“මුගලන් රජු ක්‍රිස්තුභක්තිකයෙක්ද” ඇතුළු පරණවිතාන මහතාගේ අමුතු කතා

සෙනරත් පරණවිතාන මහත්තයා අපේ රටෙන් බිහිවුණු විශිෂ්ටතම පුරාවිද්‍යාඥයා. එතුමා තමන්ගේ මුලු ජීවිතයම කැප කරන්නේ අපේ රටේ ඉතිහාසය ගවේෂණය කරන්න. සිගිරී ගී කියවන්න එතුමා අරන් තියෙන මහන්සිය ගැන කල්පනා කරද්දි අපිට ඒ ගැන හිතාගන්නවත් බෑ. පරණවිතාන මහත්තයා තමන්ගේ ජීවිතයෙ අවසාන කාලයේදී පොත් කීපයක් රචනා කරනවා. Ceylon and Malaysia, Greeks and the Mauryas, The Story of Sigiriya කියන මේ පොත්වල තියෙන ඉතිහාස කරුණු හින්දා මුලු ශාස්ත්‍රීය ලෝකයම දැඩි කැලඹීමකට ලක් වෙනවා. පරණවිතාන මහත්තයා මේ පොත්වලට කරුණු හොයාගන්නේ සෙල්ලිපිවලින්. හැබැයි මේ සෙල්ලිපි පරණවිතාන මහත්තයා ඇරුණම වෙන කවුරුවත් දැකලා නෑ. දැන් ඔබ හිතනවා ඇති මේ මොකද්ද මම කියෙව්වේ කියලා. පරණවිතාන මහත්තයා කියන්නේ සමහර සෙල්ලිපිවල අකුරු අතර ඇහැට පේන් නැති කුඩා අකුරෙන් තවත් සටහන් වගයක් ලියලා තියෙනවා කියලා. පරණවිතාන මහත්තයා මේ සටහන්වලට අන්තරාලීන සෙල්ලිපි (Interlinear Inscriptions) කියලා අලුත් නමක් ලබා දෙනවා. ඒත් අවුරුදු ගාණක් උත්සාහ කරලත් මේ සෙල්ලිපි වෙන කිසිම කෙනෙක්‍ට පෙනිලා නෑ, බොහෝ දෙනා විශ්වාස කරන්නේ පරණවිතාන මහත්තයා ජීවිතය අවසාන කාලයෙදී තනිවුණු ජීවිතයක් ගෙව්ව නිසා ඇතිවුණු මානසික ප්‍රශ්නයක් නිසා මේ වගේ සටහන් ගැන ලියුවා සහ කිව්වා කියලා. කොහොමවුණත් මේ ලිපිවල සත්‍ය අසත්‍යතාව ගැන තාම ස්ථිර මතයක් නෑ. අපි මේ සටහනෙන් පරණවිතාන මහත්තයාගෙ මේ පොත්වලින් වගේම විවිධ අවස්ථාවල ඉදිරිපත් කරපු මත කීපයක් ගැන කතා කරමු.

 

1. බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කළා කියන්න ඓතිහාසික සාධක නෑ

Image Source – srilankaembassy.org/ archaeology.lk

පරණවිතාන මහත්තයා පුවත්පතකට සිදු කරපු මේ ප්‍රකාශය එවකට රටේ අති දැවැන්ත කැළඹීමක් ඇති කරන්න සමත් වුණා. බොහෝ පාර්ශවවලින් මේ ගැන පරණවිතාන මහත්තයට දොස් කියලා ලිපි එවන්න පටන් ගත්තා. පසුව මේ ගැන පැහැදිලි කිරීමක් කළාට පරණවිතාන මහත්තයා තමන්ගේ මූලික මතය අයින් කරගත්තේ නෑ. ඔහු කිව්වේ ලංකාවේ වගේම තමන්ගේ රටටත් බුදුහාමුදුරුවෝ වැඩම කළා කියලා බුරුම සහ තායිලන්ත බෞද්ධයොත් විශ්වාස කරනවා. නමුත් බුදු හාමුදුරුවෝ සොළොස් මහ ජනපද ආශ්‍රිත ප්‍රදේශවලින් බැහැරට වැඩම කළා කියන්න ඓතිහාසික සාධක හමුවෙන්නේ නෑ. ඒ නිසා ඒක හුදු ජනප්‍රවාදයක් විදිහට තමන් දකිනවා කියලා. අද වෙන කොට බොහෝදෙනෙක් මේ මතය පිළිගත්තට යම් කොටසක් මේ මතයට දැඩි විරෝධතාවය පළ කරනවා.

 

2. සාලිය අසෝකමාලා

Image Source – asiantribune.com

සාලිය අසෝකමාලා කියන්නේ අපේ රටේ ජනප්‍රිය පෙම් කතාවක්. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පුතා වුණු සාලිය කුමාරයා අසෝකමාලා නමැති සැඬොල් තරුණිය වෙනුවෙන් සිංහාසනය  අත් ඇරියයි කියලයි අපේ වංශකතාවල කියන්නේ. ඒත් පරණවිතාන මහත්තයා මේ අදහස ප්‍රතික්ෂේප කරනවා. ඔහු කියන්නේ අපේ වංශකතාවල අසෝකමාලා වෙනුවෙන් “අසෝකමාලාදේවී” කියලා භාවිතා වන නිසා අසෝකමාලා පහත් කුලයකට අයත් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි කියලා (දේවී කියන පදය භාවිතා කරන්නේ උසස් කුලයේ කාන්තාවන්ට). ඒ වගේම එතුමා අන්තරාලීන ලිපි මූලාශ්‍ර විදිහට භාවිතා කරලා කියනවා සාලිය සහ අසෝකමාලා දුටුගැමුණු රජතුමාගේ මරණයෙන් පස්සේ ඉන්දියාවට පලා ගියා සහ ඔවුන්ගේ දරු මුනුබුරන් පස්සේ කාලවල ලංකාවේ රජ පවුල් සමග ආවාහ විවාහ සිද්ධ කරගත්තා කියලා.

 

3. උත්තිය රජු

Image Source – lankainf.blogspot.com

ඔයාගෙන් කවුරුහරි ලංකාවට මිහිඳු හාමුදුරුවෝ වැඩම කළේ කුමන රජ්ජුරුවන්ගේ කාලෙද කියලා ඇහුවොත් ඔයා දෙපාරක් හිතන්නේ නැතුව දේවානම්පියතිස්ස කියලා උත්තර දෙයි. ඒත් පරණවිතාන මහත්තයා අර  මුලින් කියපු අන්තරාලීන සටහන් අතර තියෙන වාර්තාවක් උපුටා දක්වලා කියනවා මිහිඳු හාමුදුරුවෝ වැඩම කළේ දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ කාලේ නෙමෙයි, ඔහුගේ සහෝදරයා වුණු උත්තිය රජ්ජුරුවන්ගේ කාලේ කියලා. හැබැයි අපේ වංශකතාවල සඳහන් වන්නේ උත්තිය රජ්ජුරුවන්ගේ කාලේදී තමයි මිහිඳු හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ කියලා.

 

4. සීගිරි කාශ්‍යප

Image Source -youtube.com

වංශකතාවල අපිට කියන්නේ සීගිරි කාශ්‍යප කියන්නේ තමන්ගේ පියා වුණු ධාතුසේන රජ්ජුරුවන්ව මරලා තමන්ගේ සහෝදරයා වුණු මුගලන්ට හිමි වෙන්න තිබ්බ රජකම පැහැර ගත්ත කෙනෙක් විදිහට. ඒත් පරණවිතාන මහත්තයා The Story of Sigiriya පොතෙන් මේ කතාව වෙනස් කරනවා. එතුමා කියන්නේ කාශ්‍යප ධාතුසේන රජු සමග සටන් කළාට ඔහුව ඝාතනය කළේ නෑ කියලා. ඒ වගේම සීගිරිය හැදුවේ බලකොටුවකට වඩා “පර්වත රාජ” කියන සංකල්පය ප්‍රචලිත කරන්න කියලා. ඒ වගේම සීගිරිය තැනීමේ මුල්ම අදහස ධාතුසේන රජුගේ බවයි පරණවිතාන මහත්තයා කියන්නේ.

 

5. හයවෙනි පරාක්‍රමබාහු

Image Source – youtube.com

අපි අහලා තියෙනවා සැළලිහිණි සංදේශය තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ලියන්නේ හයවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ දියණිය වුණු උලකුඩය දේවිය සහ ඇගේ ස්වාමිපුරුෂයා වුණු නන්නුරුතුනයාට පුතෙක් ලැබෙන්න කියලා. පරණවිතාන මහත්තයා මේ නන්නූර්තුනයාට භාවිතා කරන්නේ සුන්දර පාණ්ඩ්‍ය කියන නම. අන්තරාලීන ශිලා ලිපිවල කියවෙන විදිහට අම්බලන්තොට පැත්තේ ඉපදෙන සුන්දර පාණ්ඩ්‍ය කුමාරයා උලකුඩය දේවියට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන අතරතුර වර්තමාන මැලේසියාවේ පිහිටි රාජධානියකට ගිහින් ඒ රටේ රජ්ජුරුවන්ගේ දූ කුමරියට කැමත්ත ප්‍රකාශ කරනවා. මේ ගැන කෝපයට පත්වෙන හයවෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ මැලේසියාව ආක්‍රමණය කරලා සුන්දර පාණ්ඩ්‍ය කුමාරයාව නැවතත් ලංකාවට රැගෙන ඇවිල්ලා උලකුඩය කුමරියට විවාහ කරලා දෙනවා.

 

6. මුගලන් රජු

Image Source -. sirimunasiha.wordpress.com

සිගීරි කාශ්‍යප සටන් බිමේදී මිය යෑමෙන් පස්සේ මුගලන් රජු රජ වුණා කියලයි අපේ වංශකතා කියන්නේ. ඒත් පරණවිතාන මහත්තයා කියන විදිහට සීගිරි කාශ්‍යප රජු සීගිරිය තුළදීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට මියයනවා. ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන් ඒ වෙනකොට ස්වර්ණපුරයේ (වර්තමාන මැලේසියාවේ) හිටපු මුගලන්ට රජකම බාර ගන්න කියලා ආරාධනා කරනවා. එරටදී ක්‍රිස්තු භක්තික පුජකයෙක්ගේ ඇසුර ලබපු මුගලන් ක්‍රිස්තු භක්තිකයෙක් බවට පත්වෙනවා. ඔහු ලංකාවේ පළවෙනි ක්‍රිස්තු භක්තික රජු විදිහට පරණවිතාන හඳුන්වා දෙනවා. නමුත් අවසාන කාලයේදී මහානාම හාමුදුරුවන්ගේ ධර්මදේශනාවක් හේතුකොට නැවතත් මුගලන් රජු බුද්ධාගම වැළඳගත්තා කියලත් පරණවිතාන කියනවා.

 

7. මහානාම හාමුදුරුවෝ

Image Source – saatchiart.com

මහාවංශය ලිවුවේ ධාතුසේන රජ්ජුරුවන්ව කුඩා කාලේ රැකබලාගත්ත මහානාම හාමුදුරුවෝ කියලයි බොහෝදෙනා විශ්වාස කරන්නේ. ඒත් පරණවිතාන මහත්තයා මහානාම හාමුදුරුවෝ ධාතුසේන රජ්ජුරුවන්ගේ මුණුබුරෙක් විදිහට හඳුන්වනවා. ඔබ අහලා ඇති ධාතුසේන රජුගේ නැගණියකගේ පුතා වුණු මිගාර සෙනෙවියා සමග ධාතුසේන රජුගේ දුව විවාහ වෙලා හිටියා කියලා. පරණවිතාන මහත්තයා කියන්නේ මිගාර සෙනෙවියාගේ පවුල ක්‍රිස්තු භක්තික පවුලක් සහ රජුගේ දියණියට ක්‍රිස්තියානි ආගම පිළිගන්නා ලෙස බලපෑම් කළා කියලා. මේ ගැටුම් දුරදිග යෑම නිසා රජුගේ නැගණියට මරණ දඬුවම ලැබෙනවා. දියණිය දරුවෙක් ප්‍රසූත කිරීමෙන් පස්සේ මියයනවා. ඒ දරුවා පස්සේ කාලෙක මේ සිදුවීම් ගැන කලකිරිලා මහානාම නමින් මහණ වෙනවා. මේ හාමුදුරුවෝ මුගලන් රජුව නැවත බුද්ධාගමට හරව ගන්නවා වගේම මහාවංශයත් රචනා කරනවා.

මේ සටහන් කියෙව්වම ඔබ පුදුමයට පත් වෙන්න ඇති. ඒත් ඉතිහාසය කියන දේට අර්ථකථන ගොඩක් තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *