කසාදයක් කියන්නෙ දෙන්නෙක් තනි කෙනෙක් විදියට සතුටින් අනාගතය ජීවත්වෙන්න ගහන අඩිතාලමට. මේ තනි කෙනා ඇතුළෙ දෙදෙනාගේ වගකීම්, ස්වාධීනත්වය, ගරුත්වය, සතුට වගේ දේවල් බැලන්ස් එකේ යන්න ඕන. එහෙම නැති වුනාම බහින්බස් වීම් ඇති වෙනවා. ඒවා රණ්ඩු බවට පෙරලෙනවා. ඊටපස්සෙ වෙන්වෙනවා. එයින් වටපිටාවේ අයත් පීඩා විඳිනවා. මේ සියල්ල නවත්තාගන්න කරන්න තියෙන හොඳම දේ තමයි හරිහැටි වැඩේ ගැන දැනගෙන විවාහ වෙන එක. විවාහය කියන දේ ගැන විතරක් දැනගත්තට මදියි. විවාහ වෙන කෙනා ගැනත් දැනගන්න ඕන. අන්න ඒ ගැනයි අද සටහන.
1. අන්ඩර්ස්ටෑන්ඩිං
දෙදෙනා ගැන දෙදෙනාගෙ තේරුම් ගැනීම අතිශය වැදගත්. සමහරු හිතනවා දෙන්නම එකම විදියට හිතන්න ඕන කියලා. දෙන්නා එකිනෙකා ගැන කේන්ති නොගෙන ඉන්න ඕන කියලා. ඇත්තටම ඒ විදියෙ දෙයක් නැහැ සහ එහෙම කරන්නත් බැහැ. කේන්තිය බැලන්ස් කරගන්න ඕන. අනෙකාගේ සිතුවිලි ගැන තේරුංගන්න ඕන. එතකොට කොයිතරම් කේන්තියක් ආවත් ඒක යටපත් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙයි. එනිසා ඒ අන්ඩර්ස්ටෑන්ඩිං එක අතිශය වැදගත්. මාස දෙකක් ආශ්‍රය කරලා සිද්ධ වෙච්ච සාර්ථක විවාහ ජීවිත සහ අවුරුදු අටක ආදර සම්බන්ධයකට පස්සෙත් කැඩෙන විවාහ ජීවිත තියෙන්නෙ අන්න ඒ අන්ඩර්ස්ටෑන්ඩිං එක නිසායි. කාලය වැදගත් වුනත්, ඊටත් වඩා ඔබේ තේරුම් ගැනීමේ හැකියාව වැදගත්.
2. සිතුම් පැතුම්
එකම විදියට හිතන දෙන්නෙක් කියන එක බොහොම කලාතුරකින් දකින්නට ලැබෙන දෙයක්. බොහෝවිට සිද්ධ වෙන්නෙ තවත් කෙනෙකුගෙ අනුගත වීමක්. ඒක දිගින් දිගටම සිද්ධ වෙන එක ආදර සම්බන්ධයකට ඒ තරම් ගුණදායක නැහැ. දෙදෙනාම යම් තරමකින් කැපකිරීම් කිරීම නම් ආදරයක ඉමිහිරි බව වැඩිකරාවි. ඒ වගේම සියයට සීයක් ගැලපෙන යුවලක ආදරයට වඩා ආදරණීය බවක් ඒ නොගැලපීම තුළ තියෙනවා. නිකමට මෙහෙම හිතමු. සාමාන්‍ය ගෙදර මස් මාළු උයලා, ඒත් එළවලු විතරක් කන වෙජිටේරියන් වයිෆ් කෙනෙක් වෙනුවෙන් හස්බන්ඩ් කෙනෙක් සතියක් සම්පූර්ණයෙන්ම වෙජිටේරියන් වුනොත් බිරින්දෑගෙ හිතේ කොයි තරම් සතුටක් ඇති වේවිද? දෙදෙනාට අලුත් වෙජිටේරියන් රෙසිපි අත්හදා බලන්නට පුළුවන් වගේම, වෙජිටේරියන් ආහාර පමණක් තියෙන අවන්හල්වලටත් ගොඩවෙන්නට පුළුවන් නේද? ඒ එක් උදාහරණයක් පමණයි.
3. වෙඩිම කොහොමද ගන්නෙ?
විවාහ වෙන කෙනා තීරණය කරන තරම්ම විවාහ මංගලෝත්සවයත් වැදගත්. කිසිම මොහොතක දෙදෙනා පොදු තීරණයකට එකඟ වෙනවා හැරෙන්නට විවාහ මංගලෝත්සවය වැනි කාරණයකදී තනි තීරණවලට යන්න එපා. ඔයා කැමති විදියකට කරමු වගේ දෙයක් කිසිවිටක කියන්න එපා. අනෙකා එහෙම කිවුවත් ඊට එකඟ වෙන්නත් එපා. විවාහ ජීවිතයේ ආරම්භය සිද්ධ වෙන්නේ එතැනින්. ඒ තැන හදවතට එකඟ නැති අයුරකින් සිදුවුනොත් එය මතු බිඳීම්වලට හේතුවක් වේවි. විවාහ මංගලෝත්සවය කියන්නේ අනෙකා වෙනුවෙන් කැපකිරීම් කරන්න හොඳ තැනක් නෙමෙයි.
4. දරුවන් ගැන ආකල්ප
අපි මෙහෙම හිතමුකො. කසාද බැන්දා කියලා දරුවො හදන එක අත්‍යවශ්‍ය දෙයක් නොවුනත්, කසාදයක් බැඳපු ලංකාවෙ ඕනම ජෝඩුවකට අවුරුද්දක් යන්න කලින් දැන් ඉතිං දරුවෙක් එහෙම හැදුවොත් නරකද? කියන වචනෙ කවුරුමහරි දානවමයි. අන්න ඒ නිසා දරුවන් ගැන දෙදෙනාම පොදු තීරණයක් ගත යුතුමයි. විවාහ වූ අලුතම දරුවන් හදනවාද? විවාහ වී අවුරුදු තුනකින් පසු දරුවන් හදනවාද? දරුවන් කොපමණ හදනවාද? දරුවන් හදන්නේ නැද්ද? කියන දේ දෙදෙනා විසින් තීරණය කළ යුතුයි. එය අනිවාර්යෙන්ම විවාහයට පෙර තීරණය කළ යුතුයි. සැබවින්ම එම තීරණයේදී අනෙකා හා සමපාත විය නොහැකි නම් දෙදෙනා විවාහයකට නොයා සිටින්නට තරම් එම කරුණ ප්‍රබලයි.
5. අතපෙවීම්
මේකත් දරුවො ගැන කතා කරලා ඉවර වුනාට පස්සෙම ලියන්න වෙච්ච එකයි පුදුමෙ. මොකද මේක කලින් කියපු කතාවටත් අදාළයි. විවාහයකට පිටස්තර අතපෙවීම් සිද්ධ වීම ඒ විවාහය කඩාකප්පල් කරන්න ප්‍රබල හේතුවක්. මේ කියන්නෙ අනියම් සම්බන්ධතා ගැන නෙමෙයි. දෙදෙනා තනිවම වෙසෙනවාද? බිරිඳ රැකියාවක් කරනවාද? දරුවන් හදන්නේ කොයි කාලයේද? වැනි තීරණ ගැන තම ජීවන සහකරුගේ කිට්ටුවන්ත නෑදෑයින් වෙහෙස වෙන්නට උත්සාහ කරනවාද? සහ එම උත්සාහයන්ට තම සහකරුවාගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබෙනවාද කියන දේ පිළිබඳව විවාහයට පෙරාතුවම සෙවිය යුතුමයි. නැතිනම් පසුකාලීනව බිරිඳට හෝ ස්වාමිපුරුෂයාට අනෙකාගේ පවුල් තීරණවලට යටවී සිටින්නට එය හේතුවක් වේවි.
6. එන්න ඇතුළට බය වෙන්න දෙයක් නෑ!
අපි මීට කලින් ආටිකල් එකකුත් ලිවුවා කසාදයට කලින් දෙන්නත් එක්ක රැයක් ගත කිරීමේ වාසි ගැන. මේ කියන්නෙ අන්න එතනින් උලුප්පන ලද මාතෘකාවක් ගැනයි. නිකමට හිතන්න, ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබේ සිහින ආලිංගනය සපයන්නට අපොහොසත් අයෙකු වග. කාලයක් ආදරය කළ නිසා විවාහ වුවත්, දෙදෙනාගෙන් දෙදෙනාගේ සෙක්ස් ලයිෆ් එක සන්තෘප්ත නොවෙනවානම් එය දෙදෙනාගේ බිඳීමට හේතුවක් වේවි. බොහෝදුරට මෙවැනි අවස්ථාවක පහසුවෙන්ම තුන්වැන්නෙකුට ජීවිතයට ඇතුළු වෙන්නත් පුළුවන්කම තියෙනවා. පස්සෙ පවු කරනවාට වඩා, පවු නොකර සිටින්නට ජීවිතය හැඩගස්වාගන්න එක හොඳයිනෙ නේද?
7. ඉපයුම් – ඉතුරුම් – අවශ්‍යතා
විවාහයකට යන්න කලින් අනිවාර්යෙන්ම සිතිය යුතු දේ තමයි එතනින් එහාට ජීවත් වෙන්නෙ කොහොමද කියන එක. අපි වවාගෙන කන ජාතියක් නෙමෙයිනෙ. ඉතිං අපිට සල්ලි උවමනායි. විවාහ දිවියකදි ඒ අවශ්‍යතාවය ඉහළයි. දරුවෙක් ඉන්නවානම් එය තවත් ඉහළයි. එනිසාම දෙදෙනාගේ ඉපයුම් ගැනත්, ඒ අනුව සකසාගන්නා අවශ්‍යතා ගැනත්, අනාගත පරිභෝජනයට තබාගන්නා ඉතුරුම් ගැනත් අනිවාර්ය අවධානයක් විවාහයට පෙර යොමු කළ යුතුමයි. බැඳලා මාසයක් ආතල් අරගෙනම ෆයිනෑන්ස් ප්ලෑන් එකකට යන එක අසාර්ථක විවාහයක ලක්ෂණයක්. තමුන්ට වඩාත්ම යෝග්‍ය ෆයිනෑන්ස් ප්ලෑන් එකට සහකරුවා සමග එකඟ වෙලා විවාහ වීමයි වඩාත්ම සාර්ථක වන්නේ. ඒක ප්‍රයෝගික නැති බවක් ඔබට දැනෙන්නේ, ඔබ තවමත් ඔබේ අනෙකා සමග සැබවින්ම විවෘත නැති නිසා වෙන්නට පුළුවන්.
Leave a Reply