ඉඳි ආප්ප කිව්වම ඉතින් දන්නවනෙ හැඩේ රසේ ඔක්කොම. ඒ අපි හැමදාම කන ඉඳි ආප්පෙ. අපි ඒක ටිකක් වෙනස් කරලා හදමුද? කන්න හොර බබාලත් මෙහෙම කන්න නම් ආස වෙයි. ට්‍රයි කරන්න එහෙනම් මෙන්න අලුත්ම ඉඳි ආප්ප රෙසිපි ටිකක්.
1. ඉඳි ආප්ප කොත්තු
අවශ්‍ය ද්‍රව්‍ය
- ඉඳිආප්ප පිටි ග්‍රෑම් 250
- ලුණු කුඩු තේ හැඳි කාලයි
- හීනියට කපාගත් ලීක්ස් / කැරට්
- ලොකු ළූණු ගෙඩියක්
- බිත්තර 1
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- කරපිංචා
- සුදුළූණු
- බටර් ටිකක්
- චිකන් කරි කුඩු ටිකක්
ඉඳි ආප්ප සාදාගැනීම
- ඉඳිආප්ප තට්ටු වලට පොල්තෙල් ටිකක් ගාගන්න.
- ඇල්වතුරෙන් මිශ්‍ර කරන ඉඳිආප්ප මිශ්‍රණය අරගෙන ඒකෙන් කෝප්ප දෙකක් අරගන්න.
- පිටි එකට ලුණු තේ හැඳි කාලක් දාලා කලවම් කරගන්න.
- ඇල්වතුර ටික ටික දාලා අනාගන්න (එකපාර ගොඩක් නම් දාගන්න එපා ඔන්න)
- එහෙම එක්කරලා අතේ නොඇලෙන ගාණට හදාගන්න.
- ස්ටීමර් එක ලිප තියලා රෙඩි කරගන්න.
- ඉඳිආප්ප වංගෙඩිය අරගෙන ඒවට තෙල් ගාලා වක්කරගෙන ස්ටීම් කරගන්න.
කොත්තුව සාදාගැනීම
- භාජනයක් අරගෙන බටර් ටික දාලා රත්වෙනකොට චොප් කරගත්තු සුදුළූණු, කරපිංචා දාලා හොඳට තෙම්පරාදු කරගන්න. ඊට පස්සෙ කැරට් දාලා රස වැඩි වෙන්න ඕන්නම් කරදමුංගු හා කරාබු නැටි දෙකක් එකතු කරගන්න.
- ඊට පස්සෙ ලීක්ස් ටිකත් දාලා තව ටිකක් වෙලා හැඳි ගාන්න. ඒකට ළූණුත් කලවම් කරන්න.
- දැන් මේ මිශ්‍රණයට බිත්තරය දාලා ඒකට ගම්මිරිස් කුඩු සහ ලුණුකුඩු එකතු කරගන්න. ඊට පස්සෙ චිකන් කරි කුඩු ටිකකුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න.
- ඊට පස්සෙ තම්බා ගත්තු ඉඳිආප්ප ටික කැබලි කඩලා මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්න.
2. ඉඳි ආප්ප පිලාව්
අවශ්‍ය ද්‍රව්‍ය
- කෑලි කඩා ගත් ඉඳිආප්ප 30ක් විතර
- හීනියට කපාගත් කැරට් /ලීක්ස්
- ලොකු ළූණු ගෙඩි එකක්
- කටු අයින් කරලා තම්බගත්තු චිකන් ග්‍රෑම් 200ක් (ඒකෙන්ම හදාගත්තු චිකන් ස්ටොක් එකත් අවශ්‍යයි)
- කුරුඳු
- කරදමුංගු
- කරාබු නැටි
- කරපිංචා හා රම්පේ
- ඉඟුරු සුදුළූණු මේස හැන්දක්
- ලුණු හා ගම්මිරිස්
ඩ්‍රෙසින් එකට
- මුද්දරස්පලම් ටිකක්
- බැදගත් ළූණු
- බැදගත් කජු ටිකක්
- තම්බා ගත් බිත්තර 2
- කොත්තමල්ලි කොළ
- පෑන් එක ලිපේ තියලා රත්වෙනකොට කරදමුංගු කරාබුනැටි ටික තෙලට හලාගන්න. ඒකටම කරපිංචා, රම්පේ දාගන්න. ඉන් පස්සේ ඒකට තම්බගත්තු චිකන් ටික දාලා පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න දෙන්න.
- ඊට පස්සෙ ඉඟුරු, සුදුළූණු ටික දාගන්න.
- දැන් මුලින්ම කැරට් ටික දාලා තැම්බෙන්න අරින්න. ඊට පස්සෙ සිහින්ව කපාගත් ලොකු ළූණු ටික දාලා හොඳට හැඳි ගාන්න. ඒකටම ලීක්ස් ටිකක් ඉතුරු කරලා ඉතුරු ටික දාගන්න.
- ඊට පස්සෙ රස අනුව ලුණු, ගම්මිරිස් දාගන්න.
- දැන් චිකන් ස්ටොක් එක අරන් ඒකෙන් ටිකක් කඩාගත්තු ඉඳිආප්ප වලට දාලා කලවම් කරගන්න. ඉන් පස්සේ එළවළු මිශ්‍රණයට ඉඳිආප්ප ටික එකතු කර හොඳින් කලවම් කරගන්න.
- ඉතුරු කරගත් ලීක්ස් ටිකත් දාලා කලවම් කරගන්න.
- අන්තිමට මුද්දරස්පලම්, ළූණු බැදගත්තු ටික දාගෙන ලිප ඕෆ් කරන්න.
- බෝල් එකකට දාලා, බිත්තර පෙති කපලා උඩින් තියලා, ළූණු බැදපුවා සමඟ කජු, මුද්දරස්පලම් වලින් ඩ්‍රෙස් කරගෙන අන්තිමට කොත්තමල්ලි කොළ උඩින් දාන්න. කැමති කරි එකක් සමග පිළිගන්වන්න.
3. වියළි ඉඳි ආප්ප වලින් ආස්මි
ඊයෙ ඉතුරු උන ඉඳිආප්ප අද වෙනකොට වේලිලාද? කන්න බැරිද? අපි කාලා පෙන්නන්නද? ඔන්න එහෙනම් බලාගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
- වියළාගත් ඉඳිආප්ප
- පොල්තෙල් බාගයක් පමණ
- සීනි ග්‍රෑම් 200ක්
- ෆුඩ් කලරින්
- භාජනයක් ලිපේ තියලා තෙල් දාගන්න. රත්වෙනකොට ඉඳිආප්ප එකින් එක දාලා බැදගන්න. හරියට අපි පපඩම් බදිනවා වගේ. ඊට පස්සෙ තෙල් බේරෙන්න ටිශූ එකක් උඩ තියලා තියන්න.
- සීනි ටික භාජනේක දාලා ලිපේ තියලා වතුර එක්කරගන්න. මේක හොඳට හැඳිගාන්න ඕනෙ මොකද කැටි ගැහෙන්න පුළුවන් නිසා. දැන් මේකට කලරින් බිංදුවක් එකතු කරගෙන තව හොඳට හැඳි ගාන්න පදමට එනකල්. පදම තමයි හැන්දෙන් උස්සනකොට නූලක් ඇදෙනවා වගේ ගාණකට එන්න ඕනේ.
- උකු ගතියට ඒ පදම ආවම ලිප නිවලා මේක නිවෙන්න තියන්න. ඊට පස්සෙ පොඩි හැන්දකින් ඉඳිආප්ප ආස්මි උඩට මේ මිශ්‍රණය වක්කරගන්න ඔයාලා කැමති විදියකට.
4. රුලං ඉඳි ආප්ප
අවශ්‍ය ද්‍රව්‍ය
- රුලං කෝප්ප 1
- වතුර කෝප්ප 2
- ලුණු කුඩු තේ හැඳි 1/2
- පොල්තෙල් තේ හැඳි 1
- භාජනයක් අරන් වතුර කෝප්ප 2ක් දාලා ලිපේ තියන්න. භාජනේ වහලා වතුර උතුරනකොට ලුණු තේ හැඳි 1/2ක් එකතු කරගන්න. ඊට පස්සෙ පොල් තෙල් තේ හැන්දකුත් එකතු කරගන්න.
- වතුර නටනකොට ලිප ඕෆ් කරලා රුලං ටික දාගෙන ලී පත්තකින් හොඳට කලවම් කරගන්න. රුලං වල ඇට ගතිය නැතිවෙලා පිටි ගුලියක් වගේ වෙනකල්ම හොඳට කලවම් කරගන්න.
- ටික ටික පාප්පයක් වගේ වෙනකොට ඒක ටිකක් ඝන වෙනකල් කලවම් කරන්න.
- තවත් හොඳට හැන්දෙන් අනලා ඉඳිආප්ප වංගෙඩියට දාලා වක්කරගෙන ස්ටීමර් එක උඩ තියලා විනාඩි 30ක් විතර ස්ටීම් කරගන්න.
5. ඉඳි ආප්ප වලින් වැලිතලප
අවශ්‍ය ද්‍රව්‍ය
- ඉඳිආප්ප 20ක් පමණ (රතු ඉඳිආප්ප නම් ගොඩක් හොඳයි)
- සීනි ග්‍රෑම් 200
- පැණි කෝප්ප 3/4
- එනසාල්, කරාබුනැටි
- පොල් කිරි ටිකක්
- ලුණු
- මුලින්ම ඉඳිආප්ප ටික අතින් කඩාගන්න. ඉන් පස්සේ පොඩිම වෙනකල් පොඩි කරගන්න ඕනෙ.
- මේකට පොල්කිරි ටික දාලා කලවම් කරගන්න. ගොඩක්ම බෙරිවට නෙමෙයි, තෙත් වෙන්න වගේ දාගන්න.
- භාජනයක් ලිපේ තියලා පැණි දාගන්න. ඒකට සීනි ටිකකුත් එකතු කරගන්න.
- පැණි උණුවෙන්න තියලා එනසාල් කරාබුනැටි ටික කොටාගන්න. පැණි ටික උතුරනකොට අර ඉඳිආප්ප ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. එයට කොටාගත් එනසාල් කරාබුනැටි ටික එකතු කරගන්න. කැමති නම් වැනිලා ටිකකුත් දාගන්න.
- තවත් ටිකක් ලිපේ තියලා ලුණු ටිකක් දාගෙන ලිප ඕෆ් කරගන්න.
- ප්ලේට් එකකට බටර් ගාලා, හදපු මිශ්‍රණය ඒකට දාලා තුනී කරලා කෑලි කපාගන්න.
6. පාට කළ ඉඳි ආප්ප
මෙහෙමයි. අපි පාට කරපු ඉඳි ආප්ප හදන්නෙ ස්වභාවික වර්ණක යොදාගෙනයි.
කහපාට ඉඳි ආප්ප වලට
ඉඳි ආප්ප මිශ්‍රණය අනන්න වතුර වෙනුවට කැරට් යුෂ එකතු කරලා අනාගන්න. කැරට් අමුවෙන් බ්ලෙන්ඩ් කරලා පෙරල යුෂ හදාගන්න.
රතු පාට ඉඳි ආප්ප වලට
බීට් රූට් තම්බපු වතුරයි බීට් රූට් කෑලි ටිකකුයි දාලා බ්ලෙන්ඩ් කරලා පෙරලා ගත්තු යුෂ එකතු කරගෙන ඉඳිආප්ප මිශ්‍රණය අනාගන්න.
කොළ පාට ඉඳිආප්ප වලට
නිවිති කොළ ටිකක් අරන් උණු වතුරෙ දාලා තියලා අරන් බ්ලෙන්ඩ් කරල පෙරාගන්න. නිවිති කොළේ තම්බලාම ගන්න හැකිනම් ලස්සන පාටට එනවා.
දම් පාට ඉඳිආප්ප වලට
දම් අල යුෂ කලින් ඒවායේ විදිහටම අරගෙන ඉඳිආප්ප මිශ්‍රණයට කලවම් කරලා හදාගන්න.
7. ඉඳි ආප්ප බිරියානි
අවශ්‍ය ද්‍රව්‍ය
1. ඉඳිආප්ප 50ක් විතර
2. තම්බා කැබලි කරගත් චිකන්
3. තම්බාගත් ග්‍රීන් පීස්
4. ගරම් මසාලා තේ හැන්දක්
5. මිරිස් කුඩු තේ හැන්දක්
6. කහ ටිකක්
7. කරදමුංගු 5
8. කරාබුනැටි 6
9. කුරුඳු පොතු කෑල්ලක්
10. ස්ටාර් අනීස් (තියෙනව නම්)
11. බේ ලීෆ් එකක්
12. ෆ්‍රෙශ් මිල්ක් කප් 1/4
13. චොප් කරගත් ළූණු
14. ඉඟුරු, සුදුළූණු පේස්ට් තේ හැන්දක්
15. කොත්තමල්ලි කොළ මිටක්
16. බැදගත් කජු
17. බැදගත් ළූණු
- ඉඳිආප්ප ටික පොඩියට කඩාගෙන ෆ්‍රෙශ් මිල්ක් ටික ඉඳිආප්ප වලට ඉස ගෙන පැත්තකින් තියාගන්න.
- ගී ටිකක් රත් වෙන්න තියල ඒකට ඉඳිආප්ප, කජු, කොත්තමල්ලි කොළ සහ බැදගත් ළූණු හැර අනික් සියළු ද්‍රව්‍ය එකතු කරන්න. සුවඳ එනතුරු තෙම්පරාදු කරගෙන මේ මිශ්‍රණයට ඉඳිආප්ප ටික එකතු කරගන්න.
- හොඳින් මිශ්‍ර කර කජු, ළූණු සහ කොත්තමල්ලි කොළ උඩින් ඉස පිළිගන්වන්න.
Cover Image Source – niyasworld.blogspot.com
Leave a Reply