හොරකම් කරනවා කියන එකේ කොටස් දෙකයි. එකක් තමයි දේශපාලකයින් නිළධාරීන් කරන මෘදු තාලේ වංචා දූෂණ ආදී සොරකම්. අනෙක තමයි ගෙවල් බිඳීම්, බැංකු මංකොල්ල වගේ සොරකම්. පළවෙනි කාණ්ඩේ දූෂණ වංචා, හොරකම් නම් එළි වෙලා වැරදිකරුවන් නීතියට යනවා සෑහෙන අඩුයි. ඒත් දෙවැනි කාණ්ඩේ පිසිකල් හෙවත් භෞතිකව කරන සොරකම් නම් අද පවතින තාක්ෂණය ආධාරයෙන් අපේ පොලිස් කණ්ඩායම් විසින් සාර්ථකව සොයාගනු ලබනවා. ඉතින් ඒ විදිහට සොර මැරකම් අඳුනගන්න පාවිච්චි වෙන තාක්ෂණ මොනවද කියලා ටිකක් අපි බලමු.
1. ෆේස් රෙකග්නිෂන්
ෆේස්බුක් එකේ අපි පොටෝ එකක් දැම්මහම දැන් අපේ යාලුවෝ විතරක් නෙමෙයි, බල්ලා පූසා පවා හොඳින් අඳුනාගෙන ඒ අයව ටැග් කරනවා. ඔය තාක්ෂණයම අපරාධකරුවන් හඳුනාගන්නට වැදගත් වෙනවා. අපරාධකාරයෙක් ලොකු මංකොල්ලයක් හෙම කරද්දි මූණ වහගන්නවා, විවිධ කවර් යොදාගන්නවා. ඒත් ඇස් දෙක හෝ පේන්න තියෙනවා නම් ඒ හරහා ඒ කවුද කියලා හොයාගන්න තරම් අද තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. මේ තාක්ෂණය හරහා අපරාධ විද්‍යාවේදී අපරාධයට සැක පිට ඉන්න උදවිය ඇත්තටම ඒ දේට සම්බන්ධද කියලාත් සන්සන්දනය කරලා හොයාගන්න හැකියි.
2. සී සී ටී වී
සී සී ටීවි කියන්නේ මේ කාලේ ආරක්ෂාවට පුදුම විදිහට උපකාර වෙන දෙයක්. හොරා මොන විදිහට කවර් වෙලා හිටියත් සී සී ටී වී හැම තැනම තියෙන නිසා ඒ අදාළ කාල වල ඒ ඒ තැන්වල සී සී ටී වී චෙක් කිරීමෙන් හොරු අල්ලාගන්න හෝඩුවාවක් ගන්නට පුළුවන්. සුපර්මාකට් සොරකම්, බැංකු මංකොල්ල ආදියේදී ඒ සොරුන් පාවිච්චි කරන ටෙක්නික්ස් සහ සොරුන්ගේ ඉරියව් අඳුනගන්න සී සී ටීවි හරහා පුළුවන් වෙලා තියෙනවා. සී සී ටී වී මගින් අපේ පුද්ගලිකත්වය අනවශ්‍ය ලෙස එළි වෙනවා කියලා චෝදනාවක් තිබුණත් ලොව පුරා හොරකම් වල සොරුන් සොයාගන්න සී සී ටී වී වැදගත් වෙලා තියෙනවා.
3. ජී පී එස් සහ ට්‍රැකින්
සොරෙක් තමුන්ගේ වාහනයෙන් සොරකමේ එන්නේ කලාතුරකින්. පැහැරගත් වාහනයක් හෝ වෙනත් වාහනයක් වුණත් වාහනය තුළ ජී පී එස් ට්‍රැකර් තියෙනවා නම් වාහනේ ආගිය තැන් ආදිය හොඳින් බලාගන්න පුළුවන්. දැන් හැමෝ අතේම ස්මාට් නැතත් කුමක් හෝ ෆෝන් එකක් තියෙනවා. අලුතින්ම ගත් සිම්පතක් හරහා ගනුදෙනු කළත් ඒ සිම්පත කැරකුණ ඒරියා ටික හොයාගන්න ට්‍රැකින් හරහා පුළුවන්කම තියෙනවා. සොරුන් වැඩිපුර ගැවසෙන ඒරියා සොයාගන්නත්, එකම සොරා වැඩිපුර යන එන දිහාවන් සොයාගන්නත් මේ ජී පී එස් සේවාවන් වැදගත් වෙලා තියෙනවා.
4. සෝෂල් මීඩියාවල සහයෝගය
අද අපරාධයක් වුන ගමන් සෝෂල් මීඩියා හරහා එය ප්‍රචලිත වෙනවා. සාමාන්‍ය අපරාධ විශේෂඥයින් වගේම ලොකු පිරිසක් ඒ සිද්ධිය විශ්ලේෂණය කරන්න හවුල් වෙනවා. ඒ වගේම ඒ අදාළ පුද්ගලයින්ගේ ඡායාරූප විස්තර තියේ නම් ඒ දේවලුත් සෝෂල් මීඩියා හරහා ෂෙයාර් වෙනවා. යම් අපරාධකරුවෙකුගේ නම්, ඔහුගේ නිතර යන එන, කන බොන තැන් වගේම ඔහු වැඩිපුර ආසා කරන දේවල් බලාගන්නත් ඔහුගේ සෝෂල් මීඩියා එකෙන් පුළුවන්. සෝෂල් මීඩියා වලින් අපේ වගේම සොරුන්ගේත් යාලුවන්, ඥාතීන් පහසුවෙන් සොයාගන්නට පොලිසියට සහ විමර්ෂණ කණ්ඩායම් වලට පුළුවන්කම ලැබෙනවා.
5. ෆෝන් කැමරා
අපි ජනාකීර්ණ තැනක ඉඳන් එතැන මතක් වෙන්න ගන්න පොටෝව පවා විමර්ෂණයකට වැදගත් කමක් තියෙන්න පුළුවන්. ඒ වගේම දැන් අපි යන එන තැනක මහමග අපරාධයක් වුණත්, එයට මැදිහත් වෙන්න බැරිනම් හැංගිලා ඉඳන් වීඩියෝ කරන්න කැමති අය වැඩියි. සමහර අය මේ අපරාධය වළක්වන්නේ නැතිව හොරෙන් වීඩියෝ කරන අයට බනිනවා. ඒත් මේ වීඩියෝ සහ පොටෝ දත්ත පසුව අපරාධකරුවන් සොයාගැනීමේදී බොහොම වැදගත් වෙනවා.
6. ඉන්ටෙනෙට් හරහා සොයාගැනීම්
ලෝකයේ අපරාධකරුවන් ඉන්නේ අපේ රටේ විතරක් නෙමෙයි. ඇතැම් නමගිය අපරාධකරුවන්ට රටක් දේශයක් අදාළ නැහැ. ඔවුන් වටේ යමින් විවිධ අපරාධ වල නිරත වෙනවා. මෙ වගේ අවස්ථාවන් ඉන්ටනෙට් යුගයට කලින් හසුරුවන්නට වුණේ බොහොම මන්දගාමී ක්‍රමයකට. ඒත් දැන් කෙලින්ම අපරාධකරුවන්ගේ චර්යාවන්, ඔවුන්ගේ අපරාධ ක්‍රමවේද ආදිය ඒ ඒ පොලීසි වලට ෂෙයාර් කරගන්නට පුළුවන්. අපේ රටේ පසුගිය කාලේ අපකීර්තිමත් ප්‍රහාරයක් වුණු සහරාන් හෂීම්ගේ පාස්කු ප්‍රහාරය ගැන ලංකාවට ඉන්දියාවෙන් අනතුරු ඇඟවීම් ලැබිලා තිබුණා. ඒ ලැබී තිබුනේ මේ අපරාධ මර්දන ජාලා සහ බුද්ධි අංශ වල තියෙන ජාලගත බව නිසා.
7. දත්ත පද්ධති
කෙහෙල් කැනක් කැපීම, පික් පොකට් ගැසීම වගේ සුළු සුළු දේවල් වලට වඩා විශාල සොරකමක්, මිලියන ගණනක මංකොල්ලයක් සිදු කරන්න ඒ අදාළ සොරුන් විවිධ ක්‍රමවේද පාවිච්චි කරනවා. මේ අපරාධ ක්‍රමවේද හඳුනාගන්න දත්ත පද්ධති හරහා පුළුවන්. ඒ වගේම අපරාධයක සාමාන්‍යයෙන් හමුවන සාක්ෂි තියෙනවා. ඒවා අතර බයෝලොජිකල් වගේම වෙනත් සංඥා ඉඟි තියෙනවා. මේවා අධ්‍යයනය කරන්නත් දත්ත පද්ධති වලින් ලොකු වැදගත්කමක් ලැබෙනවා. ෆේස් රෙකග්නිෂන් හරහා පුද්ගලයා තහවුරු කරගන්න පුළුවන් වුණත් හොඳ දත්ත පද්ධති හරහා තමයි ඒ පුද්ගලයාගේ ඉතිහාසය සහ සම්බන්ධතාවයන් නිරීක්ෂණය කරන්නට වන්නේ. ඒ නිසා වේගෙන් දියුණු වෙන දත්ත හැසිරවීමේ ක්‍රමවේද මගින් සොරුන් පහසුවෙන්ම අනාවරණය කරගන්නට අද වෙද්දි පුළුවන්කම ලැබිල තියෙනවා.
8. ඩී එන් ඒ සහ බයෝලොජිකල් දත්ත
ඩී එන් ඒ දත්ත මගින් කෙස්, සෙම්, සොටු, ලේ වැනි බයෝලොජිකල් දත්ත මගින් වැරදිකරුවන් සොයාගන්න පුළුවන්. යම් සැකකරුවෛක් හරියටම ඒ ඔහුමදැයි තහවුරු කරගන්නත් ඩී එන් ඒ නිසා දැන් ලේසියෙන් පුළුවන්. අපරාධ විද්‍යාවේදී අදාළ සැකකරුවන් තහවුරු කරගැනීම, සැකකරුවන් සොයැගැනීම සේම වැදගත් වෙනවා. එවැනි සහතික කිරීම් වලදී ඇඟිලි සළකුණු, ෆේස් රෙකග්නිශන්, සී සී ටීවී ආදී හැම දත්තයකටම වඩා ඩී එන් ඒ හරහා ලබාගන්නා වාර්තා වඩාත් නිවැරදි වෙනවා.
තාක්ෂණය කියන්නේ අද වෙද්දි අපරාධ පරීක්ෂකයින්ට වගේම අපරාධකරුවන්ටත් ලේසියෙන් ලාබගන්න පුළුවන් දෙයක්. ඒ නිසාම තාක්ෂණය ඇසුරෙන් බිහිවුණු සයිබර් සොරකම්, ඔන්ලයින් වංචා ආදියත් දැන් බිහිවෙලා තියෙනවා. ඒ වගේම අපරාධ හඳුනාගන්නා ක්‍රමවේද ගැන තියෙන දැනුම නිසා, අපරාධකරුවන් සොයාගන්න බැරිවෙන්න සොරකම් මැරකම් කරන්නත් අනුවර්තනය වෙමින් තියෙනවා. කොහොම වුනත් අපරාධ හඳුනාගන්න එන්න එන්නම තාක්ෂණය වැදගත් වෙනවා. තාක්ෂණික යුගයේදී හොරුන් පසුපස දුවලා හොරු අල්ලන, පරණ කසිප්පු අල්ලන මාදිලියේ පොලිසිය වගේම ඉස්සරහට තාක්ෂණික ඉදිරිගාමී පොලිසියකුත් අපේ හොරකම් නැතිකරගන්න අපිට උවමනා වේවි.
Leave a Reply