රස්සාවල් කියන්නෙ මල් යහන් නෙමෙයි. කේලමෙන් ජීවත් වෙන ගොටු සීන් එකේ අයියලට නං රස්සාව කියන්නෙ ආතල් දෙයක් වෙන්න පුළුවන්. ඒත් දවසින් දවස අත්දැකීම් ගොඩගහගෙන නිශ්චිත අරමුණක් වෙනුවෙන් ආයතනයක් ඇතුළෙ තමුන්ගෙ රාජකාරි ඉෂ්ඨ කරන්නට හරියාකාරව කැපවෙච්ච කෙනෙකුට රස්සාවක් කියන්නෙ ඒ තරං සුන්දර දෙයක් නෙමෙයි. ඒ නිසා සිත්රිදීම් වගේ දේවල් උඩ තමන් නියැලෙමින් සිටින රැකියාවෙන් ඉවත් වෙන්නට තීරණය කරන පිරිස් බොහෝමයි. අපි මේ කියන්නෙ ඒ විදියට ඉවත් වෙන්නට කලින් ඔබ සිතිය යුතු දේවල් ගැනයි.
1. සිටීමේ වාසි

Image Source – penntoday.upenn.edu
මේ ආයතනයේ රැඳී සිටීමෙන් ඔබට ඇතිවිය හැකි වාසි ගැන සිතා බලන්න. තවත් කෙටි කලක් එම රැකියාවේ රැඳී සිටීමෙන් ඔබේ වැටුප ඉහළ යෑමට තිබූ අවස්ථා, ඔබේ තනතුර ඉහළ යෑම හරහා තවත් රැකියා අවස්ථා ඇතිවීමට තිබූ අවස්ථා, ඉදිරි ව්‍යාපෘති හරහා ඔබට හඳුනාගැනීමට හැකිව තිබූ නව සබඳතා වැනි දෑ සියල්ල පිළිබඳවම අස්වීමේ ලිපිය ලබාදෙන්නට මත්තෙන් ඔබ සිතිය යුතුය. ඒ අවස්ථා වැඩි කරගෙනම ඔබේ තීරණය ක්‍රියාත්මක කිරීම ඔබට වාසි සහගත වනු ඇත.
2. යෑමේ වාසි

Image Source – thestreet.com
තවත් කල් නොසිට මේ මොහොතේ ඉවත්ව යෑමේ වාසි සම්බන්ධයෙන්ද ඔබ සිතිය යුතුය. යම් මොහොතක ඔබ තවදුරටත් ඔබ ඉවත් වීමට බලාපොරොත්තු වන බව දන්වමින් රැඳී සිටීම ඔබට එරෙහි රළක් වී නැගෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේම ඔබ ලිඛිතව දැන්වීමට පෙර ඔබේ ඉල්ලා අස්වීමේ තීරණය සම්බන්ධව ආයතනය සහ ප්‍රධානීන් දැනගැනීමත් එතරම් සුබදායක නොවේවි. ඒ නිසාම ඔබේ තීරණය සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් ඔබ ගත යුතු අතර තීරණය නිශ්චය කිරීමට හෝ අනෙකෙකු හා පැවසීමට පෙර සියල්ල තනිව විමසා බැලීම වටී.
3. ඉදිරිය

Image Source – psychologies.co.uk
ඔබ ඔබේ ඉදිරිය සම්බන්ධයෙන් සිතිය යුතුය. උදාහරණයකට ඔබ කලක් සේවය කළ රැකියා ස්ථානය හැරදා යන විට ඔබට ඔබේ ඉදිරිය සම්බන්ධයෙන් යම් අවිනිශ්චිතතාවයක් ඇති වීමට ඉඩ තිබෙයි. එවන් අවිනිශ්චිතතාවයක් නොනැගෙන්නේ බොහෝවිට ඔබ නැවත සේවය කළා වූ රැකියා ස්ථානයටත් වඩා විශිෂ්ට ස්ථානයක සේවයට යනවානම් පමණකි. එහෙත් තමන්ගේ ව්‍යාපාරයක් හෝ ව්‍යවසායකත්ව අරමුණකින් ඉවත්ව යන විට තමන්ගේ ඉදිරිය සම්බන්ධයෙන් ඔබ නිවැරදි තීරණයක් ගත යුතු වෙයි. ඒ සම්බන්ධයෙන් ඔබට ලබා දිය හැකි හොඳම උපදෙස නම් ජලයේ ගැඹුර බලන්නට නම් එක් කකුලක් පමණක් ජලයේ ඔබන ලෙසයි.
4. මෙතන Vs. අතන

Image Source – rcsadvisor.com
ඔබ අලුතින් රැකියාවකට යද්දී ඔබට ඔබේ අනාගතය සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිත බවක් පැන නොනැගුනත්, එලෙසින් මිදී යන්නට පෙර ඔබ තෝරාගත් ස්ථානය සහ ඔබ වර්තමානයේ සේවය කරන ස්ථානය සම්බන්ධව ඔබේ මනසින්ම යම් සංසන්දනයක් සිදු කළ යුතුය. ඔබේ වැටුප, නිවාඩු, වැඩ රාජකාරි ප්‍රමාණය, සේවකයින්ගේ එකමුතුව, නව තනතුර, ප්‍රධානීන් මේ සියල්ල සම්බන්ධයෙන් රැකියාවකට අලුතින් යන විට සංසන්දනයක නියැලීම වටියි.
5. තමුන්ගෙ පිටට වරද?

Image Source – cnbc.com
ඒ වගේම ඔබ අස්වීමේ තීරණය ගත් විගස ඒ පිළිබඳ දැනුම් දෙන්නට පෙරාතුව තමන්ගේ පාර්ශවයට දොසක් නැගෙන්නට හැකි සෑම මාර්ගයක්ම අවහිර කළ යුතුය. ඔබ අවසන් නොකළ වැඩකටයුතු, ඔබෙන් පසු ඔබේ තනතුර භාරගන්නා තැනැත්තාට දැනුම්දිය යුතු වගකීම්, ඔබ ආයතනයෙන් භාරගත් භාණ්ඩ කිසිඳු අලාබහානියකින් තොරව නැවත ලබාදීම යනාදිය සිදුකළ යුතුය. ඒවා සැපිරීම හරහා ඔබ ආයතනය හැර ගියද ආයතනයට හිතෛෂී අයෙකු වග පසක් කරවනු ඇත.
6. බැකප්

Image Source – wikihow.com
බොහෝමයක් අය රැකියාව කියන සංකල්පයම එපා වෙලා රැකියාවකින් ඉවත් වෙන්නෙ තමුන්ගේ ව්‍යාපාරයක් හෝ යම් ආයෝජනයකින් කල් ගෙවන්න හිතාගෙන. එහෙම වෙලාවක අනිවාර්යෙන්ම ප්ලෑන් කරන්න ඕන දෙයක් තමයි බැකප් ආදායම් මාර්ගයක්. ඇත්තටම මේ විදියෙ බැකප් ආදායම් මාර්ගයක් නැතුව රැකියාවකින් එළියට බහින එක කිසිසේත්ම කරන්න හොඳ නැති දෙයක්. අන්න ඒ නිසා මොකක් හෝ ප්‍රශ්නයක් වුනත් තමුන්ට අර්බුදයකින් තොරව දිවි ගෙවාගන්න පුළුවන් ආදායමක් එන බැකප් ආදායම් මාර්ගයක් සෙට් කරගෙන ඉන්න එක හොඳයි.
7. ආයෙත් වරක්

Image Source – youtube.com
කිසිම තැනක තරහාකාරයො නැති මනුස්සයෙක් වෙන වගකීම තමුන් තුළම තියාගන්න. යම් ආයතනයකින් තමුන්ට සතුටුදායක විදියට සැළකුම් නොලැබුනානම්, රණ්ඩු කරගෙන ඉවත් නොවී, මිනිස්සු විදියට කතාබහ කරලා, සෘජුව කතා කරලා ඒ තැන්වලින් ඉවත්වෙන්න. අනාගතයේ ඔබ නැවත එම ආයතනයට පැමිණෙනවා නම් එය ඔබට අමතර වාසියක් වේවි. ඔබේ වර්තමාන බලාපොරොත්තු කුමක් වුවත් අනාගත කටයුතුවලදී වැඩි පිරිසක් සමග සුහදව සිටීම ඔබේ ඉදිරි කටයුතු වෙනුවෙන් සුබවාදී හේතුවක් වේවි.
Cover Image Source – annaselundberg.com/inc.com/bondwilliams.co.uk
Leave a Reply