රසම රස ක්‍රම 7කට මට්න් උයාගන්න අපෙන් රෙසිපි

වැඩි දෙනෙක් නොකෑවට කන කෙනා රහ දන්න රස කෑමක්නෙ මට්න් කියන්නෙ. රස වැඩි කරලා විවිධ රස ගොන්නකින් මට්න් හදාගන්න හැටි අද අපි කියලා දෙනවා. ඔය මට්න් ලෝලියෝ ටික මේ පැත්තට ආව නම්…

 

1. මට්න් ටික්කා කෙබාබ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මට්න් ග්‍රෑම් 500ක් (තරමක කෑලි කපාගත් )
  2. ලෙමන් යුෂ ටිකක්
  3. ඉඟුරු, සුදුළූණු පේස්ට් තේ හැඳි 1
  4. කහකුඩු තේ හැඳි 1/2
  5. මිරිස්කුඩු තේ හැඳි 1
  6. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
  7. ලුණු පින්ච් එකක් 
  8. ගම්මිරිස්කුඩු තේ හැඳි 1
  9. ගරම් මසාලා කුඩු තේ හැඳි 1
  10. යෝගට් කෝප්ප 1/2

 

  • මට්න් වලට ලෙමන් යුෂ දාලා ටිකක් වෙලා තියලා ඒකට ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගන්න.
  • ඊලඟට කහ, මිරිස්කුඩු, කොත්තමල්ලි කුඩු, ගම්මිරිස් කුඩු, ගරම් මසාලා දාලා කලවම් කරන ගමන් ලුණු ඇති පදම දාගෙන හොඳට කලවම් කරගන්න.
  • දැන් වතුර කෝප්ප කාලක් එකතු කරලා ප්‍රෙශර් කුකර් එකේ හොඳට තම්බගන්න. මෙලෙක් වෙනකල් තැම්බුනාම ග්‍රේවි ගතිය නැති වෙනකල් හොඳට හින්දගන්න.
  • මේකට යෝගට් කෝප්ප 1/2ක් එකතු කරන්න. වේලෙන්නම හිඳුනම නිවෙන්න තියලා කෙබාබ් ස්ටික් වල ගහගන්න.
  • දැන් පෑන් එකකට බටර් ටිකක් දාලා රත් වෙනකොට මට්න් කෙබාබ් හරව හරවා ෆ්‍රයි කරගන්න. 

 

2. මට්න් පෙපර් ෆ්‍රයි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තරමක කෑලි කපාගත් මට්න් ග්‍රෑම් 500ක්
  2. ලියාගත් ළූණු ගෙඩි 2
  3. ඉඟුරු, සුදුළූණු පේස්ට් තේ හැඳි 1
  4. පලාගත් අමුමිරිස් කරල් 3-4
  5. කපාගත් තක්කාලි ගෙඩි 2
  6. කහකුඩු තේ හැඳි 1/2
  7. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/4
  8. ගම්මිරිස්කුඩු තේ හැඳි 1 1/2
  9. ගරම් මසාලා තේ හැඳි 1
  10. කරපිංචා
  11. ලුණු

 

  • පෑන් එකකට තෙල් ටිකක් දාලා රත් වෙනකොට ලියාගත් ළූණු ටික එකතු කරන්න.
  • ළූණු රන්වන් පාට වෙනකල් බැදගන්න. දැන් මේකට චොප්කරගත් ඉඟුරු සුදුළූණු පේස්ට් එක හා දෙකට පලාගත් අමුමිරිස් සහ පොඩියට කපාගත් තක්කාලි ටික එකතු කරන්න.
  • හැඳි ගාන ගමන් කහකුඩු, කොත්තමල්ලි කුඩු, ගරම් මසාලා, ගම්මිරිස්කුඩු එකතු කරලා කලවම් කරගන්න.
  • දැන් මේකට මට්න් ටික එකතු කරන්න. ලුණු ඇති පදම දාගන්න. දැන් හොඳට කලවම් කරලා විනාඩි 10ක් වගේ අඩු ගින්නෙ පිසගන්න.
  • විටින් විට කලවම් කරල වතුර අඬු කෝප්පයක් එකතු කරල පියනකින් වහල හිඳෙනකම් අඩු ගින්දරේ  පිසගන්න. අවසානයට එවලේම කුඩු කරගත් ගම්මිරිස් කුඩු ටිකක් උඩින් ඉහගන්න.

 

3. මට්න් ස්ටූ

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ගම්මිරිස් ඇට මේස හැන්දක්
  2. කුරුඳු පොතු කෑල්ලක්
  3. එනසාල්, කරාබු නැටි කිහිපයක්
  4. පොඩි කෑලි කපාගත් මට්න් ග්‍රෑම් 500ක්
  5. කෑලි කපාගත් අල ගෙඩි 1
  6. රවුම් කපාගත් ළූණු ගෙඩි 2
  7. කපාගත් මාළු මිරිස් කරල් 4
  8. චොප්කරගත් ඉඟුරු ටිකක්
  9. කරපිංචා
  10. ලුණු
  11. විනාකිරි තේ හැඳි 1 1/2
  12. පොල් දියකිරි කෝප්ප 3/4
  13. මිටිකිරි කෝප්ප 3/4

 

  • ගම්මිරිස් ඇට, එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු එකට දාලා ග්‍රයින්ඩ් කරගන්න.
  • දැන් ප්‍රෙශර් කුකර් එකට මට්න් ටික දාලා ඒකට කපාගත් අල, ළූණු දාගන්න.
  • ඒකටම අමුමිරිස්, ඉඟුරු, ග්‍රයින්ඩ් කරගත් පව්ඩර් එක, ලුණු, විනාකිරි, දියකිරි මේ ඔක්කොම එකතු කරලා විනාඩි 15ක් වගේ පිසගන්න. 
  • විනාඩි 15කින් පියන ඇරලා ඒකට මිටිකිරි ටික එකතු කරන්න. දැන් කිරි ටික පොඩ්ඩක් හිඳෙනකම් අඩු ගින්දරේ පිසගන්න.

 

4. මට්න් ස්ටේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පෙති කපාගත හැකි මට්න් කෑල්ලක්
  2. කෑලිමිරිස් තේ හැඳි 2
  3. කොත්තමල්ලි කුඩු තේ හැඳි 2
  4. ගම්මිරිස්කුඩු තේ හැඳි 1
  5. ලුණු 
  6. ඔලිව්තෙල් මේස හැඳි චොප්කරගත් සුදුළූණු
  7. දෙහි යුෂ ටිකක්
  8. කපාගත් ළූණු

 

  • කෑලිමිරිස්, කොත්තමල්ලි කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු,ඔලිව්තෙල්, දෙහි යුෂ, සුදුළූණු එකතු කර මිශ්‍ර කරගන්න.
  • දැන් මට්න් කෑල්ල අරගෙන ගෑරප්පුවකින් තැනින් තැනට ඇනගෙන මේ මිශ්‍රණයේ දවටලා පැය 12ක් විතර ෆ්‍රිජ් එකේ දාලා සීසන් වෙන්න තියන්න.
  • පැය 12කට පස්සෙ පෑන් ෆ්‍රයි හෝ ග්‍රිල් කරගෙන පෙති කපා පිළිගන්වන්න.

 

 

5. මට්න් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මට්න් ග්‍රෑම් 500ක්
  2. බී ළූණු කොටුවට කපාගෙන
  3. කපාගත් ලීක්ස් කඳ කොටස 
  4. ලොකුවට කපාගත් මාළු මිරිස් 
  5. කපාගත් තක්කලි ගෙඩියක්
  6. ඉඟුරු කෑල්ලක්
  7. සුදුළූණු බික් 3-4
  8. එනසාල්
  9. කුරුඳු පොත්තක්
  10. කරාබු නැටි
  11. කහකුඩු තේ හැඳි 1/2
  12. මිරිස්කුඩු තේ හැඳි 1
  13. ගම්මිරිස්කුඩු තේ හැඳි 1
  14. වයිට් වයින් කප් එකක්
  15. කෑලි මිරිස් සැර අනුව
  16. තක්කලි සෝස් කප් 1/4

 

 

  • මස් ටික තරමක කෑලි කපාගන්න. ඉඟුරු, සුදුළූණු, කරාබු නැටි, එනසාල් එකට කොටාගන්න.
  • පෑන් එකකට තෙල් ටිකක් දාලා මට්න් ටික දාලා ඉඟුරු සුදුළූණු පේස්ට් එක, මිරිස්කුඩු, කහකුඩු, ලුණු, ගම්මිරිස් කුඩු එකතු කරලා කලවම් කරගන්න.
  • වයින් එකතු කරලා මස් ටික තැම්බෙන්න තව වතුර කෝප්ප කාලක් එකතු කරලා අඩු ගින්දරේ වහලා තියන්න.
  • මස් තැම්බිලා වතුර ගතිය හොඳටම හිඳුනට පස්සෙ තක්කලි සෝස්, ළූණු, මාළුමිරිස්, තක්කලි, ලීක්ස් එකතු කරල කලවම් කරගෙන ලිප නිවාගන්න.

 

6. මට්න් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කටු සහිත මට්න් ග්‍රෑම් 500ක්
  2. සුදුළූණු බික් 6-7
  3. සූදුරු තේ හැඳි 1/4
  4. කොත්තමල්ලි ඇට තේ හැඳි 1/4
  5. ගම්මිරිස් රස අනුව
  6. ලුණු
  7. කොටුවට කපාගත් අර්තාපල් ගෙඩි 2
  8. කොටුවට කපාගත් කැරට් අල 2
  9. කපාගත් ගෝවා ටිකක්
  10. කපාගත් ලීක්ස් ගහක්

 

  • මුලින්ම සූදුරු, කොත්තමල්ලි කුඩු කරගන්න.
  • බටර් ටිකක් රත් වෙන්න තියල ඒකට මස් ටික, සුදුළූණු, ගම්මිරිස් හා ලුණු දාලා තෙම්පරාදු කරගෙන වතුර කෝප්ප දෙකාමාරක්  දාගන්න. ඒකට කුඩු කරගත්ත සූදුරු, කොත්තමල්ලි දාගන්න. 
  • මස් හොඳට තැම්බුනාම ඒකට අල, කැරට් එකතු කරන්න. අල හොඳට තැම්බීගෙන එනකොට ලීක්ස් සහ ගෝවා එකතු කරන්න. 
  • ඒ ටික තැම්බිලා උතුරගෙන එනකොට ලිපෙන් බාගන්න. රස අනුව තව ලුණු හා ගම්මිරිස් කුඩු දාගන්න.

 

7. බෙල්පෙපර් මට්න් ෆ්‍රයි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මට්න් ග්‍රෑම් 500
  2. ගම්මිරිස්කුඩු
  3. ලුණු
  4. විනාකිරි කෝප්ප 1/2
  5. කොටුවට කපාගත් බෙල්පෙපර් පාට දෙකකින්
  6. මිරිස්කුඩු තේ හැඳි 1
  7. කහකුඩු තේ හැඳි 1
  8. චොප්කරගත් ළූණු ගෙඩි 1

 

  • මුලින්ම මට්න් ටික ලුණු ටිකක්, කහ ටිකක් හා විනාකිරි එකතු කරලා තම්බගන්න.
  • දැන් මට්න් ටික පොඩි කෑලි වලට කපාගන්න.
  • පෑන් එකක් අරන් ඒකට බටර් දාලා රත් වෙනකොට චොප්කරගත් ළූණු ටික දාන්න.
  • ඊලඟට මිරිස්කුඩු, කහකුඩු හා සැර අනුව ගම්මිරිස් කුඩු දාලා මට්න් ටිකත් දාලා ෆ්‍රයි කරන්න.
  • අන්තිමට බෙල් පෙපර් දාලා කලවම් කරගන්න. ලුණු රස අනුව දාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *