අපි මීට කලින් ලිපියකින් කතා කළානෙ ලෝකෙ එක එක රටවල් වල විවිධ සටන් ක්‍රම ගැන. ඒ ලිපියෙදි කිව්ව වගේම මේ සූදානම ඒ එක එක සටන් ක්‍රම ගැන සවිස්තරාත්මකව කතා කරන්න. ඉතින් අපි කලිනුත් පැහැදිලි කළා වගේ ලංකාවට ආවේණික, අපේ පෞරාණික සටන් ශිල්ප ක්‍රමය තමයි අංගම්පොර කියල කියන්නෙ. හුඟක් දෙනෙක් නමින් අහල තිබුණට වැඩි විස්තරයක් දන්නෙ නැහැ. හැබැයි මේ අංගම්පොර කියල කියන්නෙ බොහෝම පැරණි වගේම හරිම දියුණු සටන් ක්‍රම අනුගමනය කෙරෙන සටන් කලාවක්. කියවලම බලන්නකෝ පෞරාණික අංගම්පොර සටන් ගැන මේ කතන්දරය.
1. අංගම්පොර
අංගම්පොර කියන සටන් ක්‍රමය ඒ නමින් විතරක් අපි හැඳින්වුවට මේ සටන් කලාව ඇතුලේ අංගම්පොර සහ ඉලන්ගම්පොර කියල ප්‍රධාන කොටස් දෙකක් ඇතුළත් වෙනව. අංගම් එහෙමත් නැත්තම් අංග කියන්නෙ ශරීරයේ කොටස්. මේ කොටස් ඒ කියන්නෙ අත පය යොදාගෙන කරන සටන් අංගම්පොර කියලා හැඳින්වෙනව. ඒ වගේම ආයුධ භාවිතා කරල කරන සටන් ඉලංගම්පොර කියල හැඳින්වෙනව. මේ ප්‍රධාන කොටස් දෙකට අමතරව මේ කලාවට සම්බන්ධ ගුප්ත ක්‍රම මායා අංගම් කියලත් හැඳින්වෙනව. හරියට මේ සටන් කලාව දැනගන්න නම් මේ ක්‍රම තුනම ප්‍රගුණ කරන්න අවශ්‍යයි.
2. ඉතිහාසය
අංගම්පොර කලාව කියල කියන්නෙ අපි නොහිතන තරම් ඈත ඉතිහාසයක් තියෙන සටන් කලාවක්. ඉතිහාසයේ සුර අසුර යුද්ධේදී පවා භාවිතා කරපු ඉතාම පැරණි සටන් ක්‍රමයක් කියල තමයි මේ අංගම්පොර සැලකෙන්නේ. පහුකාලීනව රාවණා රජු සමයේදී තමයි මේ සටන් කලාවට නිල සාශ්ත්‍රය ඇතුළත් උනා කියල කියන්නෙ. රාවණා රජු වෙදකම වගේම නිල ශාස්ත්‍රය ගැන ලොකු දැනුමක් තිබුන කෙනෙක්. ඒ දැනුම ප්‍රයෝජනයට අරගෙන එකතු කරපු නිල වලට පහර දීලා සතුරාව යටත් කරගන්නා ක්‍රම නිසා මේ සටන් ක්‍රමය තවත් සුවිශේෂී සටන් ක්‍රමයක් බවට පත්වෙලා තියෙනවා. කොහොම උනත් මේ අංගම්, ඉලන්ගම් සහ මායා අංගම් ඔක්කොම ඇතුළත්ව සම්පූර්ණ අංගම් කලාවම ඉගෙන ගන්නනම් එක පුද්ගලයෙකුට තමන්ගේ ජීවිත කාලෙම මදි කියල තමයි කියන්නෙ.
3. සටන් ශිල්ප ක්‍රම
ලෝකේ හුඟක් සටන් ශිල්ප ක්‍රම වලදී එක දෙයකට තමයි වැඩි අවධානයක් දීලා තියෙන්නෙ. ඒ කියන්නෙ මෙන්න මෙහෙමයි, කරාතේ නම් අත පය යොදාගෙන සටන් කිරීම, වුෂූ නම් ආයුධ එක්ක සටන් කිරීම වගේ. හැබැයි අපි කලිනුත් කිව්ව වගේ අංගම්පොර කියන්නෙ අතපය, ආයුධ වගේම නිල ශාස්ත්‍රය පවා භාවිතා කෙරෙන ඉතා දියුණු සටන් ක්‍රමයක්.
4. රාවණා බලපෑම
රාවණා රජු කියන්නෙ අංගම්පොර කලාව වෙනස්ම තැනකට ඔසවලා තියපු, ඒ වෙනුවෙන් අංගම් සටන් ප්‍රගුණ කරන තැන්වලදී අදටත් වැඳුම් පිදුම් ලබන රජ කෙනෙක්. රාවණා රජු තමයි මේ අංගම්පොර සටන් කලාවට නිල ශාස්ත්‍රය හඳුන්වා දෙන්නේ. මේ විදිහට හඳුන්වා දීපු නිල ශාස්ත්‍රය මේ සටන් කලාව සම්බන්ධව හැමදෙනාවම මවිත කරන කාරණාවක්. සාමන්‍යයෙන් මිනිස් ශරීරයේ නිල 107ක් තියෙනවා. එයිනුත් 20ක් මාරාන්තික නිල. මේ නිල වලට පහරදීලා සතුරා ක්ෂණිකව මරණයට පත්කරන, දවසකින්, දෙකකින් වගේ යම්කිසි කාලයකින් මරණයට පත්කරන, සතුරා ගොළු බිහිරි කරන විවිධ විදිහේ පහරදීම් කරන්න පුළුවන්.
5. ගුරුකුල
අංගම්පොර කලාව කියන්නෙ හැමෝටම උගන්නන්න පුළුවන් කලාවක් නෙමෙයි. ඒ කිව්වේ සටන් කලාව ඉගෙන ගත්තත්, හොඳටම දැනගත්තත් හැමෝටම මේ කලාව උගන්නන්න බැහැ. ඒකට ඒ කාලේ ඉඳලම පැවතගෙන එන ප්‍රසිද්ධ ගුරුකුල දෙකක් තියෙනවා. ඒ තමයි සුදලිය සහ මරුවල්ලිය කියන පරම්පරා දෙක. තව වෙන වෙන සුළු පරම්පරා තිබුණත් මේ ප්‍රධාන පරම්පරා දෙක රජුට පක්ෂපාතීත්වයෙන් හිටපු පරම්පරා දෙකක් නිසා අද වෙනකන්ම අංගම් උගන්වන ගුරුකුල විදිහට පැවත එනවා කියල තමයි සඳහන් වෙන්නෙ. කොහොම උනත් ඒ කාලේ තිබුණ පිවිතුරු සටන් කලාව මේ දවස්වල ඒ විදිහෙන්ම ඉගැන්වෙන්නේ නම් නැහැ. ඒකත් ටිකෙන් ටික මුදලට විකිණෙන කලාවක් වෙමින් තියෙන බවක් තමයි පේන්නෙ.
6. සටන් ඉගැනුම
ඉගැන්නිල්ල වගේම තමයි ඉගෙන ගැනිල්ලත්. මේ සටන් කලාව ඉගෙන ගන්නත් ආවාට ගියාට බැහැ. ඒ කිපයන්නෙ හිටි ගමන් හිතෙන ඕනම කෙනෙකුට අංගම්පොර ඉගෙන ගන්න බැහැ. ඒ ඉගෙන ගන්න අවශ්‍ය කෙනාගෙ උපන් වෙලාව අනුව සකස් කරපු වේලා පත්කඩය පරික්ෂා කරල ඒකෙ ග්‍රහ පිහිටීම් අනුව තමයි තීරණය කෙරෙන්නෙ මේ පුද්ගලයට මේ කලාව පිහිටනවද, උගන්නන්න පුළුවන්ද කියල. එහෙම බලලා ගුරුවරයා තෝරාගන්න අයට තමයි සාමාන්‍යයෙන්නම් මේ අංගම්පොර උගන්වන්නේ.
7. අංගම්පොර තහනම
අපි කලින් සඳහන් කරපු මේ සටන් කලාවේ විශ්මිත භාවය නිසාම විදේශ ආක්‍රමණ වලදී ඒ ආක්‍රමණිකයින්ට මේ සටන් ගැන දැනගන්න ලැබෙනවා. ආයුධ මුකුත්ම නැතුව මිනිස්සු මැරිලා වැටෙන්න පහරදෙන මේ සටන් කලාව ගැන ඔවුන් විමතියට පත්වෙනවා. මේ සටන් ක්‍රමය නිසාම සිංහලයා පරද්දන්න අපහසු බව තේරුම් ගත්තු මේ විදේශ ආක්‍රමණිකයින් අංගම්පොර සටන් කලාව තහනම් කරනවා. ඒ 1818 වර්ෂයේදී. බ්‍රිතාන්‍ය ජාතිකයින් ගැසට් නිවේදනයක් නිකුත් කරලා මේ සටන් ක්‍රමය ලංකාව තුළ තහනම් කරනවා. ඒ නිසාම තමයි මේ සුවිශේෂී සටන් ක්‍රම අභාවයට යන්නෙ. ඒත් දිවි පරදුවට තියලා වනගත වෙලා වගේම ඉතා සූක්ෂම විදිහට උඩරට සම්ප්‍රදායික නැටුම් කලාවත් එක්ක මේ සටන් ක්‍රමයේ පිනුම් එහෙම එකතු කරලා ඒවා ආරක්ෂා කරගෙන ආපු පැරැන්නන් නිසාම අදටත් මේ සටන් ශිල්ප ක්‍රමය මේ මට්ටමින් හරි ආරක්ෂා වෙලා තියෙනවා.
Leave a Reply