දැන් ඔය කිස් කරන එක අපි ඕනම කෙනෙක් කරන්න ආස, ජීවිතේ කවදාහරි කරන්න ලැබෙන දෙයක්නේ. කිස් කරනවා කියන එක බැලුවහම අමාරු වැඩකුත් නෙවෙයි. හැබැයි එහෙම කිව්වට, සරල කිස් එකක්වත් දෙන්න දන්නෙ නැති මිනිස්සුත් ඕනෑ තරමට ඉන්නවා. උදාහරණයක් විදියට කිව්වොත්, හරියට කිස් එකක් දෙනවා කියන්නේ නිකම්ම නහය ගාවලා හුස්ම උඩට අදින එක නෙවෙයි. කෙනෙක් කියන්න පුලුවන් ඉතින් වැඩේ කෙරෙනවා නං කොහොම කිස් කළත් මොකැයි කියලා. එහෙම හරියන්නෙ නෑ. හරියට කිස් කළහම තියෙන ෆීල් එක, වැරදියට කිස් සීයක් දුන්නත් ලැබෙන්නෙත් නෑ, ලබාදෙන්නත් බෑ. ආන්න ඒ නිසා, හරියට කිස් කරන්න ඉගෙන ගන්න එක වටිනවා.
දැන් අපි කලින් ආටිකල් එකක කිව්වනේ කොහොමද හරියට තොල් කිස් කරන්නෙ, එහෙම නැතිනම් ෆ්‍රෙන්ච් කිස් එකක් දෙන්නේ කියලා. මේ කියන්න යන්නේ, ෆ්‍රෙන්ච් කිස් නොවෙන වෙනත් ඕනෑම කිස් එකක් හරියට දෙන්නෙ කොහොමද කියන එක තමයි! වැඳගෙන අහගෙන ඉන්නලා, වැඳගෙන!
මතක් කිරීමක්!
කිස් එකේ පටන් ගැන්මට අපි ආයෙමත් මතක් කරන්න කැමතියි, ෆ්‍රෙන්ච් කිස් ආටිකල් එකේ කියපු විදියටම තමන්ගේ මුඛ සෞඛ්‍යය හොඳින් පවත්වා ගැනීම හොඳ කිස් එකකට අත්‍යවශ්‍යයි කියන කාරණය. ඒ කියන්නේ නිරතුරුවම දත් මැදලා, කෑමක් කාපුවහම කට හෝදලා කාරිය ඉන්න ඕන. එතනදි මවුත් වොෂ් එහෙමත් භාවිතයට ගන්න එක හොඳයි. ඒ හැරෙන්න හොඳට වතුර බොන එක, සමබල ආහාරයක් ගන්න එක වගේ දේවලුත් තමන්ගේ මුඛ සෞඛ්‍යය හොඳින් පවත්වාගන්න අවශ්‍ය වෙනවා කියලා මතක තියාගන්න ඕන.
01. කිස් එකේ අරමුණ
දැන් ඔන්න අපිට කෙනෙක්ට කිස් එකක් දෙන්න හිතෙනවා. එතකොට අපි හිත හිතා ඉන්නවද “මේ සිපගැනීමේ අරමුණ මොකක්ද?” කියලා. නෑනේ. හිතුනා, ඉම්බා. හැබැයි අපි කාවහරි කිස් නොකරමින් ඉන්න වෙලාවක හරි මේ අරමුණ ගැන හිතලා බලන්න වුවමනායි. ඒ කියන්නේ, අපි හිතුවට සිප ගැනීමක් කියන්නේ සරාගී කාරණාවක් කියලා, හැම තිස්සෙම එහෙම නෙවෙයි. උදාහරණයක් විදියට අපි පොඩි දරුවෙක්ව සිප ගන්නෙ නැද්ද? අපි යාළුවෙක්ට කිස් එකක් දෙන්නෙ නැද්ද? අපි නෑදෑයෙක්ට කිස් එකක් දීලා පිළිගන්නෙ නැද්ද? හැබැයි ඉතින් මෙතනදී ඒ ඒ අරමුණ එක්ක කිස් එකත් වෙනස් වෙනවා. මේක තේරුම් ගන්න ඕන නිසා තමයි අපි කියන්නේ ඕනම කිස් එකක අරමුණ ගැන අපිට කලින්ම අදහසක් තියෙන්න ඕන කියලා. උදාහරණයක් විදියට, අපි හිතමිතුරෙක්ව හරි නෑයෙක්ව හරි සිප ගන්න කොට, ඒක කම්මුලට දෙන කිස් එකක් වෙන්න පුලුවන්. සමහර වෙලාවට සමාජශීලී වීම සඳහා නොදන්නා කෙනෙක්ව සිප ගන්න කොට, ඇත්තටම ඒක කම්මුලට මූණ ලං කරලා සිපගැනීමක් වගේ පෙන්නීමක් වුණාට, ඇත්තටම ස්පර්ෂයක් සිද්ධ වෙන්නෙ නෑ. දැන් අපි ආදරේට නැතිනම් සරාගී අදහසකින් කෙනෙක්ට කිස් එකක් දෙනකොට ඔය හැම එකකටම වඩා ඒක වෙනස් වෙන්න ඕනැනේ. අන්න ඒ නිසා, එක් එක් අරමුණට අපි සිපගන්න විදිය ගැන කලින්ම හිතලා තියෙන එක වටිනවා.
02. ෆෝර්ප්ලේ කිස්
ඇත්තටම ලිංගිකත්වයත් එක්ක එන සිප ගැනීමක්, ඒ කියන්නේ ආදරේ ප්‍රකාශ කරන්න, රාගාන්විත අදහස් ප්‍රකාශ කරන්න කරන සිප ගැනීමක් ෆ්‍රෙන්ච් කිස් එකක් නැතිනම් තොල් සිප ගැනීමක් වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හරි, ලිප්ස් කිස් නැතිනම් ෆ්‍රෙන්ච් කිස් ගැන අපි කලින් ආටිකල් එකේ කිව්වනේ. හැබැයි ගොඩක් දෙනෙක් නොහිතන දෙයක් තමයි, එක පාරටම ලිප්ස් කිස් එකකට යන්න බැරි නම්, ඒක පටන් ගන්න පුලුවන් ක්‍රම ගැන. සරලවම කම්මුලට දෙන හාද්දකින් වුණත් වැඩේ පටන් ගන්න පුලුවන්. එහෙම නැතිනම් නළලට දෙන හාදුවකුත් පටන් ගැන්මට හොඳයි. හැබැයි මේ වගේ අවස්ථාවකදී කම්මුලට දෙන හාද්ද වුණත් යාලුෆිට් හාද්දකට වඩා වෙනස් වෙන්න ඕන, අනුරාගී වෙන්න ඕන. ඊට පස්සේ ඉතින් තොල් දෙකට මුලින් දෙන කිස් එකකින් වුණත් ෆ්‍රෙන්ච් කිස් එකට පදනම දාගන්න පුලුවන්. මේවා ඇත්තටම ෆීලින්ග්ස් එක්ක තමයි එන්නේ.
03. කිස් කරන්න තියෙන්නේ තොල් සහ කම්මුල් විතරක්මද?
ඇත්තටම ෆෝර්ප්ලේ එකකදී, ඒ කියන්නේ පූර්ව සංසර්ග හැසිරීමකදී වුණත් ගොඩක් අය ලොකුවට කිස් කිරීමට අවධානය යොමු නොකරන එක ගැටළුවක්. එතකොට කිස් කිරීමට යම් අවධානයක් ලබාදුන්නත්, ගොඩක්ම සිද්ධ වෙන්නේ තොල් සම්බන්ධ සිපගැනීම් විතරයි. හැබැයි අමතක කරන්න එපා. විශේෂයෙන්ම තමන්ගේ කාන්තාව පිස්සු වට්ටන්න පුලුවන් තවත් තැන් තියෙනවා සිප ගන්න පුලුවන්. හොඳම උදාහරණ තමයි බෙල්ල සහ උරහිස්. ඇත්තටම කාන්තාවන් ආසයි මේ තැන් තමන්ගේ පාට්නර් සිප ගන්නවට. හැබැයි නරක දේ කියන්නේ ගොඩක් අය නොකරන හෝ කරන්න අමතක කරන දෙයක් ඒක. ඒ ඇරෙන්න, කන් පෙති, කන්, බෙල්ල පිටිපස්ස වගේ ඕනෑම තැනක් සිප ගැනීම කරන්න පුලුවන්. කාගෙන් තහනමක් ද?
04. බයිට් මී!
දැන් ඔය එක එක්කෙනාගේ ආසාවන් සහ විදිය එකිනෙකාට වෙනස් නේ. අන්න එතකොට, කිස් එකක තීව්රතාවයත් එකිනෙකාගේ කැමැත්තේ විදියට වෙනස් වෙනවා. උදාහරණයක් විදියට, ඔය බෙල්ල, උරහිස් එහෙම සිප ගන්නකොට පොඩ්ඩක් හපන එක එහෙම ගන්න පුලුවන්. ඇත්තටම හපනවා කිව්වහම ටිකක් සීරියස් දෙයක් විදියට දැනුනට, ඇත්තටම කිස් කරගෙන යනකොට තොල් සහ ශරීරයේ වෙනත් තැන් හපන එක හොඳ උත්තේජනයක් ලැබෙන විදියට කරන්න පුලුවන් දෙයක්. එතනදී ප්‍රධානම කාරණාව වෙන්නේ, හපනවා කියන එක වචනාර්ථයෙන්ම නොගැනීම. මේ හැපිල්ල ගොඩක් වෙලාවට දත් යොදාගන්නෙ නැතුව තොල් වලින් කරන්න පුලුවන් දෙයක්. දත් වලින් හපනකොට වුණත් යම් කිසි පීඩනයක් බොහොම සුමට විදියට සම මත යොදනවා මිසක්, එතනින් එහාට ගියපු දෙයක් නොවෙන්න වග බලා ගන්න ඕන. අන්න එතකොට, මේක සන්තුෂ්ටිය ලැබෙන ක්‍රියාවක් මිසක් රිදෙන දෙයක් වෙන්නෙ නෑ.
හැබැයි දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි ඊට එහා ගියපු ටිකක් රිදෙන හැපිල්ලක් සිප ගැනීමේදී වුවමනා නම්, ඒක අනිවාර්යයෙන්ම කළින් දෙන්නත් එක්ක සාකච්ඡා කරලා එකඟතාවයකට එන්න ඕන දෙයක්.
05. කෙළ ගෑවුණාට කමක් නැද්ද
අපි මේ ගැනත් කතා කරනවා, හේතුව සමහරු මේ ගැන අහලා තියෙනවා අපි සමහර තැන් වල දැකලා තියෙන නිසා. දැන් කටේ කෙළ තියෙනවනේ. විශේෂයෙන්ම අපි කියන දෙයක්නේ හොඳ සිප ගැනීමකට නම් අපේ තොල් තෙත්ව තියෙන්න ඕන කියලා. ඉතින් තොල් තෙත්ව තියාගන්න වෙන්නේ කෙළ වලින් තමයි. ඇත්තටම සිප ගන්නකොට කෙළ ගෑවෙනවද, ඒක අවුල් ද කියලා ප්‍රශ්නයක් අහනවා නම්, ඒ කවදාවත් සිපගැනීමක් කරලා නැති කෙනෙක් තමයි. ඒත් ඒකට උත්තර දෙනවා නම්, ඔව්, සිප ගන්නකොට කෙළ ගෑවෙනවා. හැබැයි ඒක එහෙම දැනෙන මට්ටමකින් වෙන දෙයක් නෙවෙයි. ඒ වගේම ඒක අප්‍රසන්න දේකුත් නෙවෙයි. ඇත්තටම ඒක ප්‍රසන්න හැඟීමක්. හැබැයි ඉතින් සිප ගන්නවා කියන්නේ බලුපැටියෙක් වගේ දිව එළියට දාගෙන අනික් කෙනාව ලෙවකන්න යන එකත් නෙවෙයි. ඒ වගේ දෙයක් ප්‍රසන්න හැඟීමක් වෙන්නෙ නෑ. අන්න ඒ නිසා, සිප ගැනීම එන්ජෝයි කරන්න, එතනින් එහාට දේවල් නොහිතන්න.
06. හිකීස්
මේ කියන්නේ ඇත්තටම ලව් බයිට් නැතිනම් හිකීස් ගැන. කොටින්ම පැහැදිලි කරනවා නම්, හිකී එකක් කියන්නේ, සිප ගන්නකොට ආදරෙන් හැපීමකින් නැතිනම් උරාබීමකින් සමේ ඇතිවෙන පැල්ලමක්. විශේෂයෙන්ම කාන්තා සම සුමුදු සුසිනිඳු නිසා, බොහොම ලේසියෙන් හිකීස් ඇතිවෙන්න පුලුවන්. ඒක නිකම් සමේ වර්ණයට වඩා අඳුරු පැල්ලමක් විදියට පේන්න තියෙනවා. ගොඩක් වෙලාවට හිකීස් තියෙන්නේ බෙල්ලේ, උරහිසේ, කන් පෙති වල එහෙම තමයි. ඇත්තටම සමහරු ආසයි තමන්ගේ පාට්නර් හිකී පැල්ලම් තියනවට. හැබැයි මතක තියාගන්න, මෙතනදිත් වැදගත් වෙන්නේ අර හතරවෙනුවට කිව්ව කාරණාව තමයි. හිකී එකක් කියන්නේ රිදෙන දෙයක් නෙවෙයි. හැබැයි තමන්ගේ කොන්ට්‍රෝල් එක ඔස්සේ සිද්ධ වෙන්න ඕන දෙයක්. තව දෙයක්. හිකීස් ලේසියෙන්ම පිටට පේනවා. අන්න එතකොට ඒක දකින අනික් අයට මොකක්ද කියන්නේ කියන එකත් ඉතින් තමන් හිතන්න ඕන දෙයක්.
07. ෆීඩ්බැක් අවශ්‍යයි
අපි සෙක්ස් ගැන කතා කරනකොට හැමදාමත් කියන දෙයක් තමයි සන්නිවේදනය කොයි තරම් වැදගත් ද කියන එක. ආන්න ඒ කාරණාව කිස් එකකට පවා අදාළයි. ඒ කියන්නේ, අපි එකිනෙකාව සිප ගන්න කොට, අනික් කෙනාගේ සිප ගැනීම අපි කොයි තරම් එන්ජෝයි කරනවද කියන එක ෆීඩ්බැක් එකක් විදියට අපි ලබාදිය යුතුයි. අන්න ඒකෙන් තමයි දෙන්නටම ලස්සනට වැඩේ කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබෙන්නෙත්, එතකොට තමන් වැඩේ හරියට කරනවද නැද්ද කියන එක තේරුම් ගන්න ලැබෙන්නෙත්. මේ ෆීඩ්බැක් දෙන එක දෙවිදියකට කරන්න පුලුවන්. එකක් තමයි දෙන්නා රිලැක්ස් එකේ ඉන්නකොට නැතිනම් සෙක්ස් ගැන කතා කරනකොට. එහෙම නැතිනම් කිස් කරන වෙලාවේදි වුණත් ශරීර අභිනයන්ගෙන් සහ තමන් නිකුත් කරන ශබ්ද වලින්, තමන් එන්ජෝයි කරනවද නැද්ද කියන එක අනික් කෙනාට සන්නිවේදනය කරන්න පුලුවන්.
මේකත් එක්ක තව දෙයක් ඔලුවට දාගන්න ඕනෑමයි. සරලව අතකට දෙන කිස් එකක් පවා දෙන්න ඕන, ඒ කිස් එක ලබාගන්න පාර්ශවයේ කැමැත්ත තියෙනවා නම් විතරයි. ආන්න ඒ නිසා, ඒ කැමැත්ත නැතිව කවදාවත් කිසිම කෙනෙක්ට පුංචිම පුංචි කිස් එකක්වත් දෙන්න යන්න එපා. මේ කියන්නේ තමන්ගේ පොඩි දරුවව වඩාගෙන සිප ගන්න එක ගැන නෙවෙයි හැබැයි. පැහැදිලියිනේ?
Leave a Reply