අපි බොහෝ වෙලාවට යුරෝපයේ, ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලනය ගැන වැඩි අවධානයක් යොමු කරාට අපේ අසල්වැසි රට වන ඉන්දියාවේ දේශපාලනය ගැන එතරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඉන්දීය දේශපාලනයේ ඇතුළේ කාන්තාවෝ කෙතරම් ප්‍රබල භූමිකාවක් ඉෂ්ට කරනවාද කියන එක ගැන අපිට අවබෝධයක් නැහැ. ඉන්දිරා ගාන්ධි, සෝනියා ගාන්ධි, ජයලලිතා වගේ කාන්තා දේශපාලනඥයෝ කීපදෙනෙක් ගැන විතරයි අපි දන්නේ. මේ නිසා Lifie.lk අපි හිතුවා, ඉන්දීය දේශපාලනයේ ප්‍රබල කාන්තා චරිත කීපයක් ඔබට හඳුන්වා දෙන්න
1. වසුන්දරා රාජේ
ග්වාලියර්හි මහරාජාවරයාගේ දියණිය විදිහට ඉපදුණු ඇයට හෝ ඇයගේ පවුලේ සාමාජිකයන්ට ඒ වන විට රජකම උරුම වුණේ නැහැ. ඒ ඉන්දියාව නිදහස ලබා ගැනීමත් සමග මහරාජාවරුන්ගේ බලය අහෝසි කිරීමට කටයුතු කිරීම නිසා. 1984 දී දේශපාලන ලෝකයට පිවිසුණු ඇය භාරතීය ජනතා පක්ෂයේ උද්‍යෝගිමත් සාමාජිකාවක් බවට පත්වුණා. මේ වන විට ඇය වතාවන් දෙකක් රාජස්ථානයේ ප්‍රධාන අමාත්‍යවරිය බවට පත්ව තිබෙනවා.
2. මායාවතී
මේ වන විට සිව්වතාවක් උත්තර ප්‍රදේශයේ මහ ඇමතිනිය බවට පත්ව සිටින මායාවතී බහුජන සමාජ පක්ෂයේ නායකත්වය උසුලනු ලබනවා. පහත් යැයි සම්මත කුලයකට අයත් වන ඇය එවැනි ජනතාව නගා සිටුවීම තම ප්‍රධාන අරමුණ කරගෙන ඒ වෙනුවෙන් දේශපාලන නායකත්වය ලබා දීම සිදු කරනු ලබනවා. කුලහීන ජනතාව විසින් ඇය තම වීරවරියක් ලෙස සලකනු ලබන අතර ඇතැම් දේශපාලන විචාරකයන් නම් විවිධාකාර දූෂණ චෝදනා ඇයට එල්ල කරනු ලබනවා.
3. සුෂ්මා ස්වරාජ්
පසුගිය වසරේදී මියගිය සුෂ්මා ස්වරාජ් ඉන්දිරා ගාන්ධි ගෙන් පසුව ඉන්දියාවේ විදේශ ඇමතිනිය බවට පත්වූ දෙවන කාන්තාව වනවා. එසේම දිල්ලියේ ප්‍රධාන අමාත්‍යවරිය බවට පත්වූ පළමු කාන්තාව ලෙස ද ඇය වාර්තාවකට හිමිකම් කියනවා. කලක් ලෝක් සභාවේ විපක්ෂ නායිකාව ලෙස ද කටයුතු කළ ඇය වෙතට 2014 වසරේ දී භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව විදේශ අමාත්‍ය ධූරය පිරිනමනු ලැබුවා. පාර්ලිමේන්තුව තුළදී මෙන්ම සමාජ ජාලා තුළදීත් ඇයගේ කථිකත්වය සහ ලේඛන හැකියාව නිසා අතිශයින් ජනප්‍රිය තැනැත්තියක් බවට ඇය පත්ව සිටියා.
4. ශීලා ඩික්සිත්
වසර පහළොවකට ආසන්න කාලයක් දිල්ලියේ ප්‍රධාන අමාත්‍ය ධූරය දැරූ ඇය වැඩිම කාලයක් ඉන්දියාවේ ප්‍රධාන අමාත්‍ය ධූරයක් දැරූ කාන්තාව බවට පත්වුණා. වතාවන් තුනක් දිල්ලියේ දී කොංග්‍රස් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යෑමට සමත් වුණු ඇය, 2013 වසරේ දී ආම් ආද්මී පක්ෂයට පරාජය වීමෙන් පසුව කේරලයේ ආණ්ඩුකාරවරිය ලෙසද කටයුතු කරනු ලැබුවා.
5. මම්තා බැනර්ජි
2011 වසරේ පටන් බටහිර බෙංගාලයේ ප්‍රධාන අමාත්‍යවරිය ලෙස කටයුතු කරන ඇය තම දේශපාලන කටයුතු ආරම්භ කරන ලද්දේ ඉන්දීය කොංග්‍රස් පක්ෂය සමගයි. කෙසේ වෙතත් එම පක්ෂයේ නායක කාරකාදීන් සමග සමඟ ඇතිවුණු ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඇය විසින් නව පක්ෂයක් ආරම්භ කරනු ලැබුණු අතර පසුව භාරතීය ජනතා පක්ෂය මූලික කරගත් පුළුල් සන්ධානයකට එක් වී දුම්රිය මාර්ග අමාත්‍යවරිය බවට පත්වුණා.
6. සුචීතා ක්‍රිප්ලානි
මහත්මා ගාන්ධි සමඟ උරෙන් උර ගැටෙමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ‘ඉන්දියාවෙන් පිටවෙනු’ ව්‍යාපාරයේ සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කළ සුචීතාව ගාන්ධිතුමා සැලකුවේ සමස්ත ඉන්දීය කාන්තාවන්ගේම පරමාදර්ශයක් ලෙසටයි. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පළමු ප්‍රධාන අමාත්‍යවරිය වුණු ඇය ඉන්දියානු ප්‍රාන්තයක එම තනතුර හිමිකරගත් පළමු කාන්තාව බවට පත්වුණා. එසේම ඉන්දීය ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ කමිටුවට ද ඇය තම සක්‍රීය දායකත්වය ලබා දුන්නා. 1969 වසරේ දී කොංග්‍රසය දෙදරා යාමෙන් පසුව වෙනත් පක්ෂයක් නිර්මාණය කොට ලෝක් සභාවට තරඟ කිරීමට ඇය උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ.
7. ප්‍රතිභා පටේල්
එතෙක් මෙතෙක් ඉන්දියාවේ ජනාධිපති ධූරයට පත් වූ එකම කාන්තාව ඇයයි. ඊට පෙර ඇය රාජස්ථාන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කරනු ලැබුවා. මෙම තනතුර සඳහා ඇගේ නම ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය යෝජනා කරනු ලැබුවේ ඇය නේරු-ගාන්ධි පවුලේ සමීප හිතවතියක් වීමේ කාරණය නිසා පමණක් බවයි ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වුණේ. වසර පහක පමණ කාලයක් එම ධුරය දැරූ ඇයගේ ධූර කාලය තරමක් දුරට ආන්දෝලනාත්මක වුණා. විවිධ දූෂණ චෝදනා ඇයට මෙන්ම ඇගේ පවුලේ සාමාජිකයන්ට ද එරෙහිව එල්ල වුණා.
එහෙමනම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply