චීනය ලෝකයේ ආර්ථික බලවතා වීමට බලපෑ කාරණා

අද වෙද්දි ලෝක ආර්ථිකයේ ප්‍රබලයා විදිහට සියවසක පමණ කාලයක් ඇමරිකා එක්සත් ජනපදය නිරූපණය කළ භූමිකාව අභියෝගයට ලක්ව තිබෙනවා. ඉදිරියේ දශක කීපයක කාලය තුළ බොහෝ විට එම ස්ථානය චීනය විසින් අත්පත් කරගනු ඇතැයි බොහෝ ආර්ථික විශේෂඥයන් අනාවැකි පළ කරනු ලබනවා. අද වෙද්දි අපේ රටේ වුණත් ආර්ථිකය චීනය සමඟ බැඳී තිබෙනවා කිව්වොත් වැරැද්දක් නැහැ. මේ පිළිබඳව විවිධ පාර්ශ්ව ප්‍රතිවිරුද්ධ අදහස් පළ කළත් ලෝකයේ බොහෝ රටවලට චීනයේ ආර්ථික බලපෑම නොතකා හැරිය නොහැකි බව ලෝකයේ දේශපාලනය පිළිබඳව සුළු හෝ දැනුමක් තියෙන කෙනෙකුට වටහා ගන්න පුළුවන්. අපි අද ඔබට කියන්න යන්නේ චීනය ආර්ථික බලවතෙක් ලෙසට ඉදිරියට පැමිණීමට බලපෑ කාරණා කීපයක් පිළිබඳවයි.

 

 

1. ශ්‍රම සැපයීම 

බොහෝ රටවල ජනගහණය වැඩිවීම ආර්ථික වශයෙන් අවාසි සහගත තත්ත්වයක් වෙද්දී චීනය තමන්ගේ ජනගහණය පාලනය කිරීමට නීති රීති පැනවූවා වගේම අධික ජනගහණය තමන්ටආශිර්වාදයක් කර ගැනීමට කටයුතු කළා. මේ හරහා කර්මාන්ත සඳහා අවශ්‍ය ශ්‍රම සැපයීම මනා ලෙස කළමනාකරණය කර ගැනීමට ඔවුන් සමත් වුණා. දැනට ඇස්තමේන්තුගත කර තිබෙන ආකාරයට ඉදිරි දශක දෙක තුළ චීනයේ ගම්බද ප්‍රදේශවල ජීවත්වන මිලියන 5කට අධික ජනකායක් රැකියා සඳහා නගර බලා පිටත් වෙනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

 

 

2. වැටුප් සහ විරැකියාව

මේ වන විට චීනය තුළ විරැකියා ප්‍රතිශතය අවම මට්ටමක පවතින නමුත් සංඛ්‍යාවක් වශයෙන් ගත් කළ එම ප්‍රමාණය විශාල අගයක් ගන්නවා. මේ නිසාම රැකියා සඳහා පවතින්නේ විශාල තරගකාරීත්වයක්. යම් පුද්ගලයෙකු වැඩි වැටුප් ඉල්ලා රැකියාව වර්ජනය කළහොත් ඔහුගේ එම ස්ථානය ලබා ගැනීම සඳහා බොහෝ පිරිසක් සැදී පැහැදී සිටිනවා. බොහෝ බටහිර රටවල් සිය කර්මාන්තශාලා චීනය තුළ ස්ථානගත කිරීමට කැමැත්තක් දක්වන්නේ මේ හේතුව නිසායි.

 

3. ශ්‍රම බලකාය සඳහා කාන්තා සහභාගීත්වය 

දීර්ඝ කාලයක් පුරාවට චීනය තුළ තදින් බල පවත්වන ලද ‘පවුලකට එක් දරුවෙක්’ යන ප්‍රතිපත්තිය නිසා කාන්තාවකට දරුවන් බලා ගනිමින් නිවසේ රැඳී සිටිය යුතු කාලය බටහිර රටවලට සාපේක්ෂව අඩු අගයක් ගනු ලබනවා. මේ නිසා කාන්තාවන්ට රැකියා අවස්ථා සඳහා යොමු වීමට වැඩි ඉඩකඩක් සහ කාලයක් ලැබී තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ ඇතැම් ක්ෂේත්‍ර වල ශ්‍රම බලකාය සඳහා වැඩි සහභාගීත්වයක් කාන්තාවන් විසින් දක්වනු ලැබීම සහ අනෙකුත් රටවලට සාපේක්ෂව එරට ශ්‍රම බලකාය තවදුරටත් ශක්තිමත් වීමයි.

 

 

4. දේශපාලන තත්ත්වය 

චීනය තුළ පවතින කොමියුනිස්ට්වාදී ප්‍රතිපත්තිය නිසා බටහිර රටවල ආභාෂය ලබමින් නිදහස් ආර්ථික ක්‍රමයට පිවිසීමට මෙන්ම රට තුළ පවතින දැඩි නීතිරීති සහිත ස්වභාවය ආරක්ෂා කර ගැනීමට ඔවුන් සමත් වුණා. මේ නිසාම ඔවුන් සැලසුම් සහගත ආර්ථික ක්‍රමයක් තම රට තුළ ක්‍රියාත්මක කරන අතර එහි ඉලක්ක හඹා යාම සහ නව තත්ත්වයන් යටතේ එම ඉලක්ක යාවත්කාලීන කිරීම ඔවුන් සිදු කරනු ලබනවා.

 

 

5. ශක්තිමත් නායකත්වය 

බොහෝදෙනෙක් එකඟ නොවුණත්, කොතරම් දරදඬු පාලන තන්ත්‍රයක් පැවතුණත් චීනයේ නායකයන්  දර්ශනයක් සහිත ශක්තිමත් නායකයන් බව නොකියාම බැහැ. ඔවුන්ගේ මෙම ප්‍රතිපත්තිගරුක භාවයත් චීනයේ ආර්ථික සමෘද්ධිය කරා යන ගමනට විශාල දායකත්වයක් සපයනු ලැබුවා.

 

 

6. නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමය

මාවෝ සේතුංගේ කාලයේ පැවති වඩා සංවෘත ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට ඔහුගෙන් පසුව චීනයේ නායකත්වයට පැමිණි ඩෙන්ග් සියාඕපෙන්ග් වඩාත් නම්‍යශීලී වෙමින් නිදහස් වෙළඳපොල ආර්ථික ක්‍රමයට සමාන ආර්ථික ක්‍රමයත් චීනයට ගැලපෙන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට සමත් වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසර ගණනාවක් තිස්සේ ආර්ථික ලෝකයේ හුදෙකලාව පැවති චීනය යෝධයෙකු ලෙස නැගී සිටීම ආරම්භ වුණා.

 

 

7. ආනයනය ප්‍රමුඛ කරගත් සංවර්ධනය

ආරම්භයේ දී චීනය විසින් තම රටේ රටවැසියන්ගේ අවශ්‍යතාවයට සරිලන පරිදි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට පටන් ගත් අතර කෙමෙන් කෙමෙන් පියවර තැබූ ඔවුන් අවසානයේදී එය ආනයන මට්ටමට ගෙන ඒමට සමත් වුණා. ඒ හරහා තරඟකාරී රටවලට සාපේක්ෂව අඩු පිරිවැයකින් එම භාණ්ඩ හා සේවා චීනය තුළ නිර්මාණය කොට ලෝක වෙළඳපල අල්ලා ගනු ලැබුවා.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *