හරි ලීක් වුනා! ඉතින් ඊට පස්සේ!?

ඇත්තටම මේ දවස් වල හැමෝගේම කථාබහට ලක්වුණු කාරණයක් වුනේ ලීක් වෙච්ච වීඩියෝ එක. නෑ, ජනාධිපති තුමා ජාතිය අමතන ටේප් එක නෙවෙයි, අර සෙක්ස් ටේප් එක. දැන් ඇත්තටම එතනදී මොකද්ද වෙලා තියෙන්නේ? දෙන්නා තමන්ගේ ආතල් එකට සෙක්ස් කරන ගමන් වීඩියෝ කළා. හරි, ඒක ප්‍රශ්නයක් කියන්න බැහැ. මොකද එහෙම ෆැන්ටසි ඕනේ තරම් තියෙනවා. ඊලඟට ඒක යාලුවෙක්ට ෆෝන් එක දීපු වෙලාවේ යාලුවා ලීක් කලා. ආන්න ප්‍රශ්නේ. සෙක්ස් ටේප් හැදුවට වැඩක් නෑ. ඒක මිනිස්සු අතර බෙදාහැරීමේ හරි වෙනත් වාණිජ පරමාර්ථයකින් හරි හදපු එකක් නෙවෙයි නම්, ඒක ආරක්ෂා කරන විදිය ගැනත් මනුස්සයෙක් උපරිම දැනුවත් වෙන්න ඕන. එතනින් එහාට කතන්දරේ දන්නවනේ. ලංකාවේ හැමෝම ලීක් වෙච්ච සෙක්ස් ටේප් එක බැලුවා. ෆේස්බුක් පේජ් කාරයෝ එහෙමත් ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා. වාසනාවට දවස් දෙකතුනක් යනකොට මිනිස්සුන්ට කථා කරන්න වෙනත් මාතෘකාවක් ලැබුනා!

හරි. දැන් අපි කතා කරන්න යන්නේ වෙනම දෙයක්. දැන් යම් විදියකින් තමන්ගේ පුද්ගලික සතුට වෙනුවෙන් හදපු සෙක්ස් ටේප් එකක් ලීක් වුනා කියමු. ඊලඟට මොකද්ද කරන්න ඕන සහ නොකරන්න ඕන?

 

1. හැම දේම මෙතනින් ඉවර වෙලා නෑ!

මෙන්න පළමුවෙනි සහ වැදගත්ම කාරණාව. සෙක්ස් ටේප් එකක් ලීක් වුනා කියන්නේ තමන්ගේ මුළු ජීවිතේම විනාස වුනා කියන එක නෙවෙයි. අතිශයින්ම ලැජ්ජා බයට හැදිච්ච කෙනෙක්ට වුනත් දැනෙන්න පුළුවන් මෙතනින් එහාට මම කොහොමද ජීවත් වෙන්නේ කියලා. ආන්න ඒකට උත්තර තියෙනවා. අන්න ඒ නිසා එතනින් එහාට ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය මත ජීවිතේ කෙළවර කර ගන්න තීන්දුව කවදාවත් ගන්න එපා කියන එක තමයි පළමුවෙනි කාරණාව. හරි, සෙක්ස් ටේප් එකක් ලීක් වෙන එක ප්‍රශ්නයක් තමයි. ඒත් ඊට වඩා අතිශයින්ම දරුණු ප්‍රශ්න ලෝකේ තියෙනවා කියන එක මතක තියාගන්න. තමන්ගේ ජීවිතේ අනික් හැමදේකටම වඩා, ලෝක ලැජ්ජාවටත් වඩා අතිශයින්ම වටිනවා කියන එක මතක තියාගන්න.

 

2. නීතිමය ආධාර

සමහර වෙලාවට ඔය සෙක්ස් ටේප් ලීක් වෙන්නේ එක්කෙනෙක්ගේ අනුදැනුම ඇතුව නෙවෙයි. ගොඩක් වෙලාවට මේ සෙක්ස් ටේප් ලීක් වීම සිද්ධ වෙන්නේ කොල්ලෝ අතින්. එතකොට කෙල්ලෙක් සමහර වෙලාවට එහෙම සෙක්ස් ටේප් එකක් තියෙනවා කියලා නොදැන හිටියා වෙන්නත් පුළුවන්. කොල්ලා ගැන විශ්වාසය තියලා ඒකට විරුද්ධත්වයක් නොදැක්වුවා වෙන්නත් පුළුවන්. ඒ දෙකෙන් කෝක වුනත්, යම් කිසි ද්වේෂ සහගත අරමුණකින් කෙනෙක් තමන්ගේ සෙක්ස් ටේප් එකක් හෝ නිරුවත් ඡායාරූප හරි ලීක් ක​ළොත්, අනිවාර්‍යයෙන්ම ඊලඟට යන්න ඕන තැන පොලිසිය කියන එක මතක තියාගන්න. මේ වගේ මොහොතකදී ඇත්තටම පොලිසිය සහ වෙනත් නීති ආරක්ෂක අංශ අපිට උදවු කරනවා කියන එකත් මතක තියාගන්න. විශේෂයෙන්ම ඔය බ්ලැක්මේල් කිරීමකදී, කප්පම් ගැනීමකදී එහෙම අපි කලින්ම පොලිසිය දැනුවත් කරලා තියන එක වටිනවා.

 

3. කප්පම් වලට අහු නොවෙන්න

දැන් අපි උඩින් කියපු විදියට මේ සෙක්ස් ටේප් හරි ෆොටෝස් හරි ලීක් කරන්නේ හෝ ලීක් කරනවා කියලා තර්ජනය කරන්නේ කප්පම් ගැනීමේ වුවමනාවෙන් කියමු. මතක තියාගන්න, මේ වගේ දේවල් අනන්තවත් මේ ලංකාව ඇතුලේ සිද්ධ වෙලත් තියෙනවා, ඉදිරියටත් වෙන්න පුළුවන්. මෙතනදී කප්පම් විදියට ඉල්ලන්නේ මුදල් වෙන්නත් පුළුවන්. ලිංගික කප්පම් වෙන්නත් පුළුවන්. වෙනත් ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ආන්න ඒ වගේ වෙලාවට ගොඩක් අය තෝරගන්නේ කාටවත් නොකියා වැඩේ ගොඩින් බේරාගැනීම. ඒ කියන්නේ කප්පම්කාරයා ඉල්ලන ඕන දෙයක් දීලා ශේප් කරගන්න උත්සාහ කිරීම. හැබැයි මොකද්ද තියෙන විශ්වාසය, කප්පම්කාරයාට ඕන දේ දුන්නට පස්සෙත් ඌ හෝ ඒකි තව තවත් කප්පම් නොඉල්ලයි කියලා. එහෙම නැතිනම් කප්පමත් අරගෙන කොහොමත් සෙක්ස් ටේප් එක ලීක් නොකරයි කියලා. ආන්න ඒ නිසා කරුණාකරලා, ඒ වගේ අවස්ථාවකදී වහාම නීති ආධාර පතන්න. මේ වගේ ප්‍රශ්නයක් අපිට වඩා හොඳට විසඳන්න නීතියට පුළුවන්.

 

4. අයින් කරන්න පුළුවන් එව්වා අයින් කරවන්න

දැන් ඔය සෙක්ස් ටේප් එහෙම ලීක් වුනාට පස්සේ එව්වා එක්කෝ රැඳෙන්නේ එක එක මිනිස්සුන්ගේ ෆෝන් වල, කම්පියුටර් වල. හැබැයි එහෙම තියෙන එව්වා ඉතාම වැඩි ප්‍රමාණයක් සදාකල් තියෙන්නේ නෑ. මිනිස්සු ඔව්වා බලලා ඇති වුනහම මකලා දානවා. ඒත් ඔය සෙක්ස් සයිට් වලට එහෙමත් ඔව්වා යනවනේ. ආන්න ඒවා දීර්ඝ කාලයක් තිස්සේ අන්තර්ජාලයේ එතකොට තියෙනවා. ආන්න ඒකට කරන්න පුළුවන් දෙයක් තමයි, එහෙම ජනප්‍රිය සෙක්ස් වෙබ් සයිට් එකක තමන්ගේ ලීක් වුණු සෙක්ස් ටේප් එක හරි ෆොටෝස් හරි තියෙනවා නම්, ඒ වෙබ් සයිට් එකට ඊමේල් එකක් යවන එක. ඒකෙන් අපිට ඉල්ලා සිටින්න පුළුවන් කරුණාකරලා ඒක වෙබ් අඩවියෙන් අයින් කරන්න කියලා. මේවගේ ඉල්ලීමකට බොහෝමයක් වෙලාවට ඒ ඒ වෙබ් අඩවි වලින් යහපත් ප්‍රතිචාර දක්වලා, වහාම ඒ අන්තර්ගතයන් අයින් කරනවා.

 

5. සෝෂල් මීඩියා ටික දවසකට එපා

තමන්ගේ සෙක්ස් ටේප් එකක් හෝ ෆොටෝස් හෝ ලීක් වුණාට පස්සේ ගොඩක් වෙලාවට සිද්ධ වෙන්න පුළුවන් දෙයක් තමයි, නොයෙකුත් මිනිස්සු මේකේ ඉන්නේ කවුද කින්ද මන්ද කියලා හොයන එක. ඒකට බොහොම පහසුවක් වෙනවා තමන්ගේ ඔක්කොම විස්තර සෝෂල් මීඩියා වල තියෙනවා නම්. අන්න ඒ නිසා මෙහෙම සිදුවීමක් වුණු වහාම සෝෂල් මීඩියා වලින් ටික කාලෙකට ඈත් වෙන්න. තමන්ගේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් වගේ සෝෂල් මීඩියා එකවුන්ට්ස් ටික කාලෙකට ඩිඇක්ටිවේට් කරන්න. පුළුවන් තරම් අඩු අවධානයක් යොමු වෙන විදියට තමන්ගේ ඩිජිටල් විස්තර අවම කරලා තියන්න.

 

6. අධිෂ්ඨානයෙන් අනාගතය ගැන හිතන්න

මෙන්න මේකත් ඉතාම වැදගත්. හරි, ප්‍රශ්නයක් සිද්ධ වුනා. දැන් ඒ ප්‍රශ්නය අපි අනාගතයට ආශීර්වාදයක් කරගන්න ඕන. විශේෂයෙන්ම තමන්ට ජීවත් වෙන එක එපා නොවෙන්න නම්, තමන්ගේ අනාගතය ගැන දැන් පැහැදිලි දැක්මක් තියෙන එක වටිනවා. මෙච්චර කාලෙකට ජීවිතේට සැලසුමක් තිබුණේ නැතිනම් දැන් සැලසුමක් හදාගන්න. ජීවිතේ ජයගන්නවා කියන අධිෂ්ඨානය ඇති කරගන්න. මෙතන ඇත්තටම තව කාරණයක් තියෙනවා. අපේ සෙක්ස් ටේප් එකක් මුලු ලෝකෙම දැක්කත්, අපි ලෝකේ ඉහළම තැනකට නැග්ගහම තවදුරටත් සෙක්ස් ටේප් එකෙන් අපිව ලෝකේ මනින්නේ නෑ. 

 

7. දෙමාපිය, නෑදෑ හිතවතුන්ගේ සහාය

අපිට මේ වගේ ප්‍රශ්නයක් කවදාවත් තනිවම මුහුණ දීලා විසඳගන්න බැහැ. එහෙම පුළුවන් වෙන්නේ අතිශයින්ම ශක්තිමත් මනුස්සයෙක්‍ට විතරයි. ඒ නිසා මේ මොහොතේ තමන්ට හයියක් වෙන්න ඉන්න කිසිම කෙනෙක්ව අත අරින්න එපා. සමහර වෙලාවට මේ වගේ මොහොතක දෙමාපියන්, නෑදෑයන් බොහොම කලබල වෙලා හැසිරෙන්න පුළුවන්. ඒත් ඒ අය කවදාවත් මේ වගේ ප්‍රශ්නයක් වෙනුවෙන් තමන්ගේ දරුවෙක්ව නැති කරගන්න සූදානම් වෙන්නේ නැහැ. බැරි වෙලාවත් කවුරුහරි අම්මෙක් හෝ තාත්තෙක් හෝ පවුලේ කෙනෙක් ඔබව මේ මොහොතේ අත අරිනවා නම්, ප්‍රශ්නයක් නැහැ. අපිව අත අරින්නේ නැති එක යාලුවෙක් හරි මේ ලෝකේ ඉඳීවි. ආන්න ඒ තමන්ව අත අරින්නේ නැති අය එක්ක ඉස්සරහට යන්න.

 

8. උපදේශන සහාය

මේ වගේ සිදුවීමකින් ඇත්තටම ජීවිතේකට එල්ල වෙන්න පුළුවන් සුලුපටු කම්පනයක් නෙවෙයි. ඒ නිසා මේ වගේ අවස්ථාවකදී වෘත්තිමය කෙනෙක්ගේ සහාය ලබාගන්න එක ලැජ්ජා වෙන්න කාරණයකුත් නෙවෙයි. අන්න ඒ නිසා මෙහෙම සිදුවීමක් වුනාට පස්සේ, තමන්ටත්, තමන්ගේ දෙමාපියන් ඇතුලු සමීපතමයන්ටත් උපදේශන සහාය ලබාගන්න පුළුවන්. විශේෂයෙන්ම ජීවිතේ ආයෙමත් ට්‍රැක් එකට දාගන්න ඒ උපදේශන සහාය ඉතාම ප්‍රයෝජනවත්. ඒ නිසා ඔය මනසුව පියස, ශ්‍රී ලංකා සුමිත්‍රයෝ, ජාතික මානසික සෞඛ්‍යායතනය වගේ තැනකින් හෝ ඕනෑම රෝහලක මනෝ වෛද්‍යවරයෙක්ව, මනෝ උපදේශකවරයෙක්ව සම්බන්ධ කරගන්න එකත් වටිනවා.

 

දැන් තේරෙනවා ඇති නේද තමන්ගේ සෙක්ස් ටේප් එකක් හරි ඡායාරූප හරි ලීක් වෙනවා කියන්නේ තමන්ගේ ජීවිතේ අවසානයි කියන එක නොවෙන බව. මිනිස්සුන්ට දේවල් අමතක වෙලා යනවා. ඒත් අපි ජීවිතේ එක පාරක් වැටුණු එක පාඩමකට අරගෙන ආයෙමත් නැගිටලා, හිතේ ශක්තියෙන් අපේ ගමන යන්න ඕන. එච්චරයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *