මුළුතැන්ගෙයි උපකරණ වැඩි කලක් පාවිච්චි කරන්න නම් මේ ටිප්ස් වැදගත් වේවි

Kitchen Hacks

ගෙදරක දේවාලයක් වගේ සලකන්න ඕනි තැනක් නොවැ කුස්සිය කියන්නේ. ඔතන දේව භාණ්ඩ වගේ තියෙන්නේ ඉතින් එක එක කුස්සි ආම්පන්න. මේවායෙන් නිසි වැඩය ගත්තාට පස්සේ ආයෙත් පාවිච්චි කරන තෙක් ගෘහණියකට මේ ගැන වගේ වගක් නැති වෙන්න පුළුවන්. ඔහොම කාලය ටිකක් ගත වුණාට පස්සේ පිහි මොට්ට වෙලා යනවා, ඉලෙක්ට්‍රික් දේවල් කැඩෙනවා වගේ වළක්වන්න බැරි දේවල් සිද්ධ වෙනවා. මෙන්න මේ නිසයි උපකරණ වල කල්පැවැත්ම ගැන පොඩි අයිඩියා පාරක් තියෙන්න ඕනි.

 

1. පිහි

Kitchen Hacks

Source – jamieoliver.com

චිත්‍ර අඳින කෙනාට පින්සල් සෙට් එක වගේ උයන පිහන කෙනෙක්ට වටින්නෙ පිහි ටික. පිහි වල කල්පැවැත්ම හරියාකාරව තියා ගන්න නම් ඔය මස් කපන්නයි එළවළු කපන්නයි පාන් කපන්නයි හැම එකටම එකම පිහිය භාවිතා කරන්න එපා. ඒ ඒ වැඩේට අදාළ විදියට නිමවපු පිහි වර්ග තියෙනව. මේ මොන පිහිය පාවිච්චි කලත් භාවිතයෙන් පස්සෙ සෝදල පිහිදල ගබඩා කරන්න. මල නොබැඳෙන වර්ගයේ (Stainless) පිහි තෝරාගැනීම නුවණට හුරුයි. ඔය කොහොමින් හරි ගත්තු පිහිය හරිහැටි භාවිත නොකළොත් ඉක්මනටම කුස්සියට ආයුබෝවන් කියනවා. පිහියක මුවාතේ කල්පැවැත්මට භාවිතා කරන කටින්ග් බෝඩ් එකත් බලපානව. වීදුරු, ඝණ ලී සහ ඝණ ප්ලාස්ටික් තමා පිහියක පැවැත්මට හුඟක්ම සුදුසු බෝඩ් වර්ග. තුනී ප්ලාස්ටික් සහ පදම් නොවුන ලී කටින්ග් බෝඩ් පිහි වල පැවැත්මට ඒ තරම් සුභ නෑ.

 

2. බ්ලෙන්ඩර්

Kitchen Hacks

Source – amaricanaclassics.com

අලුතින් එන බ්ලෙන්ඩර් පාවිච්චි කරලා බොහොම ටික කාලෙකින් හිර වෙනවා කියලා ගෘහණියෝ මැසිවිලි නගනවා. ඔය මිරිස් ගලෙන් දාපු වැඩ ඔක්කොම බ්ලෙන්ඩරෙන් ග්‍රයින්ඩරෙන් කරගන්න එක ලේසියි කියල හිතුවට ඒක එහෙමම නෑ. අපේ නෝනල බැදගන්න පහේ ටික උණු උණුවෙන්ම ග්‍රයින්ඩරේට තොග පිටින් පුරෝලා ග්‍රයින්ඩ් කරන්න ගිහින් මෝටරේ පුච්ච ගන්නව. එහෙමත් නැත්නම් උඳු, හාල් වගේ බර දේවල් එක පාර ලොකු ප්‍රමාණ බ්ලෙන්ඩ් කරගන්න හදනව. මැෂින් එකකට උනත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනෙ. මේ නිසා හැම විටම බ්ලෙන්ඩරේකට දරාගන්න පුළුවන් ප්‍රමාණ ගන්න. ඒ වගේම දුම් දාන රස්නෙන් දේවල් බ්ලෙන්ඩ් කරන එකෙන් මෝටරයට වගේම බ්ලෙන්ඩර් එක රබර් බුශ් එකට හානි වෙන්න පුළුවන්. එක පාරම ඔන් කරගෙන එක දිගට බ්ලෙන්ඩ් කරන්නත් එපා. නතර කරමින් තප්පර කීපයක විවේකයක් ඇතුව බ්ලෙන්ඩ් කරන්න.

ඔය බ්ලෙන්ඩර් එකේ සහ ග්‍රයින්ඩර් එකේ තලය සහිත කොටස වෙනම ගලවල පිරිසිදු කරන්න භාවිතයෙන් පස්සෙ. තල හරි හැටි පිරිසිදු නොවුනම ඉක්මණින් මුවහත නැති වෙනව. ඒවගේම බ්ලෙන්ඩර් එකේ දැති ටික කැරකෙන එක නතර උනාමයි ඒ කප් එක ඉවත් කරගන්න ඕනෙ. බ්ලේඩ් කැරකිලා නතර වෙන්න කලින් බ්ලෙන්ඩර් කප් එක ඉවත් කරන එකෙන් යටින් ඇති රබර් බුශ් කැඩිල යනව.

සමහර බ්ලෙන්ඩර් වල වේගය පාලනය කරන්න පුළුවන්. බ්ලෙන්ඩරයක් ක්‍රියාත්මක කරපු ගමන් ඉතා දැඩි වේගයකින් මිශ්‍ර වෙන්න ඉඩ නොදෙන්න ඕනි. ඒ වගේම බ්ලෙන්ඩරය ක්‍රියා විරහිත කිරීමේ දී දඩාස් ගාලා එක පාරට වහලා දාන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් වේගය අඩු කරන්න ඕනි.

 

3. අවන්

Kitchen Hacks

Source – digitaltrends.com

විවිධ ප්‍රමාණ වල අවන් තියෙනව. ස්ටව් ටොප් එකත් එක්ක එන ලොකු අවන් සහ පැන්ට්‍රිය උඩින් තියන්න පුළුවන් කුඩා ප්‍රමාණයේ අවන් එකක් තමයි සාමාන්‍ය ගෘහස්ථ භාවිතයේ තියෙන්නෙ. මෙයිනුත් සමහරක් ගෑස් අවන් තව සමහරක් ඉලෙක්ට්‍රික් අවන්. මොන අවන් එක උනත් නිසි විදියට පාවිච්චි නොකලොත් වැඩි කාලයක් භාවිතා කරන්න වෙන්නෙ නෑ.

අවන් එක රත් වෙන දෙයක් නිසා මේ අවට තාපය මුදා හරින්න තරමක ඉඩක් අවශ්‍යයි. නිසි ලෙස තාපය පිට නොවීම අවන් එකේ ක්‍රියාකාරිත්වයට අහිතකරයි. සාමාන්‍යයෙන් අවන් එකට මොන දෙයක් බේක් වෙන්න දැම්මත් බොහෝ රෙසිපි වල ප්‍රීහීට් කරන්න කියල තියෙනව. මේ නිසා අවන් එකක් ප්‍රී හීට් කරන්න කලින් අවන් එක ඇතුල මතක ඇතුව පරික්ෂා කරන්න. සමහරු අවන් නිතර පාවිච්චි නොකරන නිසා ඕවා ඇතුළෙ නොයෙක් බඩු තැන්පත් කරනව. ප්ලාස්ටික් හෝ රෙදි හෝ වීදුරු වගේ දෙයක් තිබ්බොත් අනතුරක් උනත් වෙන්න පුළුවන්.

තරමක ලොකු අවන් එකක් නම් ඒක භාවිතා කරන වෙලාවට වෙනත් ඒ වාගේම වැඩි විද්‍යුතයක් වැයවෙන උපකරණ භාවිතා නොකරනවා නම් වඩාත් සුදුසුයි.

අවන් එකක් පිරිසිදු කිරීම අනිවාර්යයි. බොහෝ දෙනෙක් අවන් එකක් ගෙනා දා පටන් කැඩිලා භාවිතයෙන් ඉවත් කරනකම් පිරිසිදු කිරීමක් ගැන හිතන්නෙ නෑ. අවන් එකක් නිසියාකාරව බේකින් සෝඩා සහ විනාකිරි භාවිතයෙන් පහසුවෙන් පිරිසිදු කරන හැටි මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්. අවන් එක දොරේ ඇති රබර් ගැස්කට් එක පළුදු වෙලා නම් ඇද වෙලා නම් එය සකසා ගන්න මතක තබාගන්න. ඒක අවන් එකට වගේම ඔබේ විදුලි බිලටත් හානිකරයි.

ඇමෝනියා භාවිතයෙන් අවන් එක පිරිසිදු කරගන්නත් පුළුවන්. ඉස්සෙල්ලා ම 200°cට අවන් එක රත් කරලා සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත කරනවා. ඊට පස්සේ භාජනයක ඇමෝනියා තියලා ඒක අවන් එක මැදින් තියනවා. එයට පහළින් උණු වතුර පිරුණ භාජනයක් තියලා රැයක් පුරාවට තියනවා. එච්චරයි.

 

4. ශීතකරණ

Kitchen Hacks

Source – cnet.com

ශීතකරණය කියන නමේම හීතල ගැන සඳහනක් තියෙනවා. ඉතින් ඕක රස්නේ තැනක තිබ්බාම ශීතකරණයේ තියෙන මෝටරේට හානි වෙලා ආයු කාලය සීමා කරගන්නවා. ඉතින් හිරු එළියට කෙළින් ම ආවරණය නොවෙන, අවන් එකට නැත්නම් ගෑස් කුකර් එකට ළඟින් නොවෙයි ඈතින් ශීතකරණය ස්ථාපිත කරන්න ඕනි. ශීතකරණයේ උඩ තට්ටුවත් බඩු ගබඩාවක් කරන්න අපි පුරුදු වෙලා ඉන්නවා. නමුත් එතනින් තමයි මෝටරෙන් ඉපදෙන තාපය පිටවෙන්නේ. එතන බඩු තියලා හරස් කරාම හරි යයි ද ඉතින්? ශීතකරණයක කල් පැවැත්මට එහි පිරිසිදුකම අනිවාර්යෙන් බලපානව. දොරෙහි ඇති රබර් ගැස්කට් වල පුස් සහ කුණු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පෙඟවූ රෙද්දකින් පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්. අළුත් තාලෙ ශීතකරණ වල නැති උනාට පරණ ශීතකරණ වල පිටුපස ජලය එකතු වෙන පොඩි ප්ලාස්ටික් බඳුනක් තියෙනව. මේ බඳුන නිතරම බලල පිරිල ඉතිරිලා යන්න කලින් පිරිසිදු කරගන්න. ඒ වගේම පරණ ශීතකරණ වල ශීතකරණය පිටිපස්සේ තියෙනවා දඟර වගයක්. මේවා පිරිසිදු නොකෙරුවොත් ශීත කිරීමේ කාර්‍යය හරියට සිද්ධ වෙන්නේ නෑ. ශීතකරණයක බඩු තැන්පත් කරන්න ඕනත් එයින් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන විදියට. කල්පැවැත්මට ඒකත් බලපානවා. ඒ ගැන අපි ඉදිරියේදි වෙනම කතා කරමුකො.

 

5. රයිස් කුකර්

Kitchen Hacks

Source – youtube.com

හාල් ටික සෝදලා කරලා දාන රයිස් කුකර් එක ඇතුළේ තියෙන හැළියේ බඳ ඉස්සෙල්ලාම වතුරින් නෑවිලා නම් ඒක පිහදාගෙන ඉන්න ඕනි. එහෙම නොකළොත් ඒකෙන් බතට වගේ ම කුකර් එකේ උෂ්ණත්වය සම්බන්ධයෙනුත් ප්‍රශ්න ඇති කරවනවා. බත් එක උණුවෙන් තියාගන්නවා නම් ඒක පැය 5කට 6කට සීමා කරගන්න. රයිස් කුකර් එකේ බත් නැතුව එළවළු තම්බාගන්න, සුප් හදාගන්න යනවා නම් ඒ සම්බන්ධයෙන් ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනි. ඕනෑවට වඩා අමුද්‍රව්‍ය එකතු වුණාම එතන දී රයිස් කුකර් එකේ සැකැස්මෙන් පිට දෙයක් නිසා වැඩේ අවුල් යන්න පුළුවන්. ඇතුළ පිරිසිදු කරනකොට පුළුවන් තරම් මුදු ස්පොන්ජ් කෑල්ලක් තෝරාගන්න. අඩියේ තියෙන දේවල් හූරලා හෝදන්න යන්න එපා. පෙඟෙන්න ඉඩ තියලා හෝදලා දාන්න.

 

6. පාන් ටෝස්ටර්

Kitchen Hacks

Source – aldeals.com

ශීතකරණය වගේම මේකත් රස්නයෙන් ඈත් කරලා තියාගන්න ඕනි. ගිනිගන්න වුණත් පුළුවන් මොකක් හරි අක්‍රමවත් දෙයක් වුණොත්. භාවිත කරන්නේ නැති අවස්ථාවල ගලවලා තියන එක තමයි නුවණට හුරු. පාන් කුඩු වගේ දේවල් රැඳිලා තියෙනවා. මේවා සම්පූර්ණයෙන්ම පිරිසිදු කළ යුතුයි. සමහර ටෝස්ටර් වල මේ ටෝස්ට් කරන කොටස ට්‍රේ එකක් වගේ ඉවත් කරගන්න පුළුවන්. පාන් කුඩු වැටුණ ට්‍රේ එක එළියට අරගෙන සබන්වලින් උණුවතුරින් සෝදාගත යුතුයි. පිටත පිරිසිදු කරනකොට ටෝස්ටරේ සම්පූර්ණයෙන් ම කූල් එකේ තියෙන්න ඕනි. මුදු ස්පොන්ජ් කැබැල්ලක් අරන් පිරිසිදු කරන්න පුළුවන්.

 

7. නන්ස්ටික් භාජන

Kitchen Hacks

Source – slatemagazine.com

කාර්ය බහුලකමත් එක්ක මැටි වලන් ටික ටික ඈත් වෙලා නන්ස්ටික්, සෙරමික් භාජන වැඩියෙන් අපේ ගෙවල් වලට ඇවිත්. මේ නන්ස්ටික් භාජන වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ කියන එක හුඟක් ගෘහණියන්ගෙ මැසිවිල්ලක්. මේ නන්ස්ටික් භාජන කල් තියාගන්න නම් ඒව නිසි විදියට භාවිතා කරන්න ඕනෙ. ස්ටීල් වූල් වලින් සෝදන්නෙ නැතුව මේව පිරිසිදු කරන්න ස්පොන්ජ් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම ආහාර පිසීමේදී නන්ස්ටික් වලටම එන ප්ලාස්ටික් හැඳි භාවිතා කිරීමෙන් සීරීම් වළක්ව ගන්න පුළුවන්. යමක් පිසීමෙන් පසු නන්ස්ටික් භාජනය හොඳින් නිවෙන්න තියල රස්නය නැති උනාට පස්සෙ සෝදගන්න. බිත්තරයක් බැද්ද ගමන් ඒ රස්නෙ පිටින්ම ටැප් එකට අල්ලල කලබලේට සෝදන එකෙන් නන්ස්ටික් භාජන වල නන්ස්ටික් ගතිය නැති වෙලා යනව.

මීට අමතරව ඔබ දන්නා ටිප්ස් අප එක්ක බෙදාගන්න

 
Cover Image Source – ikea.com / costco.com / mands.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *