ඩිජිටල් යුගයේ ප්‍රොෆෙෂනල් ඕනම කෙනෙක්ට ඉගෙන ගත්තාට අපතේ යන්නෙ නැති මාතෘකා කීපයක්!

දැන් කාලේ ප්‍රොෆෙෂනල්ස්ලා කිව්වහම ඇත්තටම ටිකක් පුළුල් පරාසයක විහිදෙනවනේ. ඒ කියන්නේ ඩොක්ටර් කෙනෙක් වුණත්, ලෝයර් කෙනෙක් වුණත් ප්‍රොෆෙෂනල් කෙනෙක් තමයි. හැබැයි අපි පොදුවේ ගමු අද කාලේ ඩිජිටල් ලෝකෙත් එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න සිද්ධ වෙන, ඩිජිටල් ලෝකේ තමන්ගේ ප්‍රොෆෙෂන් එකට සෘජුවම සම්බන්ධ වෙන අයව. මෙන්න මේ අය ගත්තත් ඉතින් සෑහෙන්න පරාසයක ක්ෂේත්‍රයන් සහ වෘත්තීන් විහිදෙන අය ඉන්නවා. පර්යේෂකයින්ගේ ඉඳන් ඩිජිටල් අලෙවිකරුවන් දක්වා ඕනම කෙනෙක්ව ගන්න පුලුවන්. හැබැයි මේ ඕනම කෙනෙක්ට, තමන් විශේෂීකරණය වෙන වෘත්තියට අදාළ ඉගැනුම් සහ අත්දැකීම් හැරෙන්න තමන්ගේ වෘත්තිය ඇතුළේදී වැදගත් වෙන දේවල් තියෙනවා. ඒ දේවල් කොයි මොහොතකදී හරි ප්‍රායෝගිකව භාවිතා වෙන්න පුලුවන්. ආන්න ඒ නිසා, හොඳ වෘත්තිකයෙක් නම්, තමන්ගේ විශේෂීකරණ වෘත්තියට අදාළ ඉගෙනගැනීම් වගේම, අපි මේ කියන ඉගෙනුම් මාතෘකා ඔස්සේත් ප්‍රාමාණික සහ ගුණාත්මක දැනුමක් ලබාගෙන තියෙන එක කිසිසේත්ම පාඩුවක් වෙන්නෙ නෑ. අපි බලමු මේ කියන මාතෘකා කීපයක් ගැන.

 

01. කන්ටෙන්ට් මාකටින්

මොනවද හැබෑටම කන්ටෙන්ට් මාකටින් කියන්නේ? නිර්වචනේ හැටියටම ගත්තොත් කන්ටෙන්ට් මාකටින් කියන්නේ, යම් කිසි පැහැදිලිවම නිර්වචනය කරගත්තු පුද්ගල කොටසකට නිරන්තරයෙන් අදාළ සහ වැදගත් අන්තර්ගතයන් නිර්මාණය කරලා ලබාදීමට තියෙන උපායමාර්ගික ප්‍රවේශය ලු. එතකොට, සාම්ප්‍රදායික අලෙවිකරණයට වඩා මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? ඒ තමයි අදාළ පාඨක, ශ්‍රාවක, ප්‍රේක්ෂක කණ්ඩායමට ඒ කන්ටෙන්ට් එක අදාළ වීම. ඒ නිසා යම් කිසි බ්‍රෑන්ඩ් එකක් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට හොඳ අදහසක් ලබාදෙන එකට වගේම, බ්‍රෑන්ඩ් නිර්මාණයට පවා කන්ටෙන්ට් මාකටින් අදාළයි. එතකොට, ඕනම දෙයකට මාකටින් වැදගත් වෙන මේ කාලේ ඕනම වෘත්තිකයෙක් කන්ටෙන්ට් මාකටින් වල ඒ බී සී දැනගෙන ඉන්න එක සෑහෙන්න ප්‍රයෝජනවත්!

 

02. HTML

මොනවද මේ HTML කියන්නේ? සරලවම කිව්වොත්, Hypertext Markup Language නැතිනම් HTML කියන්නේ, ලෝක ව්‍යාප්ත ජාලයේ තියෙන වෙබ් පිටු, වෙබ් සයිට් වල ෆොන්ට් එකේ, පාටේ, ටෙක්ස්ට් එකේ, ග්‍රැෆික් එකේ, වීඩියෝ එකේ ඉඳන් හැම දෙයක්ම ලියන්න පුලුවන් සම්මත සිස්ටම් එකකට. එතකොට මොකක්ද HTML ඉගෙන ගන්න එකේ තියෙන වැදගත්කම? සාමාන්‍යයෙන් අද කාලේ ඕනම දේකදී වෙබ් අඩවි, වෙබ් ලෑන්ඩින්ග් පේජස් අවශ්‍ය වෙනවා. එතකොට අපිට සෘජුවම වෘත්තියට ඔය කෝඩින් කිරීම නැතිනම් ක්‍රමලේඛ ලිවීම අදාළ නැතිනම්, ඒ ඒ කෝඩින් ලැන්ග්වේජස් ඉගෙන ගන්න එක අවශ්‍ය වෙන්නෙ නැතිවෙන්න පුලුවන්. හැබැයී අපිට මොනයම් මොහොතක හෝ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා නම්, HTML වල මූලික දැනුම හෝ ලබාගෙන තියෙන එක සෑහෙන්න ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.

 

03. එක්සෙල්

මේක නම් ඉතින් දැන් කාලේ වැඩ කරන ගොඩක් ප්‍රොෆෙෂනල්ස්ලට ඕනෑම කරන දෙයක්. ඇත්තටම මයික්‍රොසොෆ්ට් එක්සෙල් කියන්නේ, මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජ් එකත් එක්ක එන ස්ප්‍රෙඩ්ෂීට් ඇප් එකනේ. හැබැයි ඕකට විකල්පත් තියෙනවා. ඒකට හොඳ උදාහරණයක් ගූග්ල් ෂීට්ස්. දැන් ඔය ඇප් එකක් ගැන විශේෂයෙන්ම දැනුමක් අවශ්‍ය වෙන්නෙ ඇයි? ඒකට හේතුවක් තියෙනවා. දත්ත විශාල ප්‍රමාණයන්ගෙන් ගොනු කරලා ඇනලයිස් කරන එකේ ඉඳන්, විශාල දත්ත ප්‍රමාණයන් පිළිවෙලකට ගොනු කරලා තියන එක දක්වා, එතකොට ඒ දත්ත වලට අදාළ මූලික ගණිත කර්ම – ඒ කියන්නේ මැයි මාසේ ගෙවපු ඕටී සම්පූර්ණ ප්‍රමාණය දැනගැනීම වගේ සරල දේවල් වල ඉඳන් සංකීර්ණ ගණිත කර්ම දක්වා- පාවිච්චි කරලා කරන ගණනය කිරීම් වල ඉඳන්, සංකීර්ණ සංඛ්‍යාන්‍ය විශ්ලේෂණයන් දක්වා වැඩ කටයුතු වලට මේ එක්සෙල් සහ ඒ විදියේ ස්ප්‍රෙඩ්ෂීට් ඇප්ස් ඉතාම ප්‍රයෝජනවත්. ඒ නිසා, ඕනම වෘත්තිකයෙක්ට ඉගෙන ගන්න කියලා ඉහළින්ම නිර්දේශ කරන ඉගෙනුම් මාතෘකාවක් තමයි මේ.

 

04. ඩිසයිනින්ග්

ග්‍රැෆික් ඩිසයිනින්ග් කියනකොට ගොඩක් අයට මතක් වෙන්නේ ෆොටෝෂොප්. හැබැයි අපි මේ කියන්නේ සංකීර්ණ ඩිසයිනින්ග් සම්බන්ධයෙන් නෙවෙයි. වඩා සරල, ඩිජිටල් අවකාශයක වැඩ කරන වෘත්තිකයින්ට එදිනෙදා අවශ්‍ය වෙන්න පුලුවන් ඩිසයිනින්ග් ගැන. උදාහරණයක් විදියට ගත්තොත්, කම්පැණි එකේ ෆේස්බුක් පේජ් එකට පෝස්ට් එකක් හරි පෝස්ටර් එකක් හරි නිර්මාණය කරන්න අවශ්‍ය වෙන්න පුලුවන්. එතකොට ඒ වගේ වැඩකට කම්පැණි එක ඇතුළෙම ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා ඉන්නත් පුලුවන්. හැබැයි තමන්ටත් යම් තාක් දුරකට මේ ඩිජිටල් කන්ටෙන්ට් වලට අවශ්‍ය ඩිසයිනින්ග් දැනුමක් තියෙනවා නම්, හදිසියකට පෝස්ට් එකක් එහෙම හදාගන්න පුලුවන් නම් ඒක ඉතාම වැදගත්. මෙතනදී ෆොටෝෂොට්, ඉලස්ට්‍රේටර් වගේ ඇප් එකක මූලිකාංග දැනගෙන ඉන්න එක හොඳයි. හැබැයි දැන් තියෙනවා ඔය වගේ වැඩ ඔන්ලයින්ම නිර්මාණය කරගන්න පුලුවන් බොහොම බලසම්පන්න මෙවලම්. Canva කියන්නේ ඒකට උදාහරණයක්. ආන්න ඒවෑයින් වැඩ කරන හැටි පොඩ්ඩක් ඉගෙනගෙන ඉන්න එක හොඳයි. මෙතනදී අපි පෝස්ට් එකක්, පෝස්ටර් එකක්, හෙඩර් ඉමේජ් එකක් වගේ දේවල ඉඳලා නිර්මාණශීලී ඉන්වොයිස් එකක් දක්වා දේවල් නිර්මාණය කරන එක ගැන කතා කරනවා.

 

05. වීඩියෝ

ඇත්තටම උඩ කියපු කාරණේට එකතු වෙන්න අවශ්‍ය තවත් දෙයක් තමයි මේ. දැන් කාලේ ඩිජිටල් මාකටින් ප්ලැට්ෆොම් ගත්තහම, ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්, ටික් ටොක් වගේ හැම ප්ලැට්ෆෝම් එකකම තියෙන ජනප්‍රිය දෙයක් තමයි වීඩියෝස් කියන්නේ. ඒ කියන්නේ නිකම් ඉස්සර අපි හිතන ඩොකියුමන්ට්‍රි ටයිප් වීඩියෝ නැතිනම් වෙළඳ දැන්වීම් වගේ විශාල ප්‍රොඩක්ෂන් නෙවෙයි. හැබැයි ඩිජිටල් මාකටින් අන්තර්ගතයන් හෝ විවිධ විස්තර තොරතුරු ඉදිරිපත් කරන්න පුලුවන් කෙටි වීඩියෝ නිර්මාණ. මේවා අතිශයින්ම සංකීර්ණ නැහැ. ඒ නිසාම, හරි ටූල්ස්, ඒ ටූල්ස් පාවිච්චි කරන දැනුම සහ නිර්මාණශීලීත්වය තියෙනවා නම් ඉගෙන ගන්න අමාරුත් නෑ. මේ විදියේ වීඩියෝ නිර්මාණය කරන්න පුලුවන් ඔන්ලයින් ටූල්ස් එහෙමත් තියෙනවා. Canva ඊට එක උදාහරණයක් උඩින් කිව්වා වගේම. තවත් ටූල්ස් තියෙනවා.

 

06. සෝෂල් මීඩියා 101

අපි දැන් ඉන්නේ ඩිජිටල් ලෝකෙක කියන එක හරි. හැබැයි අපි ඉන්නේ සෝෂල් මීඩියා යුගයක කියන එක වඩාත් නිවැරදියි කියලා අපිට කියන්න පුලුවන්. අද වෙනකොට පුද්ගලික භාවිතයේ ඉඳලා සන්නාම ප්‍රවර්ධනය, අලෙවිකරණය වගේ කරුණු කාරණා දක්වාත්, එතනින් ගියහම දේශපාලනයේ ඉඳලා මහජන ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම දක්වාත්, තව අපේ එදිනෙදා ජීවිතේට අදාළ වෙන දහසකුත් දේවල් දක්වාත් සෝෂල් මීඩියා වැදගත් වෙනවා. හැබැයි සෝෂල් මීඩියා වල ප්‍රොෆෙෂනල් කෙනෙක් විදියට වැඩ කරනකොට, නිකම්ම පෝස්ට් එකක් දාන්නේ කොහොමද, පේජ් එකක් රන් කරන්නේ කොහොමද කියලා දැනගෙන හිටියට මදි. ඊට වඩා එහාට ගිහින් කොහොමද කන්ටෙන්ට් මාකටින් ස්ට්‍රැටජීස් වලට අනුව හරි අවධානයට ලක් වෙන විදියේ පෝස්ට් දාන්නේ, එතකොට කොහොමද අලෙවි හෝ ප්‍රවර්ධන කටයුතු සඳහා සෝෂල් මීඩියා වලින් උපරිම ප්‍රයෝජනය ගන්නේ, කොහොමද ඒ ඒ සෝෂල් මීඩියා වල තියෙන ඇනලිටික්ස් පරිහරණය කරන්නේ වගේ දේවල් ගැන ඉගෙන ගන්න එක වැදගත්.

 

07. බිස්නස් රයිටින්ග්

කෙනෙක් අහයි ලියන්න මොනවදෝයි අලුතෙන් අමුතුවෙන් ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඇත්තටම අද කාලේ ප්‍රොෆෙෂනල්ස්ලගෙන් ලියන්න කියන්න හරියට දන්නේ කීයෙන් කී දෙනෙක්ද කියලා දන්නවා නං එහෙම අහන අය පුදුම වෙයි. ඇත්තටම මේ ලියනවා කියන එක වෘත්තිය ජීවිතයේදී අවශ්‍ය වෙන විවිධ දේවල් ලිවීමේ ඉඳලා, සන්නිවේදනය දක්වා වැදගත් වෙනවා. පැහැදිලි නැති නම් උදාහරණ කීපෙකින් ඒ ගැන කතා කරමු. බිස්නස් රයිටින්ග් කියන්නේ වෙනම කුසලතාවයක්. ඒක වෙනම ඉගෙන ගන්න ඕන. එහෙම ඉගෙන ගත්තොත් පුලුවන් සේල්ස් පිච් එකක ඉඳලා බිස්නස් රිපෝට් එකක් දක්වා දේවල් ලියන්න. එතකොට ප්‍රොෆෙෂනල් මනුස්සයෙක්ට විවිධ වාර්තා එහෙම ලියන්න වෙනවා. එතකොට සන්නිවේදනය ගත්තහම, ඊමේල් එකක් හරියට යවන තැන ඉඳලා තමන්ගේ ලිවීමේ කුසලතාවය අවශ්‍ය වෙනවා. ආන්න ඒ දේවල් නිසා තමයි මේ ලිවීම කියන එක- හරියටම කිව්වොත් බිස්නස් රයිටින්ග් වැදගත් වෙන්නේ. මේක ඉතින් තමන් ඉන්න ක්ෂේත්‍රය අනුව රිවීව් රයිටින්ග්, රිපෝර්ට් රයිටින්ග්, රිසර්ච් පේපර් රයිටින්ග් වගේ විවිධ පරාසයන්ට විහිදෙනවා කියන එකත් මතක තියාගත්තොත්, ඊට අදාළ පාඨමාලා එහෙම ඔන්ලයින් හොයනකොට වැදගත් වෙයි.

දැන් ඊළඟ ප්‍රශ්නේ. දැන් ව්‍යාපාර කළමනාකරණය කියන ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ට MBA දක්වාම විහිදෙන පාඨමාලා, උපාධි අනං මනං තියෙනවා. ඒවා ලබාදෙන පිළිගත් ආයතන තියෙනවා. එතකොට, එතනින් එහාට අපි උඩ කියලා තියෙන දේවල් ඉගෙන ගන්නේ කොහොමද? අවශ්‍ය නම්, ඒ සම්බන්ධ පිළිගත් පාඨමාලාත් ඉදිරිපත් කරන ආයතන තියෙනවා. එහෙම නැතිනම්, අපි මීට කලිනුත් කතා කරලා තියෙන ඔන්ලයින් එඩියුකේෂන් ප්ලැට්ෆෝම් ඔස්සේත් ඒ අදාළ පාඨමාලා අනුගමනය කරලා ඊට අදාළ දැනුම ලබාගන්න පුලුවන්. තමන්ගේ කැපවීම සහ වුවමනාව තමයි ඕන කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *