එකම පුද්ගලයාව දෙවරක් විවාහ කරගත් ජනප්‍රිය තරු

ඉරණම්කාරයා කොහේ ඉඳන් හරි හොයාගෙන එනවා කියලා කතාවක් තියනවනේ. ඒ වගේම පතාගෙන ඔතාගෙන ආපු සංසාර සහකාරයා කියල හිතාගෙන ඉන්න සම්බන්ධතාත් ඩෝං ගාලා කැඩිල යනවා. මේ දේවල් දැකලා, ජීවිතේ හැටි ඔහොම තමයි කියල හිත හදාගන්න බලද්දි මෙන්න බොලේ සමහරු එක පාරක් කැඩිල වෙන්වෙලා ගිය කසාද මනුස්සයව ආයෙත් බැඳල කියල ආරංචි එනවා. ඒවා ගැන හොයලා බැලුවම මනුස්ස හිතත් හරිම පුදුමයි කියලා කල්පනා වෙන්න ගන්නවා.

​මේ කියන්න යන්නේ ඒ විදිහට අපිව හොල්මන් කරල දාමින් එක පාරක් විවාහ වෙලා වෙන්වුණු කෙනාව ආයෙමත් කසාද බැන්ද ජනප්‍රියම තරු 7ක් ගැන.

 

1. එමිනෙම්

රැප් රජු එමිනෙම් කියන්නේ මේ දුර්ලභ ලැයිස්තුවට ඇතුළත් වෙන දුර්ලභ පුද්ගලයෙක්. එමිනෙම් බැඳලද කියලවත් සමහරු දන්නෙ නැහැ නෙව. එමිනෙම්ගෙ බිරින්දෑගෙ නම තමයි කිම්බර්ලි ඈන් ස්කොට්. එයා එමිනෙම්ගෙ පාසැල් කාලයේ පටන් තිබ්බ ලවු එක. කොහොම හරි කාලයක් තිස්සේ ආදරේ කරලා මේ දෙන්නා 1999දි කසාද බඳිනවා. හේයිලි නමින් සුන්දර දියණියකුත් ඒ දෙන්නට ඉන්නව. කොහොම වුණත් මේ කසාදේ ආදරේ- වෛරය කැටිවුණු එකක්. දෙන්නා අතර අඬදබරත් බොහොම ඇති වෙනවා. වතාවක් කිම්බර්ලි දිවි නසාගන්නත් උත්සාහ කරනව. අන්තිමේදි මේ දෙන්නා 2001 අවුරුද්දෙදි දික්කසාදයකින් වෙන් වෙනව. මේ දික්කසාදයෙන් පස්සෙ කිම්බර්ලි තවත් විවාහයක් කරගෙන ඒකෙනුත් වෙන් වෙනවා. ඊට පස්​සෙ 2006 අවුරුද්දේදි එමිනෙමුයි කිම්බර්ලියි එයාලගෙ දියණිය නිසා ආයෙමත් සමීප වෙලා විවාහ වෙන්න තීරණය කරනව. හැබැයි මේ දෙවැනි විවාහය පවතින්නෙත් මාස කීපයක් විතරයි. 2006දීම ඒ දෙන්නා ආයෙමත් දික්කසාද වෙනවා.

 

2. ඉලෝන් මස්ක්

තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම සඳහන් වෙන නමක් තමයි ඉලෝන් මස්ක් කියන්නේ. දකුණු අප්‍රිකානු ජාතිකයෙක් වන ඉලෝන් මස්ක් මේ වෙද්දි ප්‍රකෝටිපතියෙක්. ඒ වගේම එක්තරා විදිහක ආන්දෝලනාත්මක චරිතයක්. ඉලෝන් මස්ක් මේ වෙද්දි තුන් පාරක් විවාහ වෙලා තියනවා. එයින් දෙපාරක්ම ඔහු විවාහ වු​ණේ ටැලුලා රයිලි කියන තැනැත්තියත් එක්කයි. ඇමරිකානු නිළියක් වුණු ටැලුලා රයිලි කියන්නේ ඉලෝන්ගේ දෙවැනි විවාහයයි. ඉලෝන්ගේ පළමු විවාහයේ බිරි​ඳ වුණු ජස්ටීන්ගෙන් දික්කසාද වෙලා 2010 අවුරුද්දෙදි ඔහු ටැලුලා එක්ක විවාහ වෙනවා. ඒත් වැඩි කලක් මේ විවාහය පවතින්නෙ නැහැ. 2012දී මේ දෙන්නා දික්කසාද වෙනවා. හැබැයි දෙන්නා අතර ආදරය දිගටම පවතිනවා. මේ හින්දම ආයෙ තමන්ගෙ සම්බන්ධතාවයට තැනක් දෙන්න හිතන ඉලෝන් සහ ටැලුලා 2013 අවුරුද්දෙදි ආයෙ විවාහ වෙනවා. හැබැයි මේ විවාහෙත් අසාර්ථක වෙනවා. ඉලෝන් මස්ක් වතාවක් ටැලුලව දික්කසාද කරන්න ගිහින් ආයෙ හිත වෙනස් කරනවා. ඉන් පස්සේ 2016දී ටැලුලා ඉලෝන් මස්ක්ගෙන් දික්කසාදය ඉල්ලා දෙදෙනා වෙන් වෙනව.

 

3. එලිසබෙත් ටේලර්

එලිසබෙත් ටේලර් කියන්නේ ලෝකේ හිටපු නිළි රැජිණක්. ඒ වගේම ලෝකේ හිටපු සුන්දරම කාන්තාවක් හැටියටත් බහුතරයක් දෙනෙක් පිළිගන්න තැනැත්තියක්. ටේලර්ගේ ආදර ජීවිතයත් අතිශය උණුසුම්ව ගලාගෙන ගිය එකක්. ඇය අට වතාවක් විවාහ වෙනවා. හැබැයි හත් දෙනෙක් එක්ක. දැන් ඔයාල බලයි මොකක්ද මේ කියපු හරුපෙ තේරුම කියලා. එහෙම වෙන්න හේතුව තමයි එලිසබෙත් ටේලර්, රිචඩ් බර්ටන් කියන රංගන ශිල්පියා එක්ක දෙපාරක්ම විවාහ වීම. බර්ටන් එලිසබත් ටේලර්ගේ 5 වැනි වගේම 6 වැනි ස්වාමි පුරුෂයාත් බවට පත් වෙන්නේ මේ දෙන්නා 1964- 74 දක්වාත්, ආයෙ 1975 ඉඳන් 76 වෙනකනුත් විවාහ ජීවිත ගත කරපු නිසයි. එලිසබෙත් ටේලර් වගේම් රිචර්ඩ් බර්ටනුත් කීප වතාවක්ම විවාහ වුණු කෙනෙක්. රිචර්ඩුත් 5 වතාවක්ම විවාහ වෙනවා.

 

4. පැමෙලා ඇන්ඩර්සන්

පැමෙලා ඇන්ඩර්සන් කියන්නේ ඉතින් බේ වොච් කාලේ පටන් ලංකාවේ අයත් වොච් එකේ හිටපු සරාගී ගිනි සිළුවක්. ඇගේ සුන්දරත්වයට සහ සරාගීත්වයට වශී වුණු පිරිමින්ගේ අඩුවක් ඇයට තියෙන්නට නැති බව ​ඕනෑ කෙනෙක්ට හිතාගන්න අපහසු කරුණක් නෙමෙයි. නමුත් පුදුමය කියන්නේ ඇගේ හිතත් දෙවරක්ම එකම පුද්ගලයෙක් ළඟ නවතින එකයි. මෙය නැවතීමකට විතරක් සීමා නොවී විවාහයක් දක්වාම දිග්ගැස්සීම විශේෂයි. පැමෙලා ඇන්ඩර්සන් දෙපාරක්ම විවාහ වුණු තැනැත්තා තමයි රික් සලමන්. රික් වෘත්තීයමය පෝකර් ක්‍රීඩකයෙක්. ඒ වගේම කාන්තා පාර්ශවේ පහසින් අඩුවක් නැති පුද්ගලයෙක්. රික් සලමන් එක් වතාවක් පැරිස් හිල්ටන් එක්කත් සෙක්ට් ටේප් එකක් ලීක් කරගත්ත එකෙන් තේරුම් ගන්න පුළුවන්ගෙ එයාගෙ වැඩ. පැමෙලා රික් සලමන් එක්ක 2008 සහ 2014දී දෙවතාවක් විවාහ වෙනවා. ඒ දෙවතාවේදීම මේ විවාහය පවතින්නෙ අවුරුද්දක් වගේ කාලයක් විතරයි.

 

5. ලැරී කිංග්

විදෙස් ප්‍රවෘත්ති සේවාවන් එහෙම නරඹපු කෙනෙක්ට ලැරී කිංග් කියන්නෙ නුහුරු නුපුරුදු නමක් සහ මුහුණුවරක් නෙමෙයි. ලැරී කිංග් කියන්නේ විවාහ වීම අතින් එලිසබෙත් ටේලර්ගේ රෙකෝඩ් එකත් සම කරපු කෙනෙක්. ලැරී කිනුත් එලිසබෙත් ටේලර් ව​ගේම හත් දෙනෙක් එක්ක අට වතාවක් විවාහ වෙලා තියනවා. මේ අතරින් ලැරී කිංග් දෙපාරක්ම විවාහ වෙන්නේ එලේන් ඒකින්ස් කියන ප්ලේ බෝයි නිරූපිකාවත් එක්කයි. මේ දෙන්නා තමන්ගේ විවාහ ජීවිතවල පළමු වටය ගත කරන්​නෙ 1961 ඉඳන් 63 වෙනකම් තමයි. ඒ විවාහයෙදි මේ යුවළ ඇන්ඩි නමින් පුතෙක් දරුකමට හදාගන්නවා. දික්කසාදයෙන් පස්සේ ආයෙමත් 1967 අවුරුද්දෙදි මේ දෙන්නා විවාහ වෙනවා. ඔවුන්ටම දාව උපදින පළවෙනි දියණිය ලැබෙන්නේ එවර තමයි. 1972 දී මේ විවාහය කෙළවර වුණාට පස්සෙ ලැරී කිංග් ආයෙ 3 වතාවක් විවාහ වෙනවා. 2017 අවුරුද්දෙදි එලේන් ආර්කින්ස් මෙළොව හැර යනව.

 

6. ෂෝන් ක්ලෝඩ් වෑන් ඩෑම්

90 දශකයේ අපි කාගේත් ක්‍රියාදාම වීරයෙක් තමයි වෑන් ඩෑම් කියන්නේ. ඔහුත් 5 වතාවක් විවාහ වූ තැනැත්තෙක්. ඔහුත් සමග දෙවතාවක් විවාහ වෙන කාන්තාවගේ නම තමයි ග්ලැඩිස් පෝචුගීස්. ඇය හිටපු කාය වර්ධන ශූරියක් වගේම නිළියක්ද වනවා. 1987 අවුරුද්දේ ෂෝන් ක්ලවුඩ් වෑන් ඩීම් ඇයව විවාහ කර ගන්නවා. ඒ වෙන​කොට වෑන් ඩීම් කලින් දෙවතාවක්ම විවාහ වෙලයි ඉන්නෙ. වෑන් ඩෑම් සහ ග්ලැඩිස්ගෙ කසාදය 1992 දී කෙළවර වෙනව. ඉන් පස්සේ වෑන් ඩෑම් තව විවාහයක් කරගෙන දික්කසාදෙකටත් මුහුණ දෙනවා. ඊටත් පස්සෙ තමයි වෑන් ඩෑම් සහ ග්ලැඩිස්ගේ දෙවැනි විවාහ ජීවිතය ඇරඹෙන්​නේ 1999 අවුරුද්දෙදි. 2015 දී මේ දෙන්නා ආයෙත් දික්කසාද වෙන්න ගියත් ඒක වැළකෙනවා. වෑන් ඩෑම් සහ ග්ලැඩිස්ට දරුවන් දෙන්නෙකුත් ඉන්නවා.

 

7. ටෙරන්ස් හොවාර්ඩ්

Image Source – https://mediaoutrage.files.wordpress.com

හොලිවුඩ් සිනමාපට නරඹන අයට නම් ටෙරන්ස් හොවාර්ඩ්ව අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍යතාවයක් නැතිවෙයි. අයන් මෑන් පළවෙනි චිත්‍රපයෙත් ටෙරන්ස් හොවාර්ඩ් මතක හිටින රංගනයක් කළානෙ. ටෙරන්ස් හොවාර්ඩ් මේ වෙද්දි 4 වතාවක් විවාහ දිවියට ඇතුළත් වෙලා තියනවා. ඒ අතරින් දෙවතාවක්ම ඔහු විවාහ වෙන්නෙ ලෝරි මැක්කොමාස් එක්කයි. මේ දෙන්නා මුලින්ම 1989 විවාහ වෙලා වසර 14ක දීර්ඝ විවාහ ජීවිතයක් ගත කිරීමෙන් පස්සේ 2003 දී දික්කසාද වෙනව. ආයෙමත් 2005 ඉඳන් 2007 වෙනකම් මේ දෙන්නා අයෙමත් විවාහ වෙලා ගත කරනව. 

ඒ ව​ගේම ටෙරන්ස් හොවාර්ඩ් ගැන තව විශේෂ කරුණක් කියන්න තියනව. ඒ තමයි එකම පුද්ගලයා එක්ක දෙවරක් විවාහ වී​මේ වාර්තාවේ අංක එක වෙන්න ඉදිරියේදී ටෙරන්ස් හොවාර්ඩ්ට හැකි වේවි කියලත් සැකයක් අපිට තියනව. ඒ ඔහු 2013 ඉඳන් 2015 දක්වා විවාහ වෙලා හිටපු මිරා පාක් කියන කාන්තාව සමග 2018දී නැවත විවාහ ගිවිස ගැනීම හින්දයි. මේ ගිවිසගැනීමත් විවාහෙකින් කෙළවර වුණොත් දෙන්නෙක් එක්ක දෙවතාවක්ම විවාහ වුණු තැනැත්තෙක් හැටියට ටෙරන්ස්ට වාර්තාවක් තියන්න පුළුවන් වේවි!

 

මොකද හිතන්නේ එකම පුද්ගලයෙක්ව දෙවතාවක්ම කසාද බඳින එක ගැන? ඔබේ අදහස් අපිට කමෙන්ටුවකින් කියන්​න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *