහෙල් ගෙඩියකින්, ෆෘට් සැලඩ් එකකින්, අයිස් ක්‍රීම් හැන්දකින් ශේප්මන්ට් එකක් දාගත්ත කාලේ ගියා. දැන් ඉතින් දිව ඉල්ලන්නේම ඊටත් එහා රසයක්. බටහිර රටවල ආහාර සංස්කෘතියේ වැදගත් අංගයක් විදියට අතුරුපස තියෙන නිසා විවිධත්වයකින් යුතු කෑම ජාති තියෙනවා. ඒ වගේ ආහාර කීපයක් සාදාගන්නා හැටි ගැනයි මේ.

 

1. පන්නා කොත්තා

Image Source – epicurious.com

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. කිරි ලීටර් 1 (Fresh Milk)
  2. සීනි ග්‍රෑම් 250
  3. වැනිලා තේ හැඳි 2
  4. ජෙලටින් ග්‍රෑම් 50
  5. තමන් කැමති පළතුරක්

සාදාගන්නා ආකාරය:

  • සාස්පානකට කිරිත් සීනිත් එකතු කර උණු කරගන්න. ඒත් එක්ක ම වැනිලා බින්දු දෙකත් එකතු කරන්න. මදක් නිවෙන්නට ඉඩ හැර ජෙලටින් එකතු කර කලවම් කරන්න. මෙය සම්පූර්ණයෙන්ම සිසිල් වූ විට ශීතකරණයේ තබන්න.
  • ස්ට්‍රෝබෙරි හෝ අඹ වැනි පළතුරක් ගෙන කෑලි කපා සීනි ස්වල්පයක් සමග උණු කරගන්න. ඉන්පසු බ්ලෙන්ඩරයක් ආධාරයෙන් පොඩි කරගන්න.
  • ඒවා ශීතකරණයේ ඇති කිරි මිශ්‍රණය මත දමා යළිත් ශීතකරණයේ තබන්න.
  • මේ පළතුරු වැඩේ අමාරුයි නම් වැනිලා, චොකලට් වගේ එසන්ස් වර්ගයක් භාවිත කරන්න පුළුවන්.

 

2. ලෙමන් මූස් (Citronfromage)

Image Source – arla.dk

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. විපින් ක්‍රීම් මිලිලීටර 200
  2. ජෙලටින් මේස හැඳි 1 1/2
  3. සීනි ග්‍රෑම් 100
  4. බිත්තර 3
  5. ලෙමන් භාගයක යුෂ
  6. සූරාගත් ලෙමන් පොතු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය:

  • භාජන දෙකකට බිත්තර සුදුමදය සහ කහමදය වෙන් කරගන්න. එකකට ග්‍රෑම් 50 වන බැගින් සීනි ද එකතු කරන්න.
  • ජෙලටින් වතුර මේස හැඳි තුනක් එක් කර පෙඟෙන්නට තියන්න. සුදුමද මිශ්‍රණය පුළුන් වන තරමට (පීක් අවස්ථාවට එනතුරු) බීට් කරගන්න.
  • බීටරය පිරිසිදු කර විපින් ක්‍රීම් ටික බීට් කරගන්න. පෙඟෙන්නට තැබූ ජෙලටින් ටික උණුවතුර භාජනයක තබා ඩබල් බොයිල් ක්‍රමයට උණු කරගන්නා ගමන් එයට ලෙමන් යුෂ සහ ලෙලි එක් කරගන්න.
  • කහමද ටික බීට් කරගන්නා අතර එයට ජෙලටින් මිශ්‍රණය එක් කරගන්න. බීට් කිරීම නවතා සුදුමද සහ විප්ඩ් ක්‍රීම් එක් කර පැතලි හැන්දකින් පෙරලමින් මිශ්‍ර කරගන්න.
  • පිළිගන්වන භාජන වලට දමා පැය 3-4ක් ශීතකරගන්න.

 

3. චොකලට් ටාර්ට්

Image Source – bbc.com

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. මාරි බිස්කට් ග්‍රෑම් 200
  2. කුකින්ග් චොකලට් ග්‍රෑම් 200
  3. දියකරගත් බටර් ග්‍රෑම් 100
  4. ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 100
  5. සීනි ග්‍රෑම් 50
  6. බිත්තර 2

සාදාගන්නා ආකාරය:

  • බිස්කට් වලින් පොඩි කොටසක් වෙනම තබා ඉතිරිය බ්ලෙන්ඩ් කරගන්න. එයට බටර් දමා යළිත් බ්ලෙන්ඩ් කරගන්න. භාජනයක් ගෙන මේ මිශ්‍රණයෙන් පතුලම වැසී යන තෙක් හැන්දකින් තද කර විනාඩි 10ක් පමණ ශීතකරණයේ තබන්න.
  • භාජනයක් ලිප තබා එයට කිරි ටික එක් කර වටෙන් යන්තම් බුබුළු එන ගාණට රත් කරගන්න. එය ලිපෙන් ඉවත් කර චොකලට් එක් කර හොඳින් චොකලට් ටික දියකරගන්න. එයටම සීනි ටික එකතු කරගෙන සීනි දියවෙනතුරු හොඳින් විස්ක් කරගන්න.
  • බිත්තර දෙක වෙනම බඳුනක බීට් කරගෙන එයත් කිරි මිශ්‍රණයට එක් කරගන්න.
  • මේ මිශ්‍රණය ශීතකරණයේ තැබූ බඳුනට දමන්න. ඉතිරි වුණ බිස්කට් ද ලොකු කැබලිවලට කඩා මෙයට එකතු කරන්න.
  • සෙල්සියස් 180ක උෂ්ණත්වයකින් විනාඩි 30ක් පමණ අවන් එකේ තබන්න. (සුද්දගේ විදියටම මේක හදනවා නම් මාරි බිස්කට් කතන්දර නැහැ. ටාර්ට් ෂෙල් එකක් හදාගන්න ඕනි. ඊට වඩා මේ ක්‍රමය අපට පහසුයි)

 

4. කොෆී ග්‍රනීටා

Image Source – taste.com

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. කෝපි කුඩු කෝප්ප 3/4
  2. විපින් ක්‍රීම් 1/2
  3. වැනිලා තේ හැඳි 1
  4. සීනි කෝප්ප 1
  5. වතුර කෝප්ප 1 1/2

සාදාගන්නා ආකාරය:

  • කෝපි, වැනිලා සහ සීනි එකට එකතු කර උණු වතුර එක් කර කලවම් කරන්න. සිසිල් වූ විට පැතලි භාජනයකට දමා අධි ශීතකරණයට දමන්න.
  • පැය බාගයකට පසු පිටතට ගෙන ගෑරප්පුවකින් මිදී ඇති කොටස් හොඳින් සූරාගන්න. නැවත පැය බාගයක් අධි ශීතකරණයේ තබා අරගෙන පෙර පරිදිම සූරාගන්න. මෙලෙස තුන් හතර වතාවක් කරගන්න.
  • කප් වලට දමා විප්ඩ් ක්‍රීම් උඩින් එක් කර පිළිගන්වන්න. (විප්ඩ් ක්‍රීම් එක් කර පිළිගන්වනතුරු අධි ශීතකරණයේම තියෙන්නට හරින්න)

 

5. ට්‍රයිෆල්

Image Source – life-in-the-lofthouse.com

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. බටර් කේක් ග්‍රෑම් 300
  2. කැමති වර්ගයක ජෙලි මිලිලීටර් 250
  3. කස්ටඩ් මිලිලීටර් 250

සාදාගන්නා ආකාරය:

  • කේක් කැබලි කඩාගෙන ලයිනින් කළ පැතලි බඳුනක අසුරා ගන්න. නිවාගත් කස්ටඩ් දියරය ඒ මත අතුරා ශීතකරණයේ පැයක් පමණ තබන්න.
  • ඒ උඩට සිසිල් වූ ජෙලි දියරය වත් කරන්න. යළිත් පැයක් පමණ ශීතකරණයේ තබන්න. ඉන්පසු තැටිය ශීතකරණයෙන් ඉවතට ගෙන ලයිනින් එක ඉවත් කොට කෑලි කපා පිළිගන්වන්න.

 

6. සෝර්බේ

Image Source – taste.com.au

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. තමන් කැමති පළතුරු කෝප්ප 3 (කොමඩු හෝ පැෂන් වගේ පළතුරක් ගන්නවා නම් වඩා හොඳයි)
  2. වතුර කෝප්ප 1/4
  3. සීනි කෝප්ප 1/4
  4. දෙහි ගෙඩි 1/2

සාදාගන්නා ආකාරය:

  • පළතුරු අයිස් කැට මෙන් සීත වන තුරු පැය 3ක් පමණ අධි ශීතකරණයේ තබන්න.
  • වතුර සහ සීනි එකතු කොට උණු කර සීනි සිරප් එකක් සාදා නිවෙන්න ඉඩ අරින්න.
  • පසුව මේ සියල්ල එක් කොට බ්ලෙන්ඩ් කරගන්න. පැය 6ක් පමණ අධි ශීතකරණයේ තබා ආහාරයට ගන්න.

 

7. චුව්රෝස්

Image Source – bonappetit.com

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. වතුර කෝප්ප 1
  2. බිත්තර 3
  3. බටර් කෝප්ප 1/2
  4. වැනිලා තේ හැඳි 1
  5. සීනි මේස හැඳි 3
  6. පිටි කෝප්ප 1
  7. කුරුඳු පවුඩර් තේ හැඳි 1
  8. ලුණු තේ හැඳි 1/2

සාදාගන්නා ආකාරය:

  • භාජනයකට වතුර, බටර්, සීනි, වැනිලා සහ ලුණු එක් කොට ලිප තබන්න. හොඳින් මිශ්‍ර වූ විට ලිපේ ගින්දර අඩුම කර ටිකෙන් ටික පිටි එක් කර කලවම් කරන්න. බෝලයක් ආකාරයට මිශ්‍රණය එක් වූ විට ලිපෙන් ඉවත් කරගන්න.
  • බිත්තර එක බැගින් දමමින් බීට් කරගන්න. නිවෙන්නට ඉඩ හරින්න.
  • පයිපින් බෑගයකට මෙම මිශ්‍රණය දමා ශීට් එකක් මත දිගට පයිප් කරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
  • සීනි සහ කුරුඳු පවුඩර්වල දවටාගන්න. අවශ්‍ය නම් චොකලට් ෆිලින් එකක් ඇතුළත් කරන්න.

Cover Image Source – goodhousekeeping.com/ texasdebrazil.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *