ගෙවතු වගාවක් පටන් අරගනිමුද? මෙන්න ඒකට උපදෙස් කීපයක්!

දැන් පළවෙනි කොරෝනා රැල්ල ඇවිත් රටම ෆුල් ලොක්ඩවුන් වුණු ගමන්, සිරි ලංකාවේ ජීවත් වෙන අපිත් පටන් ගත්තා රැල්ලක්: ගෙවතු වගා රැල්ල. ආයෙ නෑ ඉතින් රටේ ලොකුම ලොක්කගේ ඉඳන් හැමෝම ගෙවතු වගා පටන් අරගෙන පැළ හිටෝන ෆොටෝස් ෂෙයාර් කරගෙන, ගෙවතු වගාව රටක් විදියට රොක් කරලා ගත්තා. හැබැයි ඉතින් ලොක් ඩවුන් ඉවර වෙනකොට රැල්ලත් ඉවරයි, පටන් ගත්තු ගෙවතු වගාවත් ඉවරයි. දැන් පොඩ්ඩ පොඩ්ඩ එළවලු ගණන් යමින් තියෙන කාලෙනේ. ආන්න ඉතින් ආයෙමත් වතාවක් ගෙවතු වගා රැල්ල ඔළුව උස්සන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි ඉතින් ඔය රැල්ලත් ඔච්චරම තමයි!

හැබැයි එහෙම වුණාට ගෙවතු වගාව කියන්නේ බොහෝම හොඳ දෙයක්. ඇයි? එකක් තමයි මහා පරිමාණ වගාවක් නොවෙන නිසා, තමන්ම වවන නිසාත් ඕනෑවට වඩා කෘෂිරසායන ගහලා නෑ කියලා ෂුවර් එකේ කන්න පුළුවන්. කාබනික සීන් එකේ ඉන්න අයටත් මේක ගැලපෙනවා. එතකොට වැඩේ ලාබද? ලාබෙට කරගන්න පුළුවන් ගෙදර කීප දෙනා වෙනුවෙන් විතරක් වවාගන්න නිසා. ඒ ඇරෙන්න තව ඉතාම වටිනා වැදගත්කමක් තියෙනවා ගෙවතු වගාවේ. ඒක ශරීරයට හොඳ ව්‍යායාමයක් විතරක් නෙවෙයි, හිතත් රිලැක්ස් කරන හොඳ විනෝදාංශයක්.

හරි, ඒ නිසා එහෙම ගෙවතු වගාවක් රැල්ලට නැතුව ඇත්තටම පටන් ගන්න කැමති අයට මෙන්න පටන් ගැන්මට ටිප්ස් කීපයක්!

 

1. ලොකු ඉඩමක් ගන්න වෙයිද?

මේක ගොඩක් ගෙවතු වගාව ගැන හිතන අයට එන ප්‍රශ්නයක්. අපි හැමෝටම වත්ත පහළ ඉඩම් අක්කර බාගෙක, අක්කරේක ඉඩ නැහැනේ. හැබැයි ඇත්තටම උපරිම අක්කර කාලක ඉඩක් ගෙවතු වගාවකට හොඳටම ප්‍රමාණවත්. ඒ උපරිමයනේ. අවමය ගත්තොත්, තමන්ගේ වත්තේ පිටුපස වර්ග මීටර කීපෙක ඉඩක් වුණත් ගෙවතු වගාවකට කළමනාකරණය කරගන්න පුළුවන්. ඒකට වගා කුළුණු, උණාට තුළ වගාව, මෙගා බෝතල් වගා, වගා මළු, වගා රාක්ක, වගා බිත්ති, වගා පැලළි, වගා රාමු, වගා දැල්, වගා පිරමීඩ, නිර්පාංශු වගා පෙට්ටි වගේ සෑහෙන්න විකල්ප තියෙනවා පාවිච්චි කරන්න.

එතකොට ඔය මහල් නිවාස වල එහෙම ජීවත් වෙන අයට? ඒ අයටත් අහක දාන බෝතල්, කිරි හට්ටි, ලී පෙට්ටි, කාඩ්බෝඩ් පෙට්ටි, පොලිතීන් මලු, පරණ ටයර් විතරක් නෙවෙයි, පොල්කටු වුණත් පාවිච්චි කරලා පොඩිවට ගෙවතු වගාවක් පටන් ගන්න පුළුවන්. 

 

2. ඉඩේ හැටියට ප්ලෑනක් ගහමු

ඇත්තටම ගොඩක් අය ගෙවතු වගා කියපු ගමන් කරන්නේ කොහේ හරි ඉඩ තියෙන තැනක පැළයක් හිටෝලා බලාගෙන ඉන්න එක. ඒක නෙවෙයි ගෙවතු වගාව. මේක සැලසුමක් ඇතුව කරන්න ඕන දෙයක්. අන්න ඒ නිසා, තමන්ට තියෙන භූමි ඉඩ ප්‍රමාණය අනුව හිතලා බලලා සැලසුම් කරන්න ඕන. මෙතනදී හිතන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි භූමියේ ඉඩ, සීමාව සහ ස්වභාවය. ඊලඟට පසේ ස්වභාවය. ඊට පස්සේ ගෙවත්තට හිරුඑළිය ලැබෙන විදිය සහ දිශාව. ඊලඟට ජලසැපයුම. මෙතනදී හොඳට දියසීරාව තියෙන තැන්, වතුර රැඳිලා තියෙන තැන්, හෙවණ තැන්, හොඳ ඉර එළියක් වැටෙන තැන් ගැන හිතන්න ඕන. ඒ වගේම තමන් ඉන්න ප්‍රදේශයට ගැලපෙන භෝග සහ ඒවල ඵලදායීතාවය ගැන හිතන්නත් ඕන. ඒ වගේම පාංශු සං‍රක්ෂණය ගැනත් හිතන්න ඕනෑ.

දැන් ඔය දේවල් හිතලා බලලා අපිට තියෙන ඉඩේ අපිට සැලසුමක් ඇඳගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ අහවල් භෝගය, ඊලඟට මෙන්න මේ භෝගය වගේ දළ සැලසුමක් අඳින්න පුළුවන්. ඒකෙන් මේ ගෙවතු වගාව තමන්ගේ ගෙවත්තට ලස්සනක් ගේන විදියට ප්ලෑන් කරගන්න පුළුවන් වීමත් වාසියක්.

 

 

3. මොනවද ඕන කරන මෙවලම්?

මෙන්න ගෙවතු වගාවක් පටන් ගන්න පොඩි කැපිටල් එකකුත් තියෙන කෙනෙක්ට ආතල්ම වැඩක්. ගිහින් අවශ්‍ය බඩුභාණ්ඩ හොයාගන්න එක සහ මිලදී ගන්න එක. හැබැයි මෙතනදී පොඩ්ඩක් මොළේ පාවිච්චි කරන්න ඕන. අපි සතියෙන් දෙකෙන් ගෙවතු වගාව කරලා අතෑරලා දානවා නම් ලොකුවට බඩුමුට්ටු අරගෙන වැඩක් නෑ. සල්ලි අපරාදේ. ඇත්තටම ඔය ආපිකෝ එකකට එහෙම ගියහම ආයෙ අක්කරේක ඉඩමක් වවන්න බඩුමුට්ටු, මෙවලම් ගන්න හිතෙනවා. ඒක අපරාදයක්. ඒ නිසා මුලින්ම පටන් ගමු අවටින් හොයාගන්න පුළුවන් දේවල් වලින්. පැළ වවන්න, තවාන් දාන්න එහෙම ප්‍රයෝජනවත් වෙන පරණ ටයර්,  අහක දාන බෝතල්, කිරි හට්ටි, ලී පෙට්ටි, කාඩ්බෝඩ් පෙට්ටි, පොලිතීන් මලු වගේ දේවල් කිසිම වියදමක් නැතුව අහක දාන දේවල් වලින්ම හොයලා එකතු කරගන්න පුළුවන්. 

ඊට පස්සේ ඔය බිම සමතලා කරන රාක්ක එහෙම අහක දාන ලී වලින් අපිටම වුණත් හදාගන්න පුළුවන්. හැබැයි ඔය කප්පාදු පිහියක්, ගාර්ඩ්නින් වලට ගැලපෙන ග්ලවුස්, පොඩි මුල්ලුවක්, පොඩි රේක්කයක්, හෝස් බටයක් වගේ දේවල් අරගෙන තියාගත්තට පාඩු නෑ. ඒ ඇරෙන්න ඉතින් ගෙවතු වගාවකට අමුතුවෙන් වෙන මෙවලම් අවශ්‍ය වෙන්නෙත් නෑ!

 

4. පොළව සකසා ගමුද?

දැන් අපිට ඔක්කොම රෙඩී. ප්ලෑනත් තියෙනවා. බඩුත් තියෙනවා. දැන් කරන්න ඕන බිම සකසා ගන්න එක. මුලින්ම කරන්න තියෙන්නේ ගෙවතු වගාවට වෙන් කරපු කෑල්ලේ තියෙන වල් පැළ එහෙම ගලවලා අයින් කරලා, හොඳට භූමිය පිරිසිදු කරගන්න එක. ඊට පස්සේ පස් බුරුල් කරන ගමන් අවශ්‍ය නැති ගල් කැට, පරණ ගස් වල තද මුල් කෑලි එහෙම අයින් කරගන්න ඕන. සමහර තැන් වල ගල් වගේ තියෙන පස් කැටත් හොඳට පොඩි කර ගන්න ඕන. මේ පස් බුරුල් කරන වැඩේ කම්මැලි නැතුව හොඳට කරන එක අනිවාර්යයි. ඒ වගේම මතක තියාගන්න, බිම සකසනකොට භූමියේ මතුපිට තියෙන පස් අයින් කරන්නෙ නැතුව තියන්න ඕන. දැන් තමන් හිටවන භව භෝග වලට අනුව පාත්ති සකසා ගන්න එක, වලවල් සකසා ගන්න එක කරන්න පුළුවන්.

 

5. පෝරත් ඕනෑ!

ගෙවතු වගාවක් කරනකොට පොහොරත් අවශ්‍ය වෙනවනේ. දැන් කාලේ සෑහෙන්න කාබනික පෝර සීන් එක නැගලා යන නිසා, ඕන නම් තමන්ටම කාබනික පොහොර හදාගන්නත් පුළුවන්. හැබැයි ගොඩක් දෙනෙක් පහසුවට කරන්නේ කඩෙන් ගිහින් පොහොර ගන්න එක. කොම්පෝස්ට් පොහොර වුණත් කඩෙන් ගන්න පුළුවනිනේ. හැබැයි ලේසියෙන් ගෙදරම හදාගන්න පුළුවන් පොහොර සල්ලි දීලා ගන්න එකේ තේරුමක් නෑ. ලේසිම විදිය තමයි කොම්පෝස්ට් පොහොර ගොඩ ක්‍රමයට හදාගන්න එක. ඒකට අඩි 5 ක් විතර පළල, අඩි 15 ක් විතර දිග කොටුවක් සලකුණු කරගෙන, ඒකේ පළවෙනි තට්ටුවට තණකොළ රොඩු, කොළ අතු අඟල් 10 ක විතර තට්ටුවක්, ඊලඟට සත්ව පොහොර, ලේසියෙන් දිරාපත් වෙන ශාක කොටස් අඟල් 10 ක විතර තට්ටුවක් හදාගන්න. ඒකට ඕන නම් කලින් හදපු කොම්පෝස්ට් පෝර ටිකක් ඉහගත්තොත් වැඩේ ඉක්මන්. ඊලඟට තුන්වෙනි තට්ටුවටත් ශාක කොටස් දාගන්න තියෙන්නේ. ඔහොම මාරුවෙන් මාරුවට තට්ටු තුනේ ඒවා කීපයක් හදාගෙන, ගාණට වතුර හදලා, ඊට පස්සේ වියපු පොල් අතු හරි කලු පොලිතීන් හරි කොම්පෝස්ට් ගොඩක වාතය ඇතුළු වෙන්න ඉඩ තියලා වහලා තියන්න. ඕක මාසෙකට සැරයක් එක පාරක් බැගින් තුන්පාරක් පෙරලගන්න ඕන. මාස තුනෙන් කොම්පෝස්ට්!

ඕන නම් කාබනික පොහොර හදාගන්නත් පුළුවන්. ඒක ගැන අපි වෙනම කියන්නම්!

 

6. වතුරත් ඕනෑ!

සාමාන්‍යයෙන් ගෙවතු වගාවක් කරනවා නම්, උදැහැනැක්කෙන්ම නැගිටලා වතුර දාන එක තමයි හොඳම ක්‍රමය. සාමාන්‍යයෙන් පැළ කුඩා කාලේදී දවසකට සැරයක් වතුර දාන්න ඕන. පැළ හොඳට මුල් ඇද්දට පස්සේ දවස් දෙක තුනකට සැරයක් වතුර දැම්මට කමක් නෑ. වැහි කාලෙට වතුර දාන්න ඕනෙම නෑ. ඒ වගේම, වියළි කොළ වර්ග, වියළි තණ කොළ, පිදුරු වගේ දේවල් වලින් පැළ අවට පස ආවරණය කළාට පස්සේ පස තුළ තෙතමනය වැඩි කාලයක් රඳවා ගන්නත් පුළුවන්.

ඕන නම් ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම හරි බිංදු ජල සම්පාදන ක්‍රම හරි යොදාගන්නත් පුළුවන්. ඒකට හැබැයි ඉතින් ඒ ගැන දන්න එක්ස්පර්ට්ලගෙන් උපදෙස් ගන්න ඕන. ඒ ගැන අපි අන්තිමටම කියනවා.

 

7. සපෝට් එකක් ගමුද?

මෙන්න මේක උඩ කියපු හැම කාරණාවකටම වැදගත්. ඇත්තටම ගෙවතු වගාවේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු, හරි සැලසුමක් හදාගැනීම වගේ දේවල් ආටිකල් එකකින් කිව්වට, නියම විදියට සැලසුම් හදාගැනීම, පොළවට බැහැලා ගෙවතු වගාවකට වැඩ කිරීම වගේ දේවල් ඇත්තටම ප්‍රායෝගික කාරණා. අන්න ඒවට අපිට උපදෙස් ඕන. තමන්ට ගෙවතු වගාවක් ආරම්භ කිරීමට උපදෙස් සහ ගෙවතු වගාවක් පවත්වාගෙන යනකොට එන්න පුළුවන් ප්‍රශ්න ගැටළු වගේ දේවල් වලට උපදෙස් ලබාගන්න පුළුවන් සාරභූමි වගේ ෆේස්බුක් පේජ් වලිනුත්. ඒ වගේම, තමන් ගෙවතු වගාවක් පටන් ගන්න හිතනවා නම්, උඩ කියපු දේවල් ගැන වැඩිදුර තොරතුරු සහ ප්‍රායෝගික උපදෙස් ලබාගන්න පුළුවන් ප්‍රදේශයේ ඉන්න කෘෂිකර්ම උපදේශකවරයා හෝ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරයාගෙන්. සල්ලි යන්නෙ නෑ. ගිහින් මුණගැහිලා කතාබස් කරන්න තමයි තියෙන්නේ.

 

එහෙනම් පොඩ්ඩක් අධ්‍යයනය කරලා වැඩේට බහින්නයි තියෙන්නේ. ඇත්තටම ගෙවතු වගාවට ඉන්ටරෙස්ට් එකක් තියෙනවා නම් ඔය එක එක රැළි නගින බහින කාලෙට ගෙවතු වගාව මතක් වෙන්නයි, ආයෙමත් අල්ලලා දාන්නයි සිද්ධ වෙන්නෙ නෑ. උදැහැනැක්කෙන්ම වත්තට ගිහින්, පිණි කැට වැටිලා දිලිසෙන තමන්ගේ නෑඹුල් වගාව දිහා බලන එක, ඒවලට ආදරෙන් සාත්‍තු කරන එක වෙනම ආතල් එකක්!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *