දැන් ඔය වින්ග්මෑන් කෙනෙක් කියන්නේ මොකෙක්ද හැබෑටම? ඇත්තටම වින්ග්මෑන් කියලා ඉංග්‍රීසියෙන් කියන වචනෙට තේරුම් කීපයක් තියනවා. පළවෙනි එක තාක්ෂණික අර්ථයක්. ඒ කියන්නේ අර ෆයිටර් ප්ලේන් එකක, එලවන පයිලට්ට අමතරව තව සහායට දෙවෙනි පයිලට් කෙනෙක් ඉන්නවනේ. ආන්න එයා තමයි වින්ග්මෑන්. ඔය වචනෙට දෙවෙනි අර්ථයකුත් තියෙනවා. ඒ තමයි, අපි ඕනම කෙනෙක්ට උදව් පදව් කරන, අපිට මඟ පෙන්වන මිත්‍රයෙක් කියන එක. ඒ වගේම, වඩාත් ජනප්‍රිය තුන්වෙනි අර්ථයකුත් ඔය වචනෙට තියෙනවා. ආන්න ඒක තමයි අපිට මෙතනදී වැදගත් වෙන්නේ. මේ තුන්වෙනි අර්ථය තමයි, කොල්ලෙක්ට රොමෑන්ටික් සම්බන්ධයකට යන්න, ඒ කොල්ලා කැමති වෙලා ඉන්න කෙල්ලෙක්ව සෙට් කරගන්න උදව් කරන මිත්‍රයා කියන එක. විශේෂයෙන්ම මෙතනදී අර ලියුම් එහෙට මෙහෙට ගෙනිහින් දෙන සහායක ඩැනී චරිතෙට වඩා, කොල්ලෙක්ට තමන් හිත ගියපු කෙල්ලෙක්ව ආකර්ෂණය කරගන්න උදව් කරන මිත්‍රයා කියන අර්ථය තමයි වින්ග්මෑන්ට තියෙන්නේ.
දැන් වින්ග්මෑන් කියන වචනේ තේරුම දැනගත්තනේ. එතකොට දන්නවද කොහොමද හරියට වින්ග්මෑන් කෙනෙක් වෙන්නෙ කියලා? ආන්න ඒක ටිකක් හිතලා බලන්න ඕන කාරණයක්. මොකද, ගොඩක් කොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි, තමන්ට කෙල්ලෙක්ව හරියට සෙට් කරගන්නත් බැරුව කොහොමද තව එකෙක්ට කෙල්ලෙක්ව සෙට් කරගන්න උදව් කරන වින්ග්මෑන් කෙනෙක් වෙන්නේ කියන එක. ඇත්තටම වින්ග්මෑන් කෙනෙක් වෙන එක තමන්ට කෙල්ලෙක් සෙට් කරගන්නවා තරම් අමාරු නෑ. ඒකට ටිප්ස් ටිකකුත් අපි සපයලා දෙන්න සූදානම්!
01. ජොබ් එක මතක තියාගන්න!
වින්ග්මෑන්ට තියෙනවා ජොබ් එකක්. මොකක්ද ජොබ් එක? තමන්ගේ මචංට හිත ගියපු කෙල්ලව සෙට් කරගන්න උදව් කරන්න. ඔය ජොබ් එක සෙට් වෙන්න පුලුවන් විවිධ විදියට. පෙරුම් පුර පුරා හිටපු කෑල්ල එන සැණකෙලියට ගිහින් අද කොහොමහරි වචනේ දාන්න මචං අපිට කතා කරන්න පුලුවන්. නැතිනම් දෙන්නත් එක්ක ඔෆිස් ඉවරවෙලා ඇවිත් පබ් එකේ බියර් එකක් ගහ ගහ ඉන්නකොට එතන හිටපු කෑල්ලකට හිත ගිහින්, පොඩ්ඩක් ටෝකක් දාන්න පුලුවන්ද කියලා බලන්න යන්න මචං අපිට කතා කරනවා වෙන්න පුලුවන්. ඔය කොයික වුණත්, මචං අපිට වින්ග්මෑන් වෙන්න කතා කළොත්, අපිත් ඒකට එකඟ වුණොත්, ආයෙ අපිට අවධානය අරෙහෙ මෙහේ යවන්න බැහැ කියන එක මතක තියාගන්න. ජොබ් එක තමයි මචංට සපෝට් එක දෙන එක.
02. මචංගෙ දවස හොරකම් නොකරන්න!
මෙන්න මේක ඉතාම වැදගත්. උඩ අපි කිව්වනේ වින්ග්මෑන් වෙන්න එකඟ වෙනවා කියන්නේ ජොබ් එකක් වගේ කියලා. දැන් හොඳට මතක තියාගන්න, මෙතන අපේ ජොබ් රෝල් එක වෙන්නේ අපි කොයි තරම් සිරාද, ඉන්ටරස්ටින්ග් ද, ආතල් ද කියන එක පෙන්නන්න දඟලන එක නෙවෙයි කියලා. මෙතනදී ඇත්තටම ස්ටාර් වෙන්න ඕන අපේ මචං ෆිට් එක. අපි මෙතනදී ඉන්නේ ඌට ස්ටාර් වෙන්න සපෝට් එක දෙන්න. අන්න ඒ නිසා, අපි ඌට වඩා ඉහළින් කලර්ස් පෙන්නන්න යෑම, එහෙම නැතිනම් ඌව බයිට් එකට ගැනීම, ඌව කපලම දැමීම වගේ දේවල් කරන්න හොඳ නෑ!
උදාහරණයක් විදියට කිව්වොත්, සමහර විට මචං යාළුවට ඇත්තටම විහිළු බැරි වෙන්න පුලුවන්. අපිට ගේමක් නැතුව ඕන සබාවක් හිනාගස්සන්න හැකියාවක් තියෙන්න පුලුවන්. හැබැයි මෙතනදී ඒ හැකියාව පාවිච්චි කරන්න යන්න එපා. තමන්ටත් විහිළු බෑ වගේ ඉන්න. යාළුවට කලර්ස් පෙන්නන්න කරන දෙයක් කරගන්න දෙන්න.
03. මචං ගැන හැමදේම දෙකෙන් ගුණ කර නොකියන්න!
දැන් වින්ග්මෑන්ගේ රාජකාරියේ කොටසක්නේ මචං යාළුවට දවසේ ස්ටාර් වෙන්න උදව් කරන එක. ඒ කියන්නේ, පොරගෙ හිත ගියපු කෙල්ල, පොර තනියෙන් එතනට ගිහින් ටෝක් කළා නම් සතපහකට ගණන් නොගන්න පුලුවන් පොරව. හැබැයි අද දවසෙදි කෙල්ලගේ අවධානය දිනාගත්තු ඩයල් එකක් වෙන්න මචං යාළුවට උදව් කරන එක තමයි කරන්න තියෙන්නේ. එතනදී අපිට මචං යාළුවව නග්ගලා තියන්න වෙනවනේ. හැබැයි ඒක කරන්න ඕන අතිශයින්ම සියුම් විදියට. “මූට ලන්ඩන් වලත් ගෙයක් තියෙනවා, ප්‍රයිවට් ජෙට් එකේ තමයි පාං රාත්තලක් ගේන්න පැරිස් යන්නෙත්, මූට ඉතින් කොයි වෙලෙත් වැඩ, කොම්පැණි දහයක් විතර බලන්න තියෙනවනේ” වගේ ටෝක්ස් දීලා, ඌට කැස්සක් ආවහම, “ආයෙ ඉතින් මූට කාසේ, මූට සෙල්ලං ලෙඩ හැදෙන්නෑනේ” කියලා කාඩ් එක ඉරලම දාන්න යන්න එපා. කොටින්ම කියනවා නම් වින්ග්මෑන්ගේ රාජකාරිය වෙන්නේ මචං ෆිට් එක වෙනුවෙන් උගේ පම්පෝරිය ගහන එක නෙවෙයි කියලා මතක තියාගන්න.
ඊට වඩා සියුම් විදියට මචං ෆිට් එක උඩට නග්ගලා තියන්න වින්ග්මෑන් කෙනෙක්ට පුලුවන් වෙන්න ඕන. උදාහරණයක් විදියට, කෙල්ල මාකටින් කරන ඩයල් එකක් නම්, කෙල්ල ඔෆිස් එකේ වැඩ වැඩි වීම ගැන කතාවක් ඇදලා ගත්තොත්, අපිට පුලුවන් මචං ෆිට් එකගෙන් අහන්න, “උඹ අර එදා කියපු වැඩ ප්රයෝරිටයිස් කරගන්න ටෙක්නික් එක මොකක්ද මචං?” කියලා. එහෙම නැතිනම්, හොලිඩේ එකට ට්‍රිපක් යන්න පුලුවන් තැන් ගැන කෙල්ල කතාවක් ඇදල ගත්තොත්, අපිට පුලුවන් එයා යන්න ආස තැන් ගැන අහලා, එයා රිවර්ස්ටන් හරි හෝර්ටන් හරි කිව්වොත්, මචං ෆිට් එකට පිටිය හදලා දෙන්න, පොර හෝර්ටන් ප්ලේස් කෑම්පින් ගියපු සීන් එක මතක් කරලා. හැබැයි ඉතින් මචං ෆිට් එකත් දැනගන්න ඕන, එතන ඉඳන් හෝර්ටන් ප්ලේස් කෑම්පින් කරපු පම්පෝරිය ගහන්නෙ නැතුව, බොහොම සරල විදියට වැදගත් වෙන ටිප්ස් ටිකක් දීලා, එතන ලස්සන ගැන කියලා, ලකුණු දාගන්න. ඔය උදාහරණ කීපයක් විතරයි.
04. වින්ග්මෑන් විදියට මචං ෆිට් එක ගැන රෙස්පොන්සිබල් වෙන්න
මෙන්න මේකත් වැදගත්. ඒ තමයි, මචං ෆිට් එක සම්බන්ධයෙන් රෙස්පොන්සිබල් පිට සිටීම. හරියට වෙඩිමක බෙස්ට්මන් වෙනව වගේ. උදාහරණයක් විදියට කිව්වොත්, පොරට බොන ලිමිට් නැති නම්, අපි අවධානයෙන් ඉන්න ඕන පොරට කරටි කැඩෙන්න ගහන්න නොදී. පොර ගොන් කතාවක් එහෙම කෙල්ලො සෙට් එක මැද්දෙ කියල බයිට් වුණොත්, ෂේප් එකේ කතාව වෙන පැත්තකට හරවලා හරි පොරව බේරගන්න ඕන. එතකොට පොර ඕවර් යන තැනක් එහෙම ආවොත්, ෂේප් එකේ පොරව කන්ට්‍රෝල් කරගන්නත් ඕන. හැබැයි මේ එක දෙයක්වත් කරන්න ඕන ප්‍රසිද්ධියේ, සෙට් එකටම පේන්න නෙවෙයි. එතකොට ඉතින් මචං ෆිට් එකේ පටිත් රෝල් වෙලා, උගේ චාන්ස් එකත් ගහල යනවා. ඒ නිසා කාටවත් නොදැනෙන්න තමයි මේ විදියට කරන්න ඕනේ. ඒ වගේම, අපිත් ලිමිට් පනින්න බොන්නෙ එහෙම නැතුව ඉන්න ඕන. මතක තියාගන්න. පළවෙනි පොයින්ට් එකේ කිව්වා වගේ මේක ජොබ් එකක්!
05. කොහොමද අඳුන්වලා දෙන්නේ?
දැන් සාමාන්‍යයෙන් වෙන විදිය තමයි, වින්ග්මෑන් මුලින්ම අර අපේ මචංට හිත ගියපු කෙල්ල නැතිනම් හිත ගියපු කෙල්ල සහ කෙල්ලගෙ ගැංසිය ඉන්න තැනට ප්ලග් වෙන්නේ. වින්ග්මෑන්ට අනවශ්‍ය චකිතයක් නැතුව ඒක කරන්නත් පුලුවන්. මොකද, පොරගෙ අරමුණ අද දවසේ කෙල්ලෙක්ව සෙට් කරගන්න එක නෙවෙයිනේ. ඊට පස්සේ සංවාදය ගාණට නග්ගලා ගත්තහම, මචං යාලුවට එතනට ප්ලග් වෙන්න පුලුවන්. අන්න එතකොට අපි කියන්නේ “ගෑණු ළමයිනේ, මේ තමයි අඳුනගන්න සිරිපාල” කියලද? නෑ. මතක තියාගන්න. මෙතන අපිට වැදගත් තැන දෙන බව පෙන්නන්න ඕන යාළුවට නෙවෙයි. පොර ටෝක් කරන්න බලං ඉන්න ගෑල්ලමයට තමයි වැදගත් තැන ලැබෙන්න ඕන. එතකොට අපි කියන්න ඕන, “සිරිපාල මචං, මේ ඉන්න ලස්සන ළමයි දෙන්න උඹට හම්බෙලා නෑ නේද, මේ අහවලී, මෙයා අහවලී” කියලා!
හැබැයි මේ විදියටම වෙන්න ඕන කියලා එකක් නෑ. ඕන නම් දෙන්නටම ගිහින් කතාවට සෙට් වෙන්නත් පුලුවන්. මචං ෆිට් එක කලින් යවලා, වින්ග්මෑන් විදියට අපිට ඊලඟට කතාවට සෙට් වෙන්නත් පුලුවන්!
06. ලීඩ් එක දෙන්න ඕන වැඩේ ඉන්න කෙනාට
ඇත්තටම යාළුවෙක්ට එක රෑකට හරි වින්ග්මෑන් කෙනෙක් වෙනවා කියන්නේ ඔය ඊගෝ සීන් එහෙම ගෙදර තියලා එන්න ඕන ජොබ් එකක්. උදාහරණයක් විදියට කිව්වොත්, සංවාදේ සෙට් වෙලා නැගලා යනකොට, අපි හැමවෙලේම එතන ලීඩ් එක ගන්න ගියොත්, මචං යාළුවගෙ දවස එහෙම්මම ගහලා යනවා. ඇත්තටම අපි ස්වභාවයෙන්ම තැනකට ගියහම ලීඩ් එක ගන්න චරිතයක් තියෙන කෙනෙක් වෙන්න පුලුවන්. මචං යාළුවා එහෙම නැහැ වෙන්න පුලුවන්. ඒත් වින්ග්මෑන් ජොබ් එක හම්බුණු අද දවසේ ඒක අමතක කරන්න. වෙනද වගේ ලීඩ් එක අපි ගන්න යන්නෙ නැතුව, ලීඩ් එක ගන්න යාළුවට ඉඩ දෙන්න!
07. තමන්ටත් සෙට් වුණාට අවුලක් නෑ, හැබැයි ජොබ් එක අමතක නොකර
සමහර විට වින්ග්මෑන් ජොබ් එක කරන්න ගිහින් අපිටත් කෑල්ලක් සෙට් වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට කිව්වොත් දැන් අපි කියමු වින්ග්මෑන් වෙන තමන් සහ යාළුවා ඉන්නවා. ඒ එක්කම යාළුවාගේ හිත ගිහින් ඉන්න කෙල්ල ඉන්නවා, සහ කෙල්ලගේ හොඳම යාළු තව කෙල්ලෙක් ඉන්නවා කියලා. එතකොට අපි යාළුවගෙ හිත ගියපු කෙල්ලට ටෝක් නොකළට, ඒ කෙල්ලගෙ හොඳම යාළු කෙල්ල ඔන්න අපිට ඉන්ටරෙස්ට් වගේ තේරෙනවා. ඒක හොඳයි, කිසිම ගැටළුවක් නෑ. අපිට පුලුවන් ෂේප් එකේ යාළු ගෑල්ලමයව ටෝක් කරන්න. හැබැයි අපි එතන ඉන්න ජොබ් එක අමතක නොකර. යාලුවට සපෝට් කරන එක තමයි ප්‍රමුඛතා අංක එක. අපිට ටෝක් වෙමින් පවතින යාළු මචංගේ හිත ගියපු ළමයගෙ බෙස්ටි ළමයව සෙට් කරගන්න එක ප්‍රමුඛතා අංක දෙක. දැන් යාළු මචංගේ වැඩේ හරිගියොත්, අපිට පුලුවන් ෂේප් එකේ බෙස්ටි ළමයත් ඇදගෙන පොඩ්ඩක් අරුන් දෙන්නගෙ ප්‍රයිවසිය උන්ට දීලා අපේ වැඩක් බලාගන්න. ඇත්තටම හිත ගියපු කෙල්ලගෙ යාලුවා අපිට අවධානය දෙනවා නං ඒකත් හොඳයි. මොකද, එතකොට යාළු මචං කෙරෙහි හිත ගියපු කෙල්ලගේ සම්පූර්ණ අවධානය තියාගන්න පුලුවන්.
දෙකම හරිගියොත් ඕන නං ඩබල් ඩේට් පාරක් හරි දාන්න බැරියැයි!
08. හරි වෙලාවට මාරු වෙන්න
මෙන්න මේකත් වැදගත්. වැඩේ හරියන්නෙම නෑ වගේ නං, තව ඉන්න එකෙන් වෙන්නෙ යාළු මචං චාටර් වෙන එක නම්, උගේ නම්බුවට බඩුබනිස් වෙන්න කලින් ෂේප් එකේ ඌවත් ඇදගෙන මාරු වෙන එක වැදගත්. හැබැයි ඒ වෙන්න පුලුවන් නරකම දේ නේ. එහෙම නැතුව පොරගෙ ලක් එක වැඩ කරනවා නං, හිත ගියපු කෑල්ලගේ ගත සිත සම්පූර්ණයෙන්ම යාළු මචං කෙරෙහි අවධානයෙන් නම් තියෙන්නේ, අපිට පුලුවන් ෂේප් එකේ ලිස්සලා යන්න. මෙතනදී වැදගත් දේ වෙන්නේ, යාළු මචං අපිට අවධානය දීලා, ඌත් එක්ක හිටියට තෑන්ක් කරලා, අපිව කාර් පාක් එකටත් දාලා යන එක නෙවෙයි. එව්වා කරන්න ගියොත් ටෝක් වීගෙන ආපු හිත ගියපු කෙල්ල එතනින් එහාට ඉන්ටරස්ට් එක නැතිවෙන්නත් පුලුවන්. ඒ වෙනුවට, එක්කෝ ෂේප් එකේ දෙන්නටම කියලා, මොකක් හරි නිදහසට කාරණයක් හදාගෙන ලිස්සලා යන්න ඕන. ඒ යන එක බිග් ඩීල් එකක් නොවෙන විදියට යන්න පුලුවන් වෙන්න ඕන. එහෙම නැතිව උන් දෙන්නා දැනටමත් උන් දෙන්නගේ ලෝකේ තනිවෙලා නම්, නොකියම ගියත් කාරියක් නෑ.
ඒ වගේම වැදගත් දේ, හරි වෙලාවට තමන් මාරු වෙන එක. උදාහරණයක් විදියට, හිත ගියපු කෙල්ල සම්පූර්ණයෙන්ම වගේ යාළු මචංට ආකර්ෂණය වෙලා නම් ඉන්නේ, අපි තවදුරටත් එතන ඉන්න එක ඇණයක් වෙනවා. එතකොට යාළු මචංට හිත ගියපු කෙල්ලගෙ හිතේ යාළු මචං ගැන ආකර්ෂණයක් ඇතිවෙන්න පදනම වැටිලා, හැබැයි ඒක සක්‍රියව සංවර්ධනය වෙන්න ඉඩක් ලැබිලා නැති නම්, ඒ කියන්නේ තාම මූලික වර්ධනයේ නම් තියෙන්නේ, අපි එතනින් යනවා කියන්නේ යාළු මචං අනාත වෙන්න පුලුවන්. ඒ නිසා, යන්න ඕන හරි වෙලාව ගැන අවධානයෙන් ඉන්න එක වින්ග්මෑන් ජොබ් එකේම කොටසක්!
09. සෙට් වෙන ඩයල් එකකට වින්ග්මෑන් වෙන්න
මේක ඇත්තටම මුලින්ම කියන්න ඕන පොයින්ට් එකක්, හැබැයි අපි දැන් කියනවා. අපිට මොකා වින්ග්මෑන් වෙන්න කතා කළත්, අපි ඒකට හා කියන්න කලින් අපිට හොඳ අදහසක් තියෙන්න ඕන, ඇත්තටම මේක නුවණක්කාර වැඩක්ද කියලා. ඒක නුවණක්කාරද නැද්ද කියන එක තීරණය වෙන්නේ එකක්, මචං ෆිට් එක ඉන්නේ දළ වශයෙන් හරි අපේ ලෙවල් එකේද කියන එක මත. ඊලඟට, මචං ෆිට් එකේ චරිතේ, හැසිරීම කොහොමද කියන එක මත!
කොහොම කළත් මිනිස්සු අතරේ විවිධ තරාතිරම්, මට්ටම් තියෙනවනේ. අපි ඔෆිස් එකේ ක්ලාක් වෙනකොට, මචං කෝටිපති බිස්නස් ඩයල් එකක් නම්, දෙන්නා අතරේ ගැප් එක ලොකුයි. ඒ වගේම, අපි එක්සෙකටිව් ජොබ් එකක් කරන අතරේ, මචං එදා වේල ටුවර්ස් දුවන එකෙක් නං, ඒත් ගැප් එක වැඩියි. ඒක සාමාන්‍ය ජීවිතේදී එච්චර අදාළ නොවුණට, මේ වගේ දේකදී අදාළ වෙනවා. ඒ කොහොමද කියලා කියන්නං. දැන් අපිට පිළිගන්න වෙනවා, මචං ෆිට් එක අපිට වඩා සෑහෙන්න පහළ ලෙවල් එකක නම් ඉන්නේ, පොරට වින්ග්මෑන් වෙන එක අනතුරුදායකයි කියන එක. ඇයි? මචංට සෙට් කරන්න යන කෙල්ල අපිට වැටෙන්න තියෙන ඉඩ ඉතාම වැඩියි. අන්තිමට මචං යාළුවත් අප්සෙට්. අනික් අතට, මචං අපිට වඩා සෑහෙන්න ඉහළ ලෙවල් එකක නම් ඉන්නේ, පොරට වින්ග්මෑන් වෙන එක අපේ ඊගෝ එකට, ආත්ම ගරුත්වයට හානියක් වෙන්න තියෙන ඉඩ වැඩියි. ඇයි? කෙල්ල අනිවා වැටෙනවනම් වැටෙන්නේ මචංට තමයි. හැබැයි අපි දිහා නහයට පහළින් බලන්න, අපිව කිසිසේත්ම ගණන් නොගෙන ඉන්න අවදානමක් තියෙනවා.
ඒ එක්කම, මචං ෆිට් එකේ හැසිරීම, චරිතේ තනිකරම ඩස්පි නං, පොරට වින්ග්මෑන් වෙන එක තමන්ගෙත් චරිත ඝාතනයක් වෙන්න පුලුවන්. අපි කියමු පොර බිව්වට පස්සේ අමු සතා වෙනවා කියලා. ඉතින් පොරට වින්ග්මෑන් වෙලා පොරට කෙල්ලෙක්ව ටෝක් කරගන්න උදව් කරන්න ගිහින්, පොරගෙ ඇල්කොහොල් ලෙවල් අවුල් ගිහින් අර කෙල්ලගේ දවසත් ඉවර වෙන විදියට පොර යකා නටනවා කියන්නේ, අපිටත් ආයෙ එතන දන්න කියන කෙල්ලෙක්ව සෙට් කරගන්න එක ඉම්පොසිබල් වෙන්න පුලුවන්!
හරි, දැන් යාළුවගේ වින්ග්මෑන් වෙලා, ඌට හිත ගියපු කෙල්ලව සෙට් කරගන්න බොක්කෙන්ම සපෝට් එක දුන්නා කියමුකෝ. එතකොට අපිට මොනවද ලැබෙන්නේ? ඇත්තටම අපිටත් ලැබෙන දේවල් තියෙනවා. එකක් යාලුවගේ හොඳ හිත. දෙක, අපිත් එක්කම වේලි වේලි හිටපු යාලුවට කෙල්ලෙක් සෙට් වුණු සතුට. තුන, ගොඩක් වෙලාවට යාලුවා ගාණේ එදා රෑට විතරක් හරි ෆ්‍රී ඩ්‍රින්ක්ස්. හතර, යාලුවට කෙල්ලෙක් සෙට් කරගන්න උදව් කරපු එකේ පින. ඒ පින් බලෙන් හරි අපිටත් ඊලඟ සතියේ කෙල්ලෙක් සෙට්වේවා කියලා පින් අනුමෝදන් කරගන්න තමයි තියෙන්නේ!
Leave a Reply