අපූරු ජීවිත ගෙවපු ඉන්දියාවේ මහරාජාවරුන්ගේ විස්මිත ලෝකය

අද වෙන කොට තනි රටක් බවට පත් ඉන්දියාව පත් වෙලා තිබ්බත් අතීතයේ දී ඉන්දියාව කියන්නේ විවිධ ප්‍රමාණයේ රාජධානියේ රාශියක එකතුවක්. ඉංග්‍රීසීන්ට යටත් වීමෙන් පසුව පවා මෙම රාජධානිවලට යම්තාක් දුරකට ස්වාධීන බවක් හිමිවුණා. කොහොම වුණත් 1947 ඉන්දියාවට නිදහස ලැබීමේදී මේ සියලු රාජධානිවල වගේම ඒවා පාලනය කළ මහරාජාවරුන්ගේ බලය අහෝසි වීම සිදු වුණා. කොහොම වුණත් අද දවස දක්වාම මේ මහාරාජාවරු විවිධ අයුරෙන් ඉන්දියාවේ විවිධ ක්ෂේත්‍රවලට මැදිහත් වෙනවා.

අපි අද කතා කරන්න යන්නේ ලෝකය විස්මයට පත් කරන්න සමත් වෙච්ච මහරාජාවරු කීපදෙනෙක් පිළිබඳව.

ඉන්දියාවේ මහ රාජාවරුන්ගේ විස්මයජන​ක මන්දිර ගැන මෙතනින් කියවන්න!

 

1. භූපින්දර් සිංග්, පටියාලාහී මහාරාජා

එවකට ලෝකයේ සිටි ධනවත්ම පුද්ගලයෙකු වූ මේ මහරාජා වරයා අතිශයින්ම ප්‍රදර්ශන කාමයට නැඹුරු වූ පුද්ගලයෙක්. ඔහු තමන් වෙනුවෙන් දියමන්ති වලින් සැදූ විශාල ආභරණ ප්‍රමාණයක් යුරෝපයේ ප්‍රධාන පෙළේ ආභරණ නිෂ්පාදනකරුවන් ලවා නිර්මාණය කරගත්තා. ඒ අතරින් ඩොලර් මිලියන 25ක්  පමණ වටිනා දියමන්ති මාලයක් ප්‍රධාන තැනක් ගන්නවා. වසරකට වතාවක් ඔහු එම ආභරණයෙන් පමණක් සැරසී සිය ජනතාව ඉදිරියට ගියා. වඩාත් පැහැදිලිව කිව්වොත් ඒ ආභරණය ඇරුණම ඔහු සිටියේ නිරුවතින්. තම සුවිශාල ලිංගේන්ද්‍රය ඍජු කරගනිමින් රටට සහ ජනතාවට සෞභාග්‍යය පතමින් අභිචාරයක ඔහු යෙදුණා.

 

2. මීර් ඔස්මාන් අලි ඛාන් සිද්දික්, හයිද්‍රාබාද් නිසාම්වරයා

ඉන්දියාවේ පැවැති සුවිශාලතම රාජ්‍යයක් වුණු හයිද්‍රාබාදය අවසාන මොහොතේ දී ඉන්දියාවට එක් කරගැනීමට යුද්ධයක් කිරීමට පවා සිදු වුණා. ඒ එහි රාජ්‍ය පාලකයා වූ නිසාම්වරයා දැක්වූ විරෝධය නිසා. ඔහුගේ බැංකු ගිණුම්වල පමණක් ඩොලර් බිලියන දෙකක් පැවතුණු අතර එය එවකට ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයෙන් සියයට දෙකක්. ඔහු විසින් ලෝකයේ පස්වැනියට විශාලතම දියමන්තිය ලෙස සැලකෙන ජාකොබ් දියමන්තිය මිල දී ගත් අතර එය ඔහු භාවිතා කළේ තම ලියන මේසය මත ඇති කඩදාසි සුළඟේ යෑම වැළැක්වීම සඳහා පමණයි.

 

3. ජග්දීත් සිං, කපුර්තලාහී මහාරාජාවරයා

ඉතා කුඩා කාලයේදීම කපුර්තලාහි රජු බවට පත් වූ ජග්දීත් සිං යුරෝපයට විශේෂයෙන්ම ප්‍රංශයට දැඩි ලෙස ප්‍රිය කළා. ඇතැයි වාර්තාවලට අනුව ඔහු තමන් පෙර භවයකදී ප්‍රංශ රජ කෙනෙක් විදිහට සිටි බව විශ්වාස කළේ යැයි කියැවෙනවා. ඔහුගේ මේ ප්‍රංශ ප්‍රේමය කොයි තරම් දුර දුර දිග ගියා ද කියලා කියතහොත් කපුර්තලාහි බොහෝ ගොඩනැගිලි ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පය අනුව ගොඩනැගීමට කටයුතු කළා. ඒ අතරින් වර්සායි රජ මාළිගාව අනුකරණය කරමින් කරපු ජග්දීත් මාලිගාව සුවිශේෂ වෙනවා.

 

4. හතරවන සිද්දික් මුහම්මඩ් ඛාන් අබ්බාසි, බහවාල්පූර්හි නවාබ්වරයා

වර්තමාන පාකිස්ථානයට අයත් බහවාල්පූර්හි නවාබ්වරයා පිළිබඳව අදටත් කතා බහට ලක් වන්නේ ඔහු භාවිතා කළ ඇඳ නිසයි. පැරීසියේ නිර්මාණය කළ ඔහුගේ රාජකීය සයනය සඳහා රිදී කිලෝ ග්‍රෑම් දෙසිය හතළිහක් පමණ භාවිතා වී තිබුණා. මෙම සයනයේ කොන් සතරෙහි ජීවමාන ප්‍රමාණයේ අවාන් අතින් ගත් නිරුවත් ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉතාලි සහ ග්‍රීක කාන්තාවන් හතර දෙනෙකුගේ තඹ ප්‍රතිමා තබා තිබුණා. සයනයට පැමිණි මහරාජා වරයා බොත්තමක් එබූ සැනින් මියුරු සංගීතයකට චලනය වුණු මේ ප්‍රතිමාවන් නවාබවරයාට පවන් සැලුවා.

 

5. දුලීප් සිං

කුඩා කාලයේදීම ඉංග්‍රීසීන් විසින් එංගලන්තයට පැහැරගෙන ගිය මහරාජා දුලීප් සිංව යුරෝපීයකරණය කිරීමට ඉංග්‍රීසී ආණ්ඩුව දැඩි උත්සාහයක් ගත්තා. කාලයක් ඔවුන්ගේ බල කිරීමට ක්‍රිස්තියානි ආගම් වැළඳ ගත් මහරාජාවරයා පසුව නැවතත් තමන්ට උපතින් උරුම වුණු සීක් දහම වැළඳ ගත්තා. මේ කාලය තුළදී දුලීප් සිං රජ පවුලෙන් කොල්ලකාගත් කොහිනූර් දියමන්තිය ඇතුළු ධනයට හෝ වන්දි ගෙවීමක් ලෙස වික්ටෝරියා රැජන ඔහුව බ්‍රිතාන්‍යයේ ආදිපාදවරයෙකු ලෙස පත් කිරීමට තීරණය කළා. නමුත් මහාරාජා දුලීප් සිං මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ තමන් කොතරම් දුරට යුරෝපීයකරණයට ලක් වුණත් සීක්වරුන්ගේ රජු බව අමතක නොකරමින්.

 

6. තුන්වෙනි සයාජිරාවෝ ගයක්වාඩ්, බැරෝඩාවේ මහාරාජාවරයා

බැරෝඩාවේ මහරාජාවරයා පිරිමි දරුවෙකු නොමැතිව මිය යෑම නිසා රජ පවුලේ දුර ඥාතියෙක් වුණු සයාජිරාවෝ හට කුඩා කාලයේදීම බැරෝඩාවේ රජකම හිමි වුණා. මේ කුඩා දරුවාව තමන් වෙත නතු කර ගැනීමට සිතූ ඉංග්‍රීසින් ඔහුට ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දුන්නා. නමුත් සිදු වූයේ නොසිතූ දෙයක්. එම අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු බැරෝඩාව ඉන්දියාවේ වේගයෙන් සංවර්ධනය වුණු  ප්‍රාන්තයක් බවට පත්කළා. එමෙන්ම හැකි සෑම අවස්ථාවකදීම බ්‍රිතාන්‍යයන් හාස්‍යට ලක් කිරීමට ඔහු කටයුතු කළා. පස් වැනි ජෝර්ජ් රජු ඉන්දියාවේ අධිරාජයා ලෙස  අභිෂේක ගැන්වීමට දිල්ලියේ පැවති උත්සවය සඳහා සහභාගී වූ ඔහු ජෝර්ජ් රජුට හිස නමා ආචාර කිරීම ප්‍රතික්ෂේප කළ බවට කතාවක් ඉන්දියානුවන් අතර ප්‍රචාරයට පත් වුණා. නමුත් ඇත්ත වශයෙන්ම ඔහු රජුට ආචාර කරත් එය නිසි පරිදි කළේ නැහැ. රජුට පිටුපා යෑමේ දී ඔහු මහ හඬින් සිනාසෙමින් ගමන් කළ බවත් කියවෙනවා.

 

7. ඉන්දිරා, කූච් බිහාර්හි මහාරාණි

අවසාන වශයෙන් අපි හිතුවා ඉන්දියාව වගේම යුරෝපයත් විස්මයෙන් විස්මයට පත් කරන්න සමත් වෙච්ච මහාරාණි කෙනෙක් ගැන ඔබට විස්තර කියන්න. ඇගේ නම ඉන්දිරා. ඇගේ විනෝදාංශය වුණේ විවිධ වර්ගයේ සපත්තු එකතු කිරීම. ඒ අතරින් යුරෝපයේ ආභරණ විශේෂඥයන් ලවා දියමන්ති ඇල්ලූ සපත්තු ඇය වෙනුවෙන් ම සකසා ගැනීමට ඇය කටයුතු කළා. අතිශයින්ම සුන්දර කාන්තාවක් වුණු ඇය සිගරට් බීමට ඇබ්බැහි වී තිබුණා. නමුත් ඇය ඒ සඳහා භාවිතා කළේ තමන් වෙනුවෙන් විශේෂයෙන් නිෂ්පාදනය කරපු අසාමාන්‍ය දිගකින් යුතු සිගරට්.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.