අවන් එකක් නැතිව පීසා, බනිස්, කේක් සහ මාළුපාන් හදාගන්නේ මෙහෙමයි!

No Oven Recipes

පුංචි හරි අවන් එකක් දැන් බොහෝමයක් ගෙවල් වල තියෙනව. ඒත් එහෙම නැති අය සහ විදුලි බිල් ගැන හිතන හුඟ දෙනෙක්ට අවන් එකක් තිබ්බත් නිතරම සමහර කෑම ජාති හදන්න විදියක් නෑ. මේ කියන්න හදන්නෙ නිතරම හදන්න හිතෙන කෑම ජාති තුනක් අවන් එකක් නැතුව කොහොමද ලිපේම හදාගන්නෙ කියල.

 

වැලි පෝරණුව

No Oven Recipes

Source – grasya.com

අපි මුලින්ම වැලි පෝරණුවක් හදාගන්න විදිය බලමු. අවන් එකක් කියන්නෙ අති සුඛෝපභෝගී භාණ්ඩයක් උන ඉස්සර කාලෙදි මේ වැලි පෝරණු ක්‍රමය තමා පාවිච්චි කළේ. වැලි පෝරණුවට වැලිම දාන්න අවශ්‍ය නෑ. ඒ වෙනුවට ගල් හෝ ලුණු කැට පාවිච්චි කරන්න පුළුවන් නිසා වැලි හොයාගන්න අපහසු කෙනෙක්ට මෙහෙම කරගන්න පුළුවන්. පීසා එක හැර අනිත් රෙසිපි තුනම මේ ක්‍රමයට සකසා ගන්න ඒවා. කැමති කෙනෙක්ට පීසා එක උනත් මේ විදියට සකසගන්න බැරි නෑ.

ගැඹුරු සහ අඩිය ඝණකම බඳුනක් (මැටි හෝ ප්ලාස්ටික් නොවන) ගෙන සමාන සයිස් ගල් කැට හෝ ලුණු කැට අඩිය වැහෙන්න අතුරා ගන්න. කැමති නම් පිරිසිදු කර වියලාගත් වැලි පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වැලි හෝ ගල් තට්ටුව උඩින් මැදට වන්නට යකඩ දරණුවක් හෝ එවැනි ස්ටෑන්ඩ් එකක් තබා, හොඳින් තදවෙන පියනකින් වසා විනාඩි 10ක් සාමාන්ය අඩු ගින්දරේ රත් කරගන්න. ප්‍රී හීට් කරගත් වැලි පෝරණුව සූදානම්. එහෙනම් අපි රෙසිපි බලමු නේද 🙂

 

1. පීසා

No Oven Recipes

Source – kingarthurflour.com

පීසා හදන්න ආසාව තියෙන කෙනෙක්ට දැන් අවන් එකක් නෑ කියල දුක් වෙන්න අවශ්‍ය නෑ. ගෙදරදීම රසට පීසා එකක් හදාගන්න එක අමාරු නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පාන්පිටි 500g
  2. යීස්ට් තේ හැඳි 1
  3. සීනි තේ හැඳි 1
  4. ලුණු තේ හැඳි 1
  5. පිටි අල්ලට දාන්න පුළුවන් තරම් ලා රස්නය ඇති වතුර 250-300ml
  6. ඔලිව් ඔයිල් හෝ බටර් මේස හැඳි 3

 

  • මේ සියල්ල එකට එක් කොට අතේ නොඇලෙන මෘදු ඩෝ එකක් වනතුරු හොඳින් විනාඩි 15ක් පමණ අනාගන්න. වතුර මුලින් 250mlක් එක් කර, මදි නම් පමණක් ඉතිරිය ටික ටික එක් කරගන්න.
  • තෙත මිරිකාගත් පිරිසිදු රෙදි කැබැල්ලකින් වසා පැය දෙකක් පිපෙන්න තබා ගන්න. පැය දෙකකට පස්සෙ මේ ඩෝ එක කොටස් දෙකකට කඩාගෙන, පිටි ඉස ගත්ත නන්ස්ටික් තැටියක එක කොටසක් තුනී කරන් අඩුම ගින්දරේ වහල තියන්න විනාඩි 10ක් පමණ. මේක වහන්න තෝසෙ තැටියක් හෝ ඒ වගේ හොඳින් රත් වෙන ඇලුමිනියම් පියනක් යොදාගන්න.
  • විනාඩි දහයකට පස්සෙ සෝස් සහ පිසගත් ටොපින් එකක් එකතු කරගෙන, ඊට උඩින් මොසරැල්ල චීස් එකතු කරන් නැවතත් පියනකින් වහල අඩුම ගින්දරේ විනාඩි 15ක් පිසගන්න.

 

2. නෝ අවන් බනිස්

No Oven Recipes

Source – hiretravellers.com

අවන් එකක් නැතුව බනිස් හදන්න පුළුවන් කියල හිතුවෙ නෑ නේද? ටී ටයිම් එකට සීනි බනිස් ගෙඩියක් කන එක දැන් ලේසි වැඩක් අවන් එකක් නැතත්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පාන්පිටි කප් 2 1/2 (ස්ටෑන්ඩර්ඩ් මෙශරින් කප්)
  2. සීනි කප් 1/4
  3. බටර් කප් 1/4
  4. ලුණු තේ හැඳි 1
  5. යීස්ට් 12
  6. උණුසුම් වතුර කප් 1/2
  7. උණුසුම් කිරි කප් 1/2
  8. බිත්තරයක්
  9. උඩින් තැවරීමට වෙනම දියකරගත් බටර්

 

  • මුලින්ම පිටි කප් 2ක් ගෙන ඒකට අනෙක් සියළුම ද්‍රව්‍ය එක් කර හොඳින් අනාගන්න. අනාගත් පසු අතේ නොඇලෙන පදමට ගැනීමට ඉතිරි පිටි ටිකත් එකතු කර නැවත අනන්න.
  • පිටි ඉසගත් ලෑල්ලකට ඩෝ එක දමා විනාඩි 8ක් පමණ නැවත අනාගන්න. තෙත මිරිකාගත් රෙද්දකින් වසා පැය 1 1/2ක් පමණ තියාගන්න.
  • පැය 1 1/2කට පසු ඩෝ එක ගෙන, අතින් තද කර හුලන් ගතිය හැර, කුඩා සමාන කොටස් වලට කඩා බෝල සාදාගන්න.
  • මදක් ගැඹුරු පෑන් එකක පිටි ඉස, සාදාගත් බෝල එකිනෙක නොගෑවෙන පරිදි තබාගෙන බටර් තවරා ගන්න. ඉහත පරිදි ප්‍රී හීට් කරගත් වැලි පෝරණුවේ දරණුව මත භාජනය තබා, හොඳින් තදවෙන පියනකින් වසා විනාඩි 15-20ක් සාමාන්‍ය අඩු ගින්දරේ පිසගන්න.

 

3. චොකලට් කේක්

No Oven Recipes

Source – lindt.com.au

රසම රස සොෆ්ට් චොකලට් කේක් එකක් මෙහෙමයි අවන් නැතුව හදාගන්නෙ.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කොකෝවා පව්ඩර් මේස හැඳි 3
  2. පාන් පිටි කප් 1
  3. බේකින් සෝඩා තේ හැන්දයි (ආප්ප සෝඩා)
  4. ලුණු තේ හැන්දයි
  5. බටර් කප් 1/2
  6. සීනි කප් 1
  7. බිත්තර 1
  8. වැනිලා තේ හැන්දයි
  9. විනාකිරි තේ හැන්දක් මිශ්‍ර කරගත් කිරි කප් 1

 

  • වියලි ද්‍රව්‍ය ටික එකට මිශ්‍ර කරගන්න. එයට බටර් සහ කිරි එක් කර මිශ්‍ර කරගෙන එයට වෙනම බීට් කරගත් බිත්තරය සහ වැනිලා එක් කරගෙන කලවම් කරගන්න.
  • හොඳින් බටර් තවරාගත් බඳුනක කේක් මිශ්‍රණය දමාගන්න.
  • ඉහත පරිදි ප්‍රී හීට් කරගත් වැලි පෝරණුවේ දරණුව මත කේක් මිශ්රණය දමාගත් භාජනය තබා, හොඳින් තදවෙන පියනකින් වසා විනාඩි 20ක් සාමාන්‍ය අඩු ගින්දරේ පිසගන්න. කූරක් මැදින් ගසා තෙතදැයි පරික්ෂා කර, තෙත නම් තවත් විනාඩි 5ක් තියෙන්නට හැර ඉවත් කරගන්න. නිවුණු පසු කැමති ලෙස අයිසින් තවරා ගන්න.

 

4. මාළු පාන්

No Oven Recipes

Source – flickr.com

අවන් එකක් නැතුව කේක් හදාගන්න බැරුව ඉද්දි මොන මාළුපාන්ද නේ 😉 මාළු නැති මාළු පාන් කඩෙන් කාපු කාලෙ ඉවරයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කැමති විදියට හදාගත්ත පිරවුමක්
  2. පිටි 250g
  3. යීස්ට් තේ හැඳි 1 3/4
  4. සීනි තේ හැඳි 2
  5. බිත්තරයක්
  6. බටර් 60g
  7. කිරි මේස හැඳි 3
  8. ලුණු
  9. පිටි අල්ලට දාන්න පුළුවන් තරම් මද රස්නෙන් වතුර

 

  • සීනි සහ යීස්ට් වලට මද රස්නෙ වතුර වලින් කොටසක් එකතු කරල විනාඩි 5ක් විතර තියාගන්න. පිටි ටික බෝල් එකකට දාගෙන, ඒ මැද වලක් හදාගෙන යීස්ට් මිශ්‍රණය එක්ක කිරි, බිත්තර සහ බටර් එකතු කරන් මද රස්නෙ වතුර ටිකෙන් ටික එකතු කරමින් අතේ නොඇලෙන මෘදු ඩෝ එකක් අනාගන්න.
  • තෙත මිරිකාගත් පිරිසිදු රෙද්දකින් වහල පැය දෙකක් තියන්න. පැය දෙකකට පස්සෙ ඩෝ එක තද කරල හුලන් ගතිය ඉවත් කරගෙන සමාන කොටස් 6කට කඩාගන්න. එක කොටසක් බැගින් තුනී කරගෙන, පිරවුම දමා, ත්‍රිකෝණ හැඩයට නවාගන්න.
  • කලින් සාදාගත් වැලි පෝරණුව තුළට දැමිය හැකි තැටියක් මත තබා, බිත්තර සුදුමදය තවරා තවත් පැයක් පිපෙන්න තියන්න.
    පෙර පරිදිම ප්‍රීහීට් කරගත් වැලි පෝරණුවේ විනාඩි 20-25ක් පිසගන්න.

 
Cover Image Source – lecreuset.com.au
 

One response to “අවන් එකක් නැතිව පීසා, බනිස්, කේක් සහ මාළුපාන් හදාගන්නේ මෙහෙමයි!”

  1. […] එක ගැන අපි මීට කලින් ලිපියක ලිව්ව. අවන් නැති කෙනෙක්ට උනත් කේක් එකක් බේක් කරගන්න හැටිත් අපි […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *