ලෝකයේ වැඩියෙන්ම අලෙවිවූ පොත්

අපි කවුරුත් පොත් ගැන වැඩිපුර කතා කරන මාසයක් තමයි ඉස්සරහට එන්නේ. ඒ සැප්තැම්බර් මාසය. ඒ ඇයි කියන එක නොදන්නා කෙනෙක් ඉන්න විදිහක් නෑ. සාහිත්‍ය මාසය සැප්තැම්බර් වල යෙදිලා තියෙන එක තමයි ඒ මාසයේ තියෙන විශේෂත්වය. ඉතින් මේ පාර සාහිත්‍ය මාසයේ ලොකුම සහ වැදගත්ම විශේෂාංගය වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පවත්වන්න පුළුවන් වෙයිද නැද්ද  කියන එක ගැන සැකයක් තමයි දැනට තියෙන්නෙ. කොහොම උනත් පොත් ගැන උනන්දු, පොත් කියවන්න කැමති හැම කෙනෙක්ටම වැදගත් වෙන මාතෘකාවක් තමයි අපි මේ කතා කරන්න උත්සහ කරන්නෙ. ඒ තමයි ලෝකයේ වැඩිම පිටපත් ගණනක් අලෙවි වුණ පොත් ගැන හොයල බලන එක. ඉතින් මේ අපි සඳහන් කරන පොත් අතරට සිංහල පොත් පත් නම් එකතු වෙලා නෑ. මොකද අපේ සිංහල පොත් පත් වැඩිය ජාත්‍යන්තරයට ගිහිල්ල නෑ. ඒකට ඉතින් සිංහල කියවන අය ජාත්‍යන්තරයේ ඉන්න එපාය. කොහොම උනත් මේ ගැන කියවද්දී ඔයාලට පුදුම හිතෙයි මෙච්චර පිටපත් ගණනක් එක පොතකින් විකිණිලා තියෙනවද කියල. ඔන්න එහෙනම් පටන් ගමු වැඩේ. 

 

1. “Don Quixote” – මිගුවෙල් දි සර්වැන්තේස්

ලෝකයේ වඩාම ජනප්‍රිය නවකතාව විදිහට සඳහන් කරන්න පුළුවන් නවකතාව තමයි Don Quixote කියන්නෙ. මේ නවකතාව නිකුත් වෙන්නෙ වර්ෂ 1605 වගේ ඉතාම ඈත කාලෙක. එදා ඉඳල අද වෙනකන් මේ නවකතාවේ පිටපත් මිලියන 500ක් පමණ අලෙවි වෙලා තියෙනවා කියල සඳහන් වෙනවා. ඒක තමයි නවකතාවක වැඩිම පිටපත් ගණනක් අලෙවි වුණ වාර්තාවට හිමිකම් කියන්නෙ. මේ නවකතාව ලියල තියෙන්නෙ Miguel de Cervantes කියන ස්පාඤ්ඤ ජාතික ලේඛකයා විසින්. මේ නවකතාව භාෂා ගණනාවකට පරිවර්තනය කරලා තියෙනවා. විශේෂයෙන් “රදල හිත” නමින් සිංහල භාෂාවටත් පරිවර්තනය කෙරිලා තියෙනවා. නොපසුබට උත්සාහය ගැන කියවෙන මේ නවකතාව හැමෝම කියවන්න ඕන නවකතාවක්.

 

2. “A Tale of Two Cities” – චාර්ල්ස් ඩිකන්ස්

මේ නවකතාව ලෝක ප්‍රසිද්ධ නවකතාවක්. විශේෂයෙන් මේ කතාවෙන් කියවෙන්නෙ ප්‍රංශ විප්ලවය පිළිබඳව. ප්‍රංශ විප්ලවය කාලේදී ලන්ඩන් නුවර සහ පැරිස් නුවර අතර සිදු වුණු සිදුවීම් පෙළක් ගැන. කිසිම වැරද්දක් නොකර අවුරුදු ගණනාවක් දේශපාලන සිරකරුවෙක් විදිහට ජිවිතේ ගත කරපු කෙනෙක් ගැන. ඉතින් මේ කතාව චිත්‍රපටයකටත් පාදක වෙලා තියෙනවා A Tale of Two Cities කියන නමින්ම. මේ පොත ලියවෙන්නේ 1859 චාර්ල්ස් ඩිකන්ස් කියන ලේඛකයා අතින්. මේ වනකොට මෙහි පිටපත් මිලියන 200කට අධික ප්‍රමාණයක් අලෙවි වී තිබෙනවා. ඇත්තටම කියවල බලන්න වටිනා නවකතාවක්. නවකතාව කියවන්න බැරි නම් චිත්‍රපටියවත් බලන එක වටිනවා.

 

3. “The Fellowship of the Ring”- J.R.R. ටෝකියන්

ලෝක ප්‍රසිද්ධ The Lord of the Rings කතාවේ පලවෙනි කොටස තමයි මේ.  J. R. R. Tolkien කියන ලේඛකයා විසින් 1954 දී තමයි මේ කතාව එළිදැක්වුවේ. මේක fantasy ගණයට අයිති වෙන නවකතාවක්. අද වෙද්දී ලෝකය පුරා මේ පොතේ පිටපත් මිලියන 150ක් විතර විකිණිලා තියෙනවා. මහා බලසම්පන්න මුදුවක් පිළිබඳව තමයි මේ කතාව ලියවිලා තියෙන්නෙ. 

 

 

4. “Le Petit Prince” – ඇන්ටොයින් ඩි සේන්ට් එක්සුපෙරි

The Little Prince කියන තේරුම තමයි මේ පොතේ ඉංග්‍රීසි තේරුම වෙන්නෙ. දැනට භාෂා 300 කට පමණ පරිවර්තනය වෙලා තියෙන මේ පොත අද වෙද්දී පිටපත් මිලියන 140ක් පමණ විකිණිලා තියෙනවා ලෝකය පුරා. මේ කතාව ලියල තියෙන්නෙ Antoine de Saint-Exupéry කියන ප්‍රංශ ජාතික ලේඛකයා විසින් 1943 වගේ ඉතාම ඈත කාලෙක. විශ්වය පුරා සංචාරය කරපු තරුණ කුමාරයෙක් ගැන, ඔහුගේ හැඟීම් ගැන අපුරුවට ලියවුන කතාවක් විදිහට හඳුන්වන්න පුළුවන් මේක.

 

5. “The Hobbit” – J.R.R. ටෝකියන්

අපි කලින් කතා කරපු The Fellowship of the Ring කතාව ලියපු ලේඛකයා විසින්ම තමයි මේ නවකතාවත් ලියල තියෙන්නෙ. මේකත් fantasy කාණ්ඩයට අයිති වෙන ළමා නවකතාවක්. මේ කතාව එළිදක්වල තියෙන්නෙ 1937 සැප්තැම්බර් මාසයේදී. අද වෙද්දී ලෝකය පුරා පිටපත් මිලියන 150ක් පමණ අලෙවි වෙලා තියෙනවා. 

 

 

6. “Harry Potter and the Sorcerer’s Stone” – J.K. රෝලින්ග්

හැරී පොටර් කියන්නෙ බොහොම ජනප්‍රිය යොවුන් නවකතාවක්. මේක කතා මාලාවක් (Series) විදිහට ඉතාම ජනප්‍රියත්වයට පත් වුණා. 1997 දී  J. K. Rowling කියන ලේඛිකාව විසින් ලියපූ මේ නවකතාව අද වෙද්දී ලෝකය පුරා පිටපත් මිලියන 120ක් පමණ අලෙවි වෙලා තියෙනවා. විශේෂයෙන් මේ කතා මාලාව පාදක කරගෙන ඉතාම ජනප්‍රිය වුණු චිත්‍රපට මාලවකුත් තිරගත වුණා ‍.

 

 

7. “Scouting for Boys” – රොබට් බේඩන් පවල්

මේක ලෝකය පුරාම ඉන්න යොවුන් වියේ පසුවන අයගේ අත්පොතක් කියල කිව්වොත් වඩා නිවැරදියි. ලෝකයට බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දීපු ඒ වගේම බාලදක්ෂිකා ව්‍යාපාරය හඳුන්වදෙන්නත් මූලික වුණු  බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල් රොබර්ට් බේඩන් පවල් සාමිතුමා විසින් තමයි මේ අත්පොත ලියල ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ. 1908 වගේ ඈත කාලෙක ලියපු මේ පොත අදටත් ලෝකය පුරා බාලදක්ෂ ව්‍යාපාරයේ නිරත වෙන ලොකු කුඩා හැම කෙනෙක්ගෙම අත්පොතක් විදිහට භාවිතා කෙරෙනවා. අද වෙද්දී පිටපත් මිලියන 100 පසු කරමින් අලෙවි වෙලා තියෙන මේ පොත ලංකාවෙත් භාවිතා කෙරෙනවා.

 

එහෙනම් හැමෝටම ප්‍රීතිමත් සාහිත්‍ය මාසයක් වේවා!