විසිතුරු මසුන් අතර ජනප්‍රිය කොයි කාෆ්

කොයි කියන්නේ ජපන් බසින් විසිතුරු මසුන්ට. මේ කොයි කාෆ් ලංකාවෙත් ඇක්වේරියම් වල ජනප්‍රිය සතෙක්. ලෝක වශයෙනුත් ජනප්‍රිය මේ කොයි කාෆ් ලෝකේ සමහර පැතිවල ආක්‍රමණික මාළුවෙක් බවටත් පත්වෙලා තියෙනවා. ඉතින් අපි මේ මාළුවා ගැන විස්තර ටිකක් දැනගමු.

 

1. මිල අධික මාළු 

මේ කොයි ෆිෂ් එහෙම නැතිනම් ජපන් බසින් සුරතල් මසුන් කියන්නේ ජපාන සංස්කෘතිය හා බැඳුන මාළු වර්ගයක්. මේ කාෆ් වර්ගයේ නිජබිම ජපානය නොවුණත් ඔවුන් සුරතල් මසුන් විදිහට දියුණු කරන්න ජපාන සුරතල් මසුන් ඇතිකරන අය ලොකු දායකත්වයක් දුන්නා. මේ මිල අධික කොයි මාළු සාමාන්‍යයෙන් ලංකාවෙදි අඩියක විතර දිගට හැදෙනවා. ජපානයේදී නම් අඩි එකහමාරක දෙකක බල මාළුවෙක් සයිස් එකට, ඒත් හැඩට හැදුන කොයි කාෆ්ලත් ඉන්නවා. මේ කාෆ්ලගේ පිටේ තියෙන රතු සහ සුදු පාට හැඩහුරුකම ජපානයේදි ගොඩක් සුලභයි. ඒ හැඩ සහ එහි කොලිටිය අනුව මාළුවෙක් ඩොලර් මිලියන 1.8 තරම් මිල යන වෙලාවනුත් තියෙනවා.

 

 

2. ජපානය සහ කොයි මාළු 

මේ කොයි කාෆ් මුලින්ම ජපානයට එන්නේ 1700 තරම් ඈත කාලයේදී. ජපානයේ වී වගා කරන කුඹුරු ආශ්‍රිතව මේ කොයි මාළු බොහොම යස අගේට අලංකාරයට තවමත් ජීවත් වෙනවා. කොටින්ම ආදි කාලයේ මිනිසා බල්ලා හීලෑ කරගෙන උන්ගේ අලංකාර වර්ග හදාගත්තේ කොහොමද ආන්න ඒ ආකාරයෙන් මිනිස්සු කොයි මාළු අභිජනනය කරලා අලුත් මාළු හදාගත්තා. ජපාන ජනතාව හැම දෙයක්ම සීරියස්වට හිතන ජාතියක්. ඔවුන් කොයි මාළු අභිජනනයත් සිය පවුලේ, පරම්පරාවේ, ගොවිපළේ අභිමානයක් විදිහට සලකලා ඒක සුපිරියටම කළා. ඒ නිසා බොහොම සුන්දර හැඩ වලින් ඉන්න ඒ වගේම පහසුවෙන් ඇතිකරන්න පුළුවන් කොයි කාෆ් වර්ග ජපන්නු ලෝකයට හඳුන්වා දුන්නා.

 

 

3. කොයි කාෆ් ලාගේ කෑම බීම

කොයි කාෆ් කියන්නේ සර්ව භක්ෂක සතෙක්. අපේ ටැංකියක ඇතිකරන කොයි මාළුත් ඒ වගේ. උන් බත්, පාන්, ඇට ජාති, එළවළු, පළතුරු ආහාරයට ගන්නවා. ඒත් මාළු ඇතිකරද්දි කාබෝහයිඩ්‍රේට් වැඩිපුර දුන්නා කියලා මාළුන්ගේ හැදීමක් නැහැ. ඒ නිසා ප්‍රෝටීන වැඩිපුර ලැබෙන ඇටවර්ග, එළවළු පළතුරු සහ මත්ස්‍ය ආහාර වර්ග කොයි කාෆ්ලාට ලබාදීමට සුදුසු වෙනවා. විශේෂ වර්ණ සඳහා ඇතිකරනු ලබන ජපාන කොයි ගොවිපළවලදි නම් ජපානයේ තිබෙන ඇටවර්ග, බාර්ලි, දොඩම්, ගෝවා වගේ ආහාරත් කොයි කාෆ්ලට ලබා දෙනවා. ආහාර ලබාදීමේදී උන්ට ඇති පමණකට විනාඩි තුනකින් විතර දාන කෑම ඉවර වෙන ආකාරයට දෙන එක වැදගත් වෙනවා.

 

 

4. අවශ්‍ය තත්ත්වයන්

මේ කොයි මාළුන්ගේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි උන්ගේ ඩිසයින් එක තියෙන්නේ පිටේ. ඒ කිව්වේ මාළුවා වතුරේ පීනනකොට අපි උඩින් බැලුවාම උන්ගේ ඩිසයින් එක ගාණට අපිට පේනවා. බඩ පැත්තට වඩා ඉහළින් බැලුවාම සුන්දර පෙනුමක් කොයි මාළුන්ගේ තියෙනවා. ඒ නිසාම කොයි මාළු පොකුණු වල ඇතිකරන්නට යෝග්‍ය ජාතියක්. එහෙම වුණත් කොයි මාළු ඇතිකරද්දි ඇමෝනියා සහ නයිට්‍රයිට් ගැන හිතන්නට ඕනි. ටැංකියේ නයිට්‍රයිට වැඩිවුණොත් කොයි මාළුන්ට එය අහිතකර විදිහට බලපාලා එයාල ස්ලීප් එහෙම නැතිනම් නිද්‍රාශීලී අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙනවා.

 

 

5. බලාකියා ගැනීම ගැන තවත් විස්තර 

කොයි කාෆ්ලට කලින් කිව්වා වගේ ඇමෝනියා ඇතිවීම සහ නයිට්‍රයිට බලපෑම වැඩියි. ඒ නිසා ටැංකි පිරිසිදුව තබාගෙන පිරිසිදු ජලයේ මේ මාළු තියාගන්නට ඕනි. එතකොට ලෙඩ අඩුයි. ටැංකි පිරිසිදු කරද්දි සම්පූර්ණයෙන් වතුර ඉවත් කරන්නේ නැතිව බාගයක් ඉවත් කර ටැංකිය පිරිසිදු කරන්නට ඕනි. පොකුණක හෝ බිම තබන බඳුනක මාළු හදනවා නම් ෆිල්ටර් එකක් පාවිච්චි කරන එක හොඳයි. එතකොට මාළුන්ගේ මළ ද්‍රව්‍ය පෙරිලා ටැංකිය පිරිසිදු වෙනවා. කොයි මාළු වැඩිපුර කන්න කැමති ජාතියක්. ඉතින් වැඩිපුර කනවා වගේම වැඩිපුර මළ දානවා. ඒ නිසා ටැංකියේ පිරිසිදුකම ගැන වැඩි අවධානයක් දෙන්නට ඕනා.

 

 

6. කොයි කාෆ් ගැන විස්තර

මේ කොයි කාෆ් කියලා විශේෂයෙන් හැඳින්වූවාට මේ කොයි කාෆ් කියන්නෙත් සාමාන්‍ය ආහාරයට ගන්න ජලාශ වලට දාන කාෆ් මාළුන්ගෙම වැඩිදියුණු කරපු විශේෂයක්. අනෙක් විසිතුරු මසුන් එක්ක ගත්තාම කොයි කාෆ් ලොකු කාලයක් ජීවත් වෙනවා. ජපානයේ නම් අවුරුදු පනහ සීය ජීවත් වෙච්චි කොයි කාෆ්ලා වාර්තා වෙනවා. සාමාන්‍ය තත්ත්වයන් යටතේ කොයි කාෆ්ලා අවුරුදු විස්සක් තිහක් තරම් ලොකු කාලයක් ජීවත් වෙනවා. පිරිසිදු ජලය සහ ආහාර සැපයීම පහසුවීම නිසාත් රැකබලා ගැනීමේ පහසුව නිසාත් කොයි කාෆ්ලා ලෝකේ මහද්වීප හතේම මාළු ඇතිකරන අය අතර ජනප්‍රිය වෙලා තියෙනවා.

 

 

7. කොයි ෆිෂ් වර්ග

බටර්ෆ්ලයි – මේ වර්ගය තරමක් මිල අධිකයි. වරල් වලින් වෙනස් .

ජැපනීස් – ජැපනීස් කියන්නේ බොහොම ව්‍යාප්ත වෙලා ඉන්න කොයි මාළු වර්ගයක්. ඔවුන් ගොඩක් ජල උද්‍යාන වල දකින්නට ඉන්නවා. ඔවුන් සුදු රතු සහ කහ තැඹිලි වර්ණයෙන් ඉන්නවා. ටන්කෝ සහ කෝකු කියන වර්ග දෙකේ රතු පාට තිත් හිසේ තියෙනවා.

ඩ්‍රැගන් කොයි ෆිෂ් – මේ ඩ්‍රැගන් කොයි ෆිෂ් කියන්නේ බටර්ෆ්ලයි කොයි වල එක විශේෂයක්. මොවුන්ගේ පාට එක එක සෘතුව අනුව වෙනස් වෙනවා. ඔවුන් කළු සහ සුදු වර්ණයෙන් ඉන්නවා.

කළු සුදු කොයි – කළු සහ සුදු වර්ණ තියෙන මෙම කොයි මාළු ජාතිය විවිධ වර්ණ රටා වලින් එනවා.

රන්වන් වර්ගය – මොවුන් රන් පැහැයෙන් එනවා. රන් පැහැයෙන් දිළිසෙන කොරල වර්ණය නිසා ඔවුන් ජනප්‍රිය වෙනවා.

 

ගෙදර පොකුණක මාළු ඇතිකරනවා නම් කොයි කාෆ් මාළු ඒකට බොහොම සුදුසුයි. උන් සමග එකට කැට් ෆිෂ් සහ ගෝල්ඩ් ෆිෂ් කිසි අවුලක් නැතිව හදන්නට පුළුවන්. සාමාන්‍යයෙන් වැඩිපුර කෑම කන සතෙක් විදිහට කොයි කාෆ් දැක්වුණාට එවුන් කුළල් කාගන්නේ නම් නැහැ. ඉතින් මේ මාළු හදන්න ජලය සහිත ටිකක් ලොකු අවකාශයක් තියෙනවා නම් ඔයාලටත් පුළුවන් ඇක්වේරියම් එකකින් පොඩි කොයි කාෆ් ජෝඩුවක් ගෙනත් කෑම බීම දීල ටිකක් ලොකු කරලා ලස්සනට බලාගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *