කවදාහරි දකින්නම ඕන ලෝකයේ ලස්සනම තැන් 7ක්

ලස්සන දේවල් දකින්න අපි කවුරුත් කැමතියිනේ. එහෙම දේවල් දකින එක ඇසට වගේම මනසටත් සුව ගෙනෙන වැඩක්. ඉතින් ඒ නිසාම තමයි පුංචි නිවාඩුවක් ලැබුන ගමන්ම වගේ අපේ හැම දෙනෙක්ම ලස්සන තැනක්, ලස්සන දෙයක් බලන්න යන්න ලොකු උනන්දුවක් දක්වන්නේ. අපේ ලංකාව කියන්නෙ ඒ වගේ ඇස සහ සිත පිනවන ලස්සන තැන් ගොඩක් පිහිටලා තියෙන අතිශය සුන්දර රටක්. ඒ නිසාම ඉහළින්ම සංචාරක ආකර්ෂණයට ලක්වූ රටක්. හැබැයි මේ කියන්න යන්නෙ ලංකාවේ අපි දකින ලස්සන තැන ගැනනම් නෙමෙයි. මුළු ලෝකය පුරාම තැන් තැන්වල පිහිටලා තියෙන ලෝකයේ ලස්සනම තැන් කියලා ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් ගැනයි. මේ තැන් අතරේ හැමෝම මැරෙන්න කලින් එක වතාවක් හරි පියවි ඇසින් දකින්නම ඕන ලස්සනම ලස්සන ස්වභාවික වගේම මිනිසා අතින් නිර්මාණය වුණු ස්ථානත් ඇතුළත්. ඉතින් කියවලාම බලමුකෝ මේ ගැන පොඩි විස්තරයක්.

 

 

1. චීනයේ Zhangye ජාතික භූ උද්‍යානය

Zhangye කියල කියන්නෙ චීනයේ ස්වභාවික භූ උද්‍යානයක්. මේ උද්‍යානය පිහිටලා තියෙන්නෙ Sunan සහ Linze ප්‍රාන්තවල. වසර මිලියන ගණනක් තිස්සේ අවසාධිත ඛණිජ නිධි ස්ථර වලින් සකස් වුනු අපූරු දේදුනු පැහැයන්ගෙන් යුතු මේ ස්වභාවික පිහිටීම දකින ඕනම කෙනෙකුගේ ඇස පිනවන සුන්දර දර්ශනයක්. මේ ස්වභාවික දර්ශනය වර්ග කිලෝමීටර 322 ක ප්‍රමාණයක් පුරා පැතිරිලා තියෙනවා. මේ ස්ථානය 2012 වසරේ අර්ධ ජාතික භූ උද්‍යානයක් ලෙසිනුත් 2016 වසරේදී Zhangye ජාතික භූ උද්‍යානය ලෙසිනුත් චීනයේ ඉඩම් හා සම්පත් අමාත්‍යාංශය විසින් නම් කරන්න යෙදිලා තියෙනවා. 

 

 

2. කැනඩාවේ Banff ජාතික උද්‍යානය

කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ කැල්ගරි නගරයේ සිට බටහිර දෙසට පිහිටා ඇති මේ වනෝද්‍යානය 1885 වසරේ පිහිටුවන ලද කැනඩාවේ පැරණිතම ජාතික වනෝද්‍යානය ලෙස සැලකෙනවා. කඳුකර ප්‍රදේශයක් වන මේ වනෝද්‍යානය තුළ බොහෝ ග්ලැසියර සහ අයිස් ක්ෂේත්‍ර, ඝන කේතුධර වනාන්තර සහ ඇල්පයින් භූ දර්ශන දකින්න පුළුවන්. ඒ අතරිනුත් වඩාත්ම ජනප්‍රිය මේ වනෝද්‍යානය තුළ දකින්න ලැබෙන ග්ලැසියර විල්. මේ සුන්දර ස්ථානය නරඹපු බොහෝ දෙනෙක් කියන්නෙ ලෝකයේ ඇති වඩාත්ම නිල් පැහැති ලස්සනම විල් දකින්න ඇත්තේ මේ වනෝද්‍යානය තුල බවයි. 

 

 

3. තුර්කියේ Pamukkale

පමුක්කලේ, එහෙමත් නැත්තම් තුර්කි භාෂාවෙන් කපු බලකොටුව කියල කියන්නෙ නිරිතදිග තුර්කියේ දෙනිස්ලි පළාතේ පිහිටා ඇති ස්වභාවික ස්ථානයක්. මේ ස්ථානයේ ඉතා අලංකාර ලෙස පිහිටා ඇති තාප ජලය එහෙමත් නැත්තම් උණුදිය උල්පත් දකින්න පුළුවන්. තුර්කි රටේ අගනගරයට හුඟක් දුරින් පිහිටලා තියෙන නිසාම හුඟ දෙනෙක් යන්න මැලිකමක් දක්වන තැනක් වුණත් මේ ස්වභාවික දර්ශනයත් ජීවිතයේ එකවරක් හෝ දකින්නම ඕන ඉතා අලංකාර දර්ශනයක්. ඒ වගේම මේ උණු වතුර ළිං වල සුවපත් කිරීමේ ගුණයක් ඇති බවත් වසර ගණනාවක් තිස්සේ කියවෙන කරුණක්. 

 

 

4. සකුරා මල් පිපෙන ජපානයේ වීදි

ජපානය වගේම සකුරා මල් කියන්නෙත් අපි ඕනම කෙනෙක් දන්නා දෙයක්. ඒත් සකුරා මල් පිපෙන වසන්ත කාලයට ජපානයේ වීදි කොයිතරම් ලස්සනද කියන කාරණාවනම් පියවි ඇසින් දැකලාම විඳින්න ඕන කාරණාවක්. මාර්තු මාසයේ අග සිට මැයි මාසයේ මුල් සතිය දක්වා කාලාය් තුළ ජපන් රටේ රැඳී ඉන්න කෙනෙකුට පහසුවෙන්ම මේ ඉන්ද්‍රජාලික දර්ශනය නරඹන්නත්, මේ සුන්දර වීදි දිගේ ඇවිද යන්නත් පුළුවන්. මේ කාලය ජපානයේ සකුරා මල් උත්සවය විදිහටත් හැඳින්වෙන්නේ විශේෂයෙන්ම මේ කාලයට සකුරා මල්වල ලස්සන බලන්න ජපානයට සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන කාලයක් නිසාමයි. 

 

 

5. තායිලන්තයේ Krabi

දකුණු තායිලන්තයේ බටහිර වෙරළ තීරයේ පිහිටා ඇති ක්රාබි කියන ප්‍රදේශය පියවි ඇසින් දකින්න පුළුවන් ඉතාම අලංකාර භුමි දර්ශන අතරේ ඉහළින්ම තියෙන තැනක්. මේ ප්‍රදේශය ඇත්තෙන්ම පර්වත, හුණුගල් කඳු, ඝන කඩොලාන වනාන්තර සහ දූපත් රාශියකින් පිරුණු අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් ස්ථානයක්. ඒ නිසාම ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගත්ත ස්ථානයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. 

 

6. ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය

අපි හැමෝම අහල තියෙන මහා බාධක කොරල් පරය පහුගිය දවස්වල ඉතා තදින් කතාබහට ලක්වුණු මාතෘකාවක්. ඒ කොරල් පරයෙන් කොටසක් මියයෑම ගැන පැතිරුණු පුවතක් එක්ක. ඒ කොහොම වුණත් මේ කොරල් පරය කියල කියන්නෙත් ලෝකයේ පියවි ඇසකින් දකින්න පුළුවන් ඉතාම සුන්දර දර්ශනයක්. ක්වීන්ස්ලන්ත වෙරළට ඔබ්බෙන් ඊසානදිග ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති මේ මහා බාධක කොරල් පරය අභ්‍යවකාශයේ සිට දැකිය හැකි පෘථිවියේ එකම ජීවී වස්තුව ලෙසත් සැලකෙනවා. මතුපිටින් බලනවාටත් වඩා මේ කොරල් පරයේ සැබෑ සුන්දරත්වය දකින්න පුළුවන් දිය යටදියි. විවිධ වර්ගයේ කොරල් වර්ග 600 කට වඩා වැඩි ප්‍රමාණයකින් සමන්විත මේ කොරල් පරය විවිධ ජලජ ජීවීන් විශාල ප්‍රමාණයකට නිවහනක් නිර්මාණය කරලා තියෙනවා. 

 

7. ප්‍රංශ පොලිනීසියාවේ Bora Bora දූපත

ප්‍රංශ පොලිනීසියාවේ Tahiti හි වයඹ දෙසින් පිහිටි කුඩා දූපතක් තමයි මේ බෝරා බෝරා දූපත. ඝන කැලෑවකින් වැසුණු මේ සුන්දර දුපතේ පොහොසත් කොරල් පරයක්, ටර්කියුයිස් කලපුවක් සහ දූපත මැදට වන්නට පිහිටා ඇති නිද්‍රශීලී ගිනි කන්දක් දකින්න පුළුවන්. මේ දූපත ලෝකයේ සංචාරක ආකර්ෂණයට ලක්වුණු සුන්දරම දූපතක් බවටනම් කිසිම සැකයක් නැහැ. ඉතා සුඛෝපභෝගී නිවාඩු නිකේතන වලින් සමන්විත මේ දූපත නිදහසේ නිවාඩුවක් ගත කරන්න කැමති අයට වගේම ප්‍රේමාන්විත මධුසමයක් ගත කරන්න කැමති අයටත් කියාපු තැනක්. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *