ඔන්ලයින් වැඩ කරලා සල්ලි හම්බ කරන්න පුළුවන් වෙබ් අඩවි 7ක්

මේ කතාව online සල්ලි හම්බ කරන හැටි ගැනයි. ඒ නිසා ලොකු පොඩි කාටත් වැදගත්, කවුරුත් උනන්දුවෙන කතාවක්. හැමදේම තාක්ෂණය එක්ක සිද්ධවෙන මේ ලෝකෙ උදේට ගිහින් හවසට ඇවිල්ලා, දවසම පාරවල් ගාණෙ රස්තියාදුවෙලා සල්ලි හම්බකරන, අපි හැමෝම දන්න සාම්ප්‍රදායික ක්‍රමයට අමතරව මේ ඩිජිටල් තාක්ෂණය හරහාත් මුදල් හම්බකරන්න, වැඩ කරන්න පුළුවන් කියන එක තාම හුඟක් දෙනෙක් දන්නෙනම් නැහැ. දන්න කීප දෙනා මේකෙන් සුපිරියටම වැඩගන්න අතරේ ටිකක් දන්න, ටිකක් අහල තියෙන අයත් ඉන්නවා මේ ගැන හොයන්න සෑහෙන්න උනන්දුවක් දක්වන. මේ ඒ කොයි කාටත් වැදගත් කතාවක්. හොඳ පරිගණකයක් හෝ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් එක්ක අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙනවනම්, ගෙදරම ඉඳගෙන අන්තර්ජාලය හරහා තමන්ගේ හැකියාවන් යොදවලා මුදල් හම්බ කරන්න පුළුවන් ප්‍රසිද්ධම වෙබ් අඩවි 7ක් ගැනයි අද අපි මේ කතා කරන්නෙ. 

ඔක්කොටම කලින් කියන්න ඕන මේ online වැඩ කියන්නෙ Graphic Designing, Content Writing, Data Entry, Resume Writing, Accounting වගේ වැඩ වගේම අපි කීයටවත් නොහිතන Food Recipes, Food Recipe Videos වගේ දේවල් වලට පවා ලොකු ඉල්ලුමක් තියෙන දෙයක්. ඉතින් තමන්ට හරියන මොනම හරි වැඩක් තියෙනවද කියල සම්බන්ධ වෙලා බැලුවට පාඩුවක්නම් වෙන්නෙ නැහැ.

 

1. Fiverr

ෆයිවර් කියල කියන්නෙ ඔන්ලයින් වැඩ කරන අය අතරේ වැඩියම ප්‍රසිද්ධ ඒ වගේම අපි හැමෝම වගේ වැඩිපුරම අහල තියෙන ඔන්ලයින් freelancing site එක කිව්වත් වැරදි නැහැ. මේක ඊශ්‍රායල් රටේ වෙබ් සයිට් එකක්. 2010 අවුරුද්දෙ තමයි මේ වෙබ් අඩවිය නිල වශයෙන් නිකුත් කරල තියෙන්නෙ. යම් රැකියාවක් කරව ගන්න අවශ්‍ය අයත්, රැකියාවක් කරන්න අවශ්‍ය අයත් කියන දෙගොල්ලොන්ටම සම්බන්ධ වෙන්න පුළුවන් වෙබ් අඩවියක්. දෙගොල්ලො මුණගැස්වීම තමයි මේ වෙබ් අඩවියේ කාර්ය භාරය. අදාළ freelancer ඒ කියන්නෙ වැඩ කරන කෙනා තමන් කරන වැඩ පිළිබඳව හදලා දාන gig එකකින් තමයි රැකියා ලබාගැනීම සිදු කරන්නෙ. 

 

2. Upwork

මේ තියෙන්නෙ online work කියන category එකේ ඊළඟට වැඩියම ප්‍රසිද්ධ වෙබ් අඩවිය. Upwork කියන්නෙත් fiverr වගේම දෙගොල්ලක් මුණගස්වන වෙබ් අඩවියක්. හැබැයි fiverr වගේ gig ක්‍රමයක් නෙමෙයි මෙතනදී ක්‍රියාත්මක වෙන්නෙ. වැඩක් හොයන කෙනෙකුට කෙලින්ම අයදුම් කරලා ඒ කියන්නෙ හොඳ proposal එකක් ඉදිරිපත් කරලා ඒ රැකියාව ලබාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. මේ වෙබ් අඩවිය ඇමරිකානු වෙබ් අඩවියක්. Elance සහ oDesk කියන පරණ වෙබ් අඩවි දෙකක් එකතු කරල අලුත් නමකින් Upwork විදිහට 2015 දි තමයි මේ වෙබ් අඩවිය නිකුත් කෙරෙන්නෙ. 

 

3. Freelancer 

Freelancer කියන්නෙත් අතිශය ප්‍රසිද්ධ ඔන්ලයින් වැඩ කරන්න පුළුවන් වෙබ් අඩවියක්. කලින් කියපු වෙබ් අඩවි දෙකටම වඩා සෑහෙන්න පහසු ක්‍රමවේදයක් මේ වෙබ් අඩවියේ තියෙනව කිව්වොත් හරි. කලින් වගේම දෙගොල්ලො මුණගස්සන ක්‍රමයක් උනත් පහසුවෙන් bid එකක් ඒ කියන්නෙ ලන්සුවක් තියල තමන්ට වැඩ ලබාගන්න පුළුවන් ක්‍රමයක් මේ වෙබ් අඩවිය අනුගමනය කරනවා. මේක ඕස්ට්‍රේලියානු වෙබ් අඩවියක්. ආරම්භ කරල තියෙන්නෙ 2009 වර්ෂයේදී. 

 

4. Guru

Guru.com කියන්නේ කැලිෆෝර්නියාවේ සැන් ෆ්රැන්සිස්කෝ වලදී 1999 ආරම්භ කරපු වෙබ් අඩවියක්. මේක කලින් කියපු අනික් වෙබ් අඩවි වලට වඩා ටිකක් පරණ වෙබ් අඩවියක්. කලින් කියපු freelancer.com කියන වෙබ් අඩවිය වගේම පහසු ක්‍රමවේදයක් තමයි මේ guru වෙබ් අඩවියත් අනුගමනය කරන්නෙ. ප්‍රසිද්ධිය අතින් ගත්තොත් කලින් කියපු වෙබ් අඩවි තුන තරම්ම ප්‍රසිද්ධ නොවුනත් වැඩ වලනම් කිසිම අඩුවක් නැහැ මේ වෙබ් අඩවිය එක්ක සම්බන්ධ වුණත්. 

 

5. PeoplePerHour

මේ PeoplePerHour කියන වෙබ් අඩවිය එක්සත් රාජධානියේ 2007 වර්ෂයේදී ආරම්භ කරපු වෙබ් අඩවියක්. ලෝකයේ ඒ තරම්ම ප්‍රසිද්ධ නොවුනත් එක්සත් රාජධානිය ඇතුළෙනම් මේ freelance එහෙමත් නැත්තම් online වැඩ වලට තියෙන number 1 වෙබ් අඩවිය තමයි මේක. හැබැයි ලෝකෙ ඕනම රටක කෙනෙකුට සම්බන්ධ වෙලා වැඩ කරන්න වගේම වැඩ කරවා ගන්නත් පුළුවන් කලින් කියපු විදිහේම වෙබ් අඩවියක්. කලින් කියපු වෙබ් අඩවි වල තියෙන අධික තරඟය ගැන හිතන කෙනෙකුට මේ වැඩිය ප්‍රසිද්ධ නැති වෙබ් අඩවි එක්ක සම්බන්ධ වෙලා වැඩ අරගන්න උත්සාහ කරන්න පුළුවන්.

 

6. FlexJobs

FlexJobs කියන්නෙ 2007 වර්ෂයේදී ආරම්භ කරපු වෙබ් අඩවියක්. කලින් වෙබ් අඩවි වල කියපු ඔන්ලයින් වර්ක් ඒ කියන්නෙ අන්තර්ජාලය හරහා දෙගොල්ලක් මුණගැහිල වැඩක් කරවගන්න එකට අමතරව විවිධ ඉතිරි කිරීම්, ආයෝජන, වීඩියෝ පාඨමාලා වගේ දේවලුත් මේ වෙබ් අඩවිය හරහා ඒකෙ සාමාජිකයින්ට ලබා දෙනවා. ඒ නිසා කලින් කිව්ව වෙබ් අඩවි වලට වඩා ටිකක් වෙනස් විදිහක වැඩක් කරන වෙබ් අඩවියක් විදිහට මේ වෙබ් අඩවිය හඳුන්වන්න පුළුවන්. මේකත් ඔන්ලයින් වැඩ හොයනවනම් ගිහින් බලන්නම ඕන වෙබ් අඩවියක්.

 

7. WriterAccess

WriterAccess කියන්නෙත් ඔන්ලයින් freelancing web site එකක්. හැබැයි කලින් කියපු ඔක්කොම වෙබ් සයිට් වලට වඩා වෙනස්, writers ලට අවශ්‍ය ජොබ් විතරක් කෙරෙන වෙබ් අඩවියක්. කෙරෙන්නෙ ලියන වැඩ විතරක් උනාට ඒ දේවල් කරන අයට ගිහින් සම්බන්ධ වෙන්න පුළුවන් හොඳම වෙබ් අඩවියක් තමයි මේකත්. මොකද අනික් වෙබ් අඩවි ලොකු පරාසයකට අවධානය යොමු කරද්දී මේ වෙබ් අඩවිය එක වැඩකට විතරක් ලොකු අවධානයක් දෙන නිසා ඒ සම්බන්ධ හුඟාක් වැඩ මේ වෙබ් අඩවියෙන් හොයාගන්න පුළුවන්.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *