ලක්සම්බර්ග් රජපවුලේ සුවිශේෂී ආභරණ

අනෙකුත් යුරෝපා රටවල් එක්ක බලද්දි ලක්සම්බර්ග් කියන්නේ සාපේක්ෂව මෑත කාලයේ ස්වාධීන වූ රාජ්‍යයක්. ඒ වගේම තවත් විශේෂයක් වෙන්නේ මේ රට පාලනය වෙන්නේ මහාදිපාදවරයෙක් යටතේ නිසා. අපි අද කතා කරන්න යන්නේ මේ මහාදිපාද පවුල සතුව තිබෙන සුවිශේෂී රාජකීය ආභරණ කීපයක් පිළිබඳව.

 

1. ඇඩිලේඩ් මහාදිපාදවරියගේ ටියාරාව (The Grand Duchess Adelaide Tiara)

කෝකෝෂින්ක් එනම් සාම්ප්‍රදායික රුසියානු ගැමි ලියන්ගේ ශීර්ෂ පළඳනාවක්  ආකාරයට සකසා තිබෙන මෙම ටියාරාව මධ්‍යයේ ඇති නිල් මැණිකකින් සහ දියමන්ති මල් වැල් වලින් අලංකාර වෙනවා. 1860 දී පමණ මෙම ටියාරාව නිර්මාණය වූ බවට වාර්තා ඇති අතර එහි පළමු උරුමක්කාරිය වී ඇත්තේ ඇඩිලේඩ් මේරි මහාදිපාදවරියයි. වර්තමානයේ ලක්සම්බර්ග් රජපවුලේ උරුමය සඳහා වන පදනමේ භාරයට පත්ව තිබෙන මෙම ටියාරාව එම පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙකුගේ ශීර්ෂ සරසා තිබෙනවා.

 

 

2. එම්පයර් ටියාරාව (The Empire Tiara)

මෙම ටියාරාව පැළඳීම සඳහා බොහෝවිට අවස්ථාව ලැබෙන්නේ මහාදිපාදවරියකට පමණයි. සාමාන්‍ය ටියාරාවකට වඩා මෙම ටියාරාව ප්‍රමාණයෙන් විශාල වන අතර නාසුහි විලියම් ආදිපාදවරයා සිය දෙවන බිරිඳ වන වුටන්බර්ග්හි පෝලීනා කුමරිය වෙනුවෙන් මෙය තැනවූ බවට විශ්වාස කෙරෙනවා. පෝලීනා කුමරියගේ මරණයෙන් පසුව මෙම ටියාරාවේ අයිතිය ලක්සම්බර්ග්හි පළමු මහාදිපාදවරයා වූ ඇඩෝල්ප් වෙත හිමිව තිබෙනවා.

 

 

3. එමරල්ඩ් පීකොක් නෙක්ලස් ටියාරාව (The Emerald Peacock Necklace Tiara)

මෙම ටියාරාවේ නමින්ම හැඟෙන පරිදි මෙය ටියාරාවක් ලෙස මෙන්ම ගෙල පලඳන මාලයක් ආකාරයට වුවත් භාවිතා කිරීමට පුළුවන්. 1956 දී පමණ මෙම ටියාරාව නිර්මාණය කිරීම සඳහා එවකට මහාදිපාදවරිය වූ ජොසපින් චාලට් විසින් ආභරණකරුට මැණික් වලින් සැදුණු මාල කීපයක් ලබා දී තිබෙනවා. මෙම ටියාරාව මහාදිපාදවරියන් පමණක් නොව පවුලේ සෙසු කුමරියන් විසින්ද භාවිතා කරනු ලබනවා.

 

 

4. ඩයමන්ඩ් වයින් ලීව්ස් ටියාරාව (The Diamond Vine Leaves Tiara)

මෙම ටියාරාවේ හැඩය කුමක්ද යන්න පිළිබඳව නම කියූ සැණින්ම සිතාගන්නට පුළුවන් වන්නට ඇති. දියමන්ති වලින් සැකසුණු මිදි වැලක් සහ මිදි පොකුරු මෙම ටියාරාව අලංකාර කරනු ලබනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන පරිදි මෙම ටියාරාවේ අතීතය වසර 150 ක පමණ කාලයක් දක්වා දිව යනවා. ඇතැම් ආභරණ විශේෂඥයන් විශ්වාස කරන පරිදි ඇඩිලේඩ් ටියාරාව සකසන සමයේදීම මෙම ටියාරාවද නිර්මාණය කොට තිබෙනවා. මෙම ටියාරා දෙකෙහිම ඇති සමානකම් ඔවුන් ඒ සඳහා සාක්ෂි කොට දක්වනවා.

 

 

5. ඩයමන්ඩ් බටර්ෆ්ලයි ටියාරාව (The Diamond Butterfly Tiara)

මෙම ටියාරාව ස්ටෙෆනි මහාදිපාදවරිය වෙනුවෙන් සකසා තිබෙනවා. ලක්සම්බර්ග් රජමැදුරේ ආභරණවලින් අඩු ඉතිහාසයකට හිමිකම් කියන ආභරණයක් ලෙස මෙය හැඳින්වීමට පුළුවන්. මල් ගොමුවක වසා තිබෙන සමනළයන් රෑනක් දියමන්ති යොදාගෙන ප්‍රතිනිර්මාණය කිරීම මෙම ටියාරාවේ සුවිශේෂීම ලක්ෂණය වනවා. එසේම ටියාරාවේ පාදම සඳහාද දියමන්ති භාවිතා කොට තිබෙනවා. එසේම මල් වැනි දියමන්තියෙන් සැකසුණු කරාබු යුවළක් මේ ටියාරාව සමග නිර්මාණය කර ඇති අතර බොහෝ රාජකීය උත්සව සඳහා ස්ටෙෆනී මහා ආදිපාදවරිය මෙම ආභරණ භාවිතා කරනු ලබනවා.

 

 

6. කොංගෝ ඩයමන්ඩ් නෙක්ලස් ටියාරාව (The Congo Diamond Necklace Tiara)

මෙම ටියාරාවේ ඉතිහාසය යම්තාක් දුරකට ආන්දෝලනාත්මක එකක් වනවා. බෙල්ජියම් රජපවුලේ රජ කුමරියක වූ ජොසපින් චාලට් සහ ලකසම්බර්ග් මහාදිපාදවරයා වන ජීන්ගේ විවාහ මංගල්‍යය සඳහා කොංගෝ රාජ්‍යයෙන් ත්‍යාගයක් ලෙස ලද දියමන්ති වලින් මෙම ටියාරාව සකස් කොට තිබෙනවා. බෙල්ජියම් රජ පවුල විසින් කොංගෝ රාජ්‍යය තුළ සිදුකරන ලද අමානුෂික ක්‍රියා සහ සූරාකෑම් නිසා මෙම ටියාරවට ඇතැම් පාර්ශව එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. කෙසේ වෙතත් මෙම ටියාරාව මහාදිපාද පවුලේ කුමරියන්ගේ මංගල උත්සවවලදී හිස සැරසීම සඳහා වැඩි වශයෙන් භාවිතා කොට තිබෙනවා.

 

 

7. ෂෝමේ එමරල්ඩ් ටියාරාව (The Chaumet Emerald Tiara)

චවුම්ට් ආභරණ සමාගම විසින් නිර්මාණය කොට ඇති මෙම ටියාරාව මධ්‍යයේ දියමන්තියක් ආධාරකයක් ලෙස යොදන ලද එමරල්ඩ් වර්ගයේ මැණිකක් ස්ථානගත කොට තිබෙනවා. ටියාරාව වඩාත් සමීපව බලන විට එහි සංකීර්ණ කැටයම් ඇතුළත්ව තිබෙන්නේ මෙය සැකැසූ ශිල්පියාගේ විශිෂ්ටත්වය පිළිබිඹු කරමින්. චාලට් මහා ආදිපාදවරියට ඇගේ සැමියා වූ ෆීලික්ස් කුමාරයා විසින් මෙම ටියාරාව ත්‍යාගයක් ලෙස  ලබා දුන් බව කියවෙනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *