මං එයාට කොච්චර ආදරේ වුණත්, එයාට මාව දාලා යන්න ඕනෙලු. ඉතින් මං දැන් මොකද කරන්නේ?

ආදරේ කියන්නේ ඇත්තටම මොකද්ද? ඇත්තටම ඒකට නිර්වචන ලබාදෙන එක හරිම අමාරු වැඩක්. ඒ වගේම, ආදරේ කියන්නේ මොකක් වුණත්, ඒ හැඟීමට දෙන්නෙක් අතර ගැඹුරින් මුල් බැහැ ගන්න වගේම, පොඩි අතපහු වීමකින් වුණත් කැඩිලා බිඳිලා විසිරිලා යන්නත් පුළුවන්. අපි කෙනෙක්ට ආදරේ කරනකොට ඒ ආදරේ සදාකාලිකයි කියලා හිතන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි එහෙම ආදරයක් සදාකාලික වෙන්නේ සහ, අපි ආදරේ කෙනා එක්ක එකම ආදරෙන් බැඳිලා ජීවිත කාලයක්ම ඉන්න හැම මොහොතකම බැරි වෙන්න පුළුවන්. සමහර වෙලාවට ආදරේ නැවතුම්පොළකට එනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ආදරේ ඈලියාවට යන්න පුළුවන්. ආදර හැඟුම් වියැකී යන්න පුළුවන්. හැබැයි අපි එයාව අතඅරින්න අකමැති, ආදරේ හින්දම අපිට එයාව අතඅරින්න බැරි තැනක ඉන්නකොට, එයාගේ පැත්තෙන් ආදර කතාව අවසාන වෙන එක දරන්නම අමාරු කාරණාවක්. හැබැයි එහෙමයි කියලා ජීවිතේ එක තැන තියෙන්නෙ නැහැනේ. ලෝකේ කරකැවෙන්නෙ නැතුව තියෙන්නේ නැහැනේ. ආන්න ඒ නිසා අපි ඉගෙනගන්න ඕන, අපිට තියාගන්න ඕන වුණත්, එයාට යන්න ඕන තැනකදී අපි මොකද කරන්නේ කියලා…

 

1. සන්සුන් වෙමු, උදවු ලබාගමු

ප්‍රධාන වශයෙන්ම මේ විදියේ බෝම්බයක් කඩාපාත් වුණහම දැනගන්න ඕන සන්සුන් වෙන්න. අමාරුයි තමයි, හැබැයි මේ වෙලාවෙදී තමයි තමන්ගේ උපරිම ශක්තිය යොදවලා සන්සුන් වෙන්න අවශ්‍ය වෙන්නේ. ගොඩක් දෙනෙක් මේ වගේ වෙලාවට කරන්නේ හඬා වැලපෙන එකනේ. හැබැයි ඒකෙන් වෙන්නේ එකක් තමන් ෆෝකස් කරන්න ඕන දේවල් වලට ෆෝකස් එක නැතිවෙන එක, දෙක, තමන්ගේ අතින් මේ සිටුවේෂන් එකේ පාලනය ගිලිහෙන එක. ඒ වගේම තුන විදියට තමන් පාලනයෙන් තොර දේවල් කරන්න, ක්ෂණික ආවේග මත පදනම්ව ආයෙ හරවන්න බැරි තීරණ ගන්න පෙළඹීම එහෙමත් සිද්ධ වෙන්න පුළුවන්.

 

ආන්න ඒ නිසා හැකි උපරිමයෙන් තමන්ව සන්සුන් කරගන්න ඕන. ඒ එක්කම අපිට සපෝට් සිස්ටම් එකකුත් තිබ්බොත් හොඳයි. ඒ කියන්නේ තමන්ට විශ්වාසවන්ත, මුහුකුරා ගියපු ඥාණයක් තියෙන මිතුරෙක් හරි පවුලේ කෙනෙක් හරි ලඟ ඉන්න එක හොඳයි.

 

 

2. මොකද්ද මගෙන් වුණු වැරැද්ද?

ඇත්තටම ලව් එකක් හරි මැරේජ් එකක් හරි දාලා දෙන්නගෙන් එක්කෙනෙක් යන්න තීරණය කරනවා නම්, ඒකට හේතුව දෙන්නගේම අතින් හරි දෙන්නගෙන් එක්කෙනෙක් අතින් හරි වැරැද්දක් සිද්ධ වීම කියලා පූර්ව නිගමනයකට එන එකම වැරදියි. ඇත්තටම දෙන්නගෙන් එක්කෙනෙක්ගේ හරි වැරැද්දක් නැතුව වුණත්, ලව් එක හෝ මැරේජ් එක කල් ඉකුත් වෙන්න, එක්ස්පයර් වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ පාට්නර්ට මේක නවත්තන්න ඕන වෙන මේ වගේ වෙලාවක කෙනෙක්ගේ ඔලුවට එන්නේ එක දෙයයි. මොකද්ද මගෙන් වුණු වැරැද්ද?

 

ඒක දැනගන්න නම් ආයෙමත් පළවෙනි තැනට යන්න ඕන. සන්සුන් වෙන්න ඕන. දැන් ඒ සන්සුන් තැන ඉඳගෙන පාට්නර් එක්ක කතාවක් දාන්න. ඇත්තටම මොකද්ද හේතුව කියන එක අහලා දැනගන්න. එතනදී එයාට වැරැද්දක් කියන්නත් බැරි නම්, ඒ නිසා “ඔයා නෙවෙයි වැරදිකාරයා මං” වගේ එකක් කිය කියා වටේ යනවා නං, වැරැද්ද කාගෙද කියලා හොය හොයා වාත නොවෙන්න. එයාට මොකද්ද සිද්ධ වුණු අවුල කියලා කියන්න බැරි නම්, ඒකට වරදකාරී හැඟීම තමන් පිට පටවගන්න එපා!

 

3. ආයෙ එකතුවෙන්නම බැරිද?

ඇත්තටම මෙහෙම අවස්ථාවක් ආවහම, අපිත් තාම එයාට ආදරෙයි නම් ඔළුවේ වැඩකරන්න ගන්නේ මේක විතරයි. ආයෙමත් අපිට එකතුවෙන්න බැරිද කියන එක. ඒක ගැනම අපි සම්පූර්ණයෙන්ම බලාපොරොත්තුත් තියාගන්නවා. හැබැයි අපි කියන්නේ, ඒක ගැන බලාපොරොත්තු තියා නොගෙන, වෙන්න පුළුවන් නරකම දේට -ඒ කියන්නේ එයාගෙන් වෙන් වෙන එකට- සූදානම් වෙන්න කියල තමයි. ආයෙ එක් වෙන්න පුළුවන් වුණොත් බෝනස්. නැත්නම් කමක් නෑ. අන්න ඒ මනෝභාවයට එන්න පුළුවන් එතකොට.

 

හැබැයි ආයෙ එකතුවෙන්න බැරිද කියන එක ගැන හොයලා බැලීමේ වරදක් නෑ. විශේෂයෙන්ම මෙහෙම වෙන් වෙන්න යන්නේ මොකක් හරි මොට්ට මෝඩ කරුණක්, වැරැද්දක්, හේතුවක් නිසා නම්, ආයෙ එකතුවීම ගැන හිතලා බැලීමේ, සොයාබැලීමේ ප්‍රශ්නයක් නැහැ. මෙතනදී ඇත්තටම දෙන්නටම මැරේජ් කවුන්සිලර් කෙනෙක්ගේ සහාය ලබාගන්නත් පුළුවන්. 

 

මේ වෙන්වීම සිද්ධ වෙන්න යන්නේ තමන්ගේ වරදක් නිසානම් නොපැකිළ ඒ වරද හදාගැනීම සහ අවංකවම ඒ ගැන සමාව ඉල්ලීමත් මේකටම ඇතුළත් වෙනවා.

 

4. ගේම නං ගේම ගැලපෙයිද?

තමන් එක්ක කාලයක් ආදරෙන් හෝ විවාහයෙන් බැඳිලා හිටපු පාට්නර් යන්න හදනකොට කෙනෙක් ගේම ඉල්ලන තැනටත් යන්න පුළුවන්. ඒ කියන්නේ ආයෙ බැණ අඬගැසීම්, ඇඬිලි මැසිවිලි වල ඉඳලා ප්‍රචණ්ඩ ක්‍රියා දක්වා පරාසයක වෙන දේවල්. මේක සෑහෙන්න අවාසියි. එකක් තමයි මේක නිසා ඇත්තටම තියෙන සුළු ප්‍රශ්නයක් වුණත් ක්ෂණයකින් මහා ප්‍රශ්නයක් බවට පත් වෙන එක. දෙක තමයි, අපිට සන්සුන් වෙලා, ඇත්තටම තත්ත්වය තක්සේරු කරගන්න ප්‍රමාණවත් සන්සුන් භාවයකට යන්න බැරි වීම. ආන්න ඒ නිසා එයා ගේමෙන් ආවත් ගේම ඉල්ලන්න යන්න එපා. ඊට කලින් සන්සුන් වෙන්න. දැන් එයා ගේමෙන් නම් එන්නේ, අපි නැට්ට අකුලගෙන යන්න ඕන නෑ. හැබැයි අපි පරීක්ෂාකාරීව, මොනවද තුරුම්පු කියලා දැනගෙන සෙල්ලම් කරන්න ඕන.

 

5. එයාගෙ තෙරපිස්ට් වෙන්න යන්න එපා

කාලයක් තිස්සේ පැවතුණු ආදරය හෝ විවාහය අවසන් කරලා යන්න හදන්නේ එයා වුණත්, ඇත්තටම එයාටත් ඒක මහා වේදනාවක් වෙන්න පුළුවන්. එතකොට අපි එයාට තාමත් තියෙන ආදරය නිසා හෝ එයාව ආයෙමත් ලබාගැනීමේ වුවමනව නිසා අපි දුක්ගන්නාරාළ ජොබ් එක එහෙම නැතිනම් කවුන්සිලර් ජොබ් එක එයා වෙනුවෙනුත් කරන්න යන්න පුළුවන්. හැබැයි අපි ඇඩ්වයිස් කරන්නේ එතනට යන්න එපා කියලා. මොකද මෙතනදී දෙන්නටම සහාය අවශ්‍යයි. ඒ සහාය හැඟීම් වලින් ආකූල වෙලා බෑ. අන්න ඒ නිසා හොඳ මනුස්සයා ලේබලේ ගහගන්නවත් මේ වෙලාවේ එයාගේ තෙරපිස්ට් වෙන්න යන්න එපා. ඒකට වෘත්තීයමය උපදේශකයෙක්ගේ සහාය ලබාගන්න.

 

6. එයා එහෙම නෑ බං!

දැන් ලව් එක හරි මැරේජ් එක හරි අවසාන කරලා එක්කෙනෙක් යන්න සූදානම් වෙනකොට අපි පත් වෙන එක්තරා මනෝභාවයක් තමයි මේක. ඒ තමයි අපේ අතේ වැරදි තිබුණත් නැතත්, සියල්ලේම වැරැද්ද සහ වගකීම අපේ පිට පටවගෙන, එයා එහෙම නෑ බං ලෙවල් එකෙන් වැඩේ ගොඩදාගන්න හදන එක. එතකොට පාර්ට්නර්ව සියේය සීයක්ම නිර්දෝෂී අහිංසක හා පැටියා විදියට තමයි අපි පෙන්නන්නේ. මේකෙන් වෙන්න පුළුවන් හානි දෙකක් තියෙනවා. එකක් තමයි මොකක් හරි විදියකින් පාට්නර් ආයෙමත් එකතුවෙන්න කැමති වුණොත්, ඉදිරියට දෙන්නත් එකක් ගෙවන ජීවිතේට අනවශ්‍ය සහ අසීරු කොන්දේසි එකතුවෙන්න පුළුවන්. ආයෙ පොඩි රණ්ඩුවක් වුණත්, “හැමදේටම වගකියන්න ඕන ඔයා” කියන තැන නිතරගයෙන්ම එන්න පුළුවන්. දෙවෙනි එක තමයි, එයා ආයෙ ආවෙ නැතිනම්, හැමදේටම වගකියන්න ඕන අපි කියන අපි කියන මනෝභාවය එක්ක අපිට රිකවර් වෙන එක අසීරු වීම.

 

අන්න ඒ නිසා ආයෙමත් කියනවා, තමන් අතේ වැරැද්දක් තියෙනවා නම් ඒක වහාම හදාගන්න, සමාව ඉල්ලන්න. හැබැයි ඒ ඇරෙන්න අනුන්ගේ වැරදිත් තමන් පිට පටවාගන්න නොයන්න.

 

 

7. ෆයිට් එකේ සීමාව දැනගන්න

දැන් අර අපි ආයෙ එකතු වෙන්න බැරිද කියන එක ගැන කතාකළානේ. දැන් සමහරු ලැහැස්ති වෙනවා යන්න හදන පාට්නර්ව නවත්තලා ආයෙමත් එකතු කරගන්න ලෝකේ කෙළවරටම වුණත් යන්න. ඇත්තටම ඒ තරම් දුරට යන්න වුවමනා නැහැ. මොකද, විවාහයක් හෝ ප්‍රේම සම්බන්ධතාවයක් කියන්නේ දෙන්නෙක්ගේ සම්මාදමකින් සිද්ධ වෙන දෙයක්. තනි අතින් ගහන අත්පුඩියක් නෙවෙයි. අන්න ඒ නිසා, අනික් පාර්ශවෙන් එකතු වෙන්න කිසිම උනන්දුවක් පෙන්නන්නෙ නැති නම්, ඒ පැත්ත “මේක අවසානයි” කියන ස්ථිර මතයේ ඉන්නවා නම්, තමන් ෆයිට් කරන එකේ සීමාවක් තියාගන්න. විශේෂයෙන්ම වැඳ වැඳ පස්සෙන් යන්න, බැගෑපත් වෙන්න තියාගන්න එපා!

 

 

8. පරීක්ෂාකාරී වෙන්න!

පාට්නර් යන්න හදනකොට මොකක් ගැනද හැබෑටම පරීක්ෂාකාරී වෙන්න ඕන? ඒ තමයි අපේ පැත්තට එන්න පුළුවන් ගුණ්ඩු මොනවද කියන එක ගැන. අපිට මිනිස්සුන්ව කාලා බලලා තේරුම් ගන්න බෑ. එකට අවුරුදු ගණනාවක් ජීවත් වුණු ගෑණි හෝ මිනිහා වුණත් මේ වගේ මොහොතක අපිව බිල්ලට දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාවේ වගේ දික්කසාද නීති සෑහෙන්න වාත වෙන රටකදී ඕක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ වැරැද්දක් නැතුවත් වැරැද්දක් මවන්න හදන්න පුළුවන්. අපිව මැනිපියුලේට් කරන්න හදන්න පුළුවන්. මූල්‍යමය වන්දි, දේපළ බෙදී යෑම් සම්බන්ධයේදී අපිව අන්දන්න, අපිව අමාරුවේ දාන්න උත්සාහ කරන්න පුළුවන්.

 

ඒ නිසා ආයෙමත් යන්න අංක එකට. සන්සුන් වෙන්න. උදවු ගන්න. පරීක්ෂාවෙන් වැඩ කරන්න.

 

 

9. තමන්ව නැති කරගන්න එපා!

මෙන්න මේක ප්‍රධානතම කාරණාවක්. ඒ කියන්නේ තමන්ව නැති කර නොගැනීම. වෙනත් විදියකට කියනවා නම්, තමන්ගේ වටිනාකම පිළිබඳව තියෙන හැඟීම නැතිකර නොගැනීම. සමහර විට මේක සිද්ධ වෙන්නේ තමන්ගේ වරදක් නිසා වෙන්න පුළුවන්. එහෙමනම් අපි ඒ වරද හදාගෙන සමාව ඉල්ලන්න තරම් ජෙනුයින් වුණා කියන්නේ තමන්ගේ හොඳ කොලිටි එකක්. වරදක් නැතිවත් අනික් පාර්ශවයෙන් අපිටම වැරැද්ද පටවනවා නම්, ඒක අපිට අදාළ කරගන්න අවශ්‍ය නෑ. මොකක් හරි හේතුවක් හදාගෙන එයා යන්න හදනවා නම්, එහෙම යන අය යන තරමටම හොඳයි. 

 

කොටින්ම කියනවා නම් තමන්ගේ වටිනාකම තේරුම් ගන්න. ඒ වටිනාකමට අනුව කටයුතු කරන්න. වැරැද්දක් තිබේ නම් අවංකවම සමාව ඉල්ලලා වැරැද්ද හදාගන්න. එතනින් එහාට තමන්ව අඩුතක්සේරුවට දාලා තමන්ව නැති කර නොගන්න. පාට්නර් අපේ මධුසමය ඉවර කරලා යන්න හදනවා කියන්නේ ලෝක විනාශය නෙවෙයි.

 

ඇත්තටම ආදරේ කියන එකට නිර්වචනයක් දෙන්න පුළුවන් නම්, ආදරේ කියන එකේ තේරුම බලෙන් අල්ලගෙන ලඟ තබාගැනීම නෙවෙයි කියන එක තමයි අපි තේරුම් ගන්න වුවමනා. කාලෙකට පස්සේ එයාට යන්න ඕන වෙනවා නං, එයා නෙවෙයි අපේ ජීවිත කාලේ පුරාවටම ලඟ ඉන්න පෙරුම් පුරාගෙන ආපු කෙනා. ඒ නිසා හොඳම දේ තදින් අල්වාගෙන, බදාගෙන ඉන්නේ නැතුව අත්හැරීම…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *