ජාතක කතා ඇසුරින් හැදුණු සිංහල සිංදු

පන්සිය පනස් ජාතක පොත කියන්නේ සිංහල සාහිත්‍යය පෝෂණය කරන්න දායක වුණු ප්‍රධානම කෘතිය විදිහට සලකන්න පුළුවන්. පන්සිය පනස් ජාතක පොත සිංහලෙන් ලියවෙන්නේ කුරුණෑගල යුගයේදී වුණාට ජාතකට්ඨකථාව හරහා අනුරාධපුරයේ මුල් භාගයේ ඉඳන්ම අපේ රටේ ජාතක කතා ප්‍රසිද්ධියට පත් වෙලා තිබ්බා. කව්සිළුමිණ, මුවදෙව්දාවත, සසදාවත, ගුත්තිල කාව්‍ය, කාව්‍යශේඛරය වගේ පොත්, හරියටම කිව්වොත් එහෙම සංදේශ කාව්‍ය ඇරුණම අනික් සියලු කවි පොත් ලියැවිලා තියෙන්නේ ජාතක කතා ආශ්‍රයෙන්. වර්තමාන යුගයට එද්දීත් ජාතක කතා අපේ සාහිත්‍යයට බලපෑමේ ලොකු වෙනසක් වෙලා නැහැ. ඒකට හො​ඳම උදාහරණය විදිහට ගීත සාහිත්‍යය ගන්න පුළුවන්. අපේ රටේ බොහෝ මනරම් ගීත රචනා වෙලා තියෙන්නෙ ජාතක කතා ආශ්‍රයෙන්.අපි අද ඒ වගේ ජාතක කතා කීපයක් ගැන බලමු.

 

1. දස බලධාරී – ආර්. ඒ. චන්ද්‍රසේ​න

ආර්. ඒ චන්ද්‍රසේන මහත්මයා ගායනා කරන මේ ගීතයට පාදක වන්නේ ලංකාවේ ජනප්‍රියම ජාතක කතාවක් වුනු සඳ කිඳුරු ජාතකය. මේ ජාතක කථාව ඇසුරෙන් ගීත නිර්මාණ රාශියක් ගීත සාහිත්‍යයට එකතු වෙලා තියෙනවා. චන්ද්‍රසේන මහත්මයාගේ මේ ගීතය ඒ ගීත සාහිත්‍යයේ ආරම්භක ගීත අතරින් එකක්. මේ නිසාම ඒ කාලයේදී මේ ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. වතාවක් එක්තරා සංගීත ප්‍රසංගයකදි එතුමාට එක දිගට වාර කීපයක් රසිකයන්ගේ ඉල්ලීම මත මේ ගීතය ගායනා කරන්න වෙලා තියෙනවා.

 

2. අමරා දේවී – දයාරත්න සහ අමරා රණතුං​ග

දයාරත්න රණතුංග සහ අමරා රණතුංග යුවල ගායනා කරන මේ ගීතය රචනා කරල තියෙන්නේ උම්මග්ග ජාතකයේ එන එක සිදුවීමක් ආශ්‍රයෙන්. සම්පූර්ණ සංවාදයක් ආශ්‍රයෙන් කියලා කිව්වත් වරදක් නැහැ. මහෞෂධ පඬිතුමා තමන්ට ගැලපෙන බිරිඳක් හොයාගන්න උත්සාහ කරද්දී එතුමා සහ අමරා දේවිය අතර ඇතිවන සංවාදය මේ ගීතයෙන් නිරූපණය වෙනවා. ජාතක කතාවේ මේ සිදුවීම් ආරම්භ වෙන්නේ හස්ත මුද්‍රාවෙන් දෙදෙනා අදහස් හුවමාරු කර ගැනීමෙන්.

 

3. ඔබ රූ සිරියෙන් – එඩ්වඩ් ජයකොඩි

චුල්ල ධනුද්ධර ජාතකය අපේ රටේ ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ මනමේ කතාව විදිහට. මේ කතාවට මනමේ කියන නම ලැබුණේ ඇයි කියන එක ගැන නම් විද්වතුන් අතර එකඟත්වයක් නැහැ. කොහොම වුණත් නාඩගමක් විදිහට පැවතුණු මනමේ කතාව වේදිකා නාට්‍ය​යක් බවට පත් කරලා සිංහල වේදිකාවට අලුත් ආරම්භයක් ලබා දුන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා. එඩ්වඩ් ජයකොඩි මහත්මයා ගායනා කරන මේ ගීතය මනමේ කුමරිය කෙරෙහි ආදරයෙන් බැඳුනු වැද්දා ගේ සිතෙහි ඇති වුණු පශ්චාත්තාපය නිරූපණය කරනවා.

 

4. නිල් උපුල් නුවන් පෙතී – සුමිත් මන්දනායක

සිංහල සාහිත්‍යයේ මහා කාව්‍ය දෙකෙන් පළවෙනි මහා කාව්‍ය​ය විදිහට සැලකෙන කව්සිළුමිණට වස්තු විෂය කර ගන්නේ කුස ජාතකය. ඒ වගේම සීතාවක යුගයේදී අලගියවන්න මුකවැටි පඬිතුමා කුස ජාතක කාව්‍ය ලියනවා. සමහරු කියන විදිහට කුස ජාතකයට කාන්තාවෝ වැඩි කැමැත්තක් දක්වනවලු. හැබැයි ඉතිං අපේ සුනිල් ආරියරත්න මහාචාර්යතුමා නම් කුස ජාතකය චිත්‍රපටියකට නගලා කාලම දැම්මා කියලා නොකියාම බෑ. ඒ කතන්දර පැත්තකට තිබ්බොත් එහෙම මේ සුමිත් මන්දනායක ගායනා කරන ගීතය විශේෂ ගීතයක්. ඒකට හේතුව තමයි කුස ජාතකය තුළ කුස කුමාරයගේ සහෝදරයා වුණු ජයම්පති කුමාරයා පබාවතී දේවිය කෙරෙහි ඇල්මක් තිබ්බයි කියලා කොයිම අවස්ථාවකවත් සඳහන් වෙන්නේ නැහැ. නමුත් අතිශය සුන්දර කාන්තාවක් වුණු පබාවතිය කෙරෙහි ජයම්පතී කුමාරයාට ඇතිවන හැඟීම් උපකල්පනය කිරීමක් ගීතයෙන් නිරූපණය වෙනවා.

 

5. අනෝතත්ත වි​ල – ඩබ්ලිව්. ඩී අමරදේව/ අමිතා වැදිසිං​හ

නාග කන්‍යාවකට විධුර පණ්ඩිතයන්ගෙන් බණ අසන්න ඇති වෙච්ච ආසාව සංසිඳවා ගන්න සිදුකරන උපක්‍රමයක් ගැන විධුර ජාතකයෙන් කිය​වෙනවා. මේ ජාතක කතාවෙදි අපිට මුණගැහෙන එරන්දතී නාග කන්‍යාව රූමත් තැනැත්තියක්.පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව සහ අමිතා වැදිසිංහ මහත්මිය ගායනා කරන මේ ගීතයට පාදක වෙන්නේ ඒ එරන්දතිය ගේ රූපශ්‍රියාව.

 

6. වෙස්සන්තර බි​සෝ – නාමල් උඩුග​ම

වෙස්සන්තර නාටකයේ රඟපාන නළුවෙකුගේ හැඟීම් නාමල් උඩුගම මේ විදිහට වචන වලට හරවලා ගායනා කරනවා. අප මහා බෝධිසත්වයන් වහන්සේ මිනිස් ලෝකයේ ඉපදුණු  අවසාන භවය විදිහට වෙස්සන්තර භවය හඳුන්වන්න පුළුවන්. ඒ ජාතක කතාවේ දී උන්වහන්සේ තමන්ගේ බිරිඳව සහ දරුවන් දන් දෙනවා.මේක තමයි ගිහියෙක් විදිහට යම් කෙනෙක්ට අත් හැරීම ගෙනියන්න පුළුවන් උපරිම අවස්ථාව. ඒත් මෙහෙම කරන්න පුළුවන්ද කියන එක ගැන බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒත් උතුම් බුද්ධත්වය ප්‍රාර්ථනා කරන කෙනෙක් සියලු බැඳීම්වලින් නිදහස් වෙන්න ඕන. ඒත් වෙස්සන්තර නාට්‍යයේ රඟපාන නළුවට මන්ද්‍රි දේවිය විදිහට රඟපාන තමන්ගේ පෙම්වතියව නාට්‍ය අවස්ථාවේ වුණත් දන් දෙන්න හිතෙන්නෙ නෑ.

 

7. සෙනෙහසේ මුට්ටියෙන් – ලක්ෂ්මන් හිල්මි

ලක්ෂ්මන් හිල්මී ගායනා කරන මේ ගීතය තුළ එක තැනක චුල්ල පදුම උරය පලා ලේ දුන්නා සේ කියලා කොටසක් තියෙනවා. සමහර අවස්ථාවල ලක්ෂ්මන් හිල්මී  චුල්ලපදුම කියන නම චුල්ල පදම කියලත් උච්ඡාරණය කරනවා. චුල්ල පදුම ජාතකයේ සඳහන් වෙන්නේ චුල්ල පදුම කුමාරයා තමන්ගේ බිරිඳට පිපාසයි කියලා කිව්වම උරය පලා ලේ දීලා ඇගේ පිපාසය සංසිඳෙව්වත්  අවසානයේදී ඇය චුල්ල පදුම කුමාරයන්ට ද්‍රෝහී වුණා කියලා. මේ ගීතයේ රචකයා චුල්ල පදුම ජාතකය කියවලා තියෙනවද කියන එක නම් ඉතින් ප්‍රශ්නයක්?

 

මේ ආටිකල් එකට අපි ඇතුළත් කළේ ජාතක කතා හතක් විතරයි. ඒ වගේම ඒ, ඒ ජාතක කතාව ඇසුරෙන් ලියවුණු ගීත හතක් විතරයි. නමුත් අපි සඳහන් නොකරපු ගීත රාශියකුත් ජාතක කතා ඇසුරෙන් ලියැවිලා තියෙනවා. ඒ ගැන අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබට කතා කරන්න පුළුවන්.ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *