නියැන්ඩතාල් කියන්නේ අවුරුදු 40,000කට පෙර යුරෝපය පැත්තේ රන් කරපු මානවයෙක්. නියැන්ඩතාල් මානවයා ලෝකෙන් අතුරුදන් වෙලා අවුරුදු කල්ප ගාණක් ගියත් තාමත් යුරෝපීය සහ ආසියාතික මිනිස්සුන්ට නියැන්ඩතාල් ගේ ජාන සුළු වශයෙන් තියෙනවා. ඒ වගේ යටත්විජිත සංකල්පය එලියට ගිහින් දැන් අවුරුදු හැට හැත්තෑවක් ගියත් පෘතුගීසි පෙළපත් නාමයක් වන සිල්වා නාමයත් ලොව වටා තැන් තැන් වල තියෙනවා. ලංකාව, ඉන්දියාව, බ්‍රසීලය වගේම අප්‍රිකානු රටවලත් සිල්වා නම තියෙන පුද්ගලයින් මිලියන ගාණක් ඉන්නවා. අපි එයින් ජනප්‍රිය සිල්වා වරු කීප දෙනෙක් ගැන තොරතුරු බලමු.
1. ලූලා ද සිල්වා
ලූලා ද සිල්වා බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙක්. ඔහුගේ නම ඇත්තටම ලුවිස් ඉනෑෂියෝ දි සිල්වා වුනා. ඒත් පස්සේ කාලෙක හුරතලේට කියපු ලූලා කියන නම ඔහු සිය නමට එකතු කරගත්තා. ලූලා පොඩි කාලේදි පාරේ වෙළඳාම් කරපු, ෆැක්ටරි වල වැඩ කරපු වැඩකරන පන්තියේ පීඩිත තරුණයෙක් වුනා. ඒත් පස්සේ කාලෙක ඔහු වෘත්තිය සමිති වල නායකත්වයට ආවා. 1970 ගණන් වල බ්‍රසීලයේ තිබුන මිලිටරි පාලනයට එරෙහිව ලූලා සිය සටන් මෙහෙයවූවා. දීර්ඝ දේශපාලන ක්රියාදාමයකින් පස්සේ 2003 සහ 2011 දී ලූලා බ්‍රසීල ජනාධිපති වුනා. ඒත් ඔහු බ්‍රසීලයේ නූගත් දුප්පත් ජනයා වෙනුවෙන් අවංකව වැඩකළ බවක් සඳහන් නැහැ. දූෂණ වංචා ආදියට ඉහළින්ම සඳහන් වුණු ලූලාගේ නමට සිරදඬුවම් කීපයක්ද මේ වනවිට නිකුත් වී තිබෙනවා.
2. නිමල් සිරිපාල ද සිල්වා
1994ට කලින් තිබුන යූ ඇන් පී ආණ්ඩු කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ තිබුනේ ආසන කීපයයි. මේ ආසන කීපය අතර හිටිය කොට හාදයෙක් පාර්ලිමේන්තුව තුළ නිදහස් පක්ෂයේ හඬ ගෙනියන්න කැපවුනා. ඔහු නමින් නිමල් සිරිපාල ද සිල්වා. දැන් ඇමති තනතුරක් නොදැරුවාට ඔහු 1994 සිට 2018 දක්වාම රජයේ ඉහළ ඇමතිකම් දැරුවා. නිතරම නිදිමත ඇතිවන මේ ඇමතිතුමාගේ පුටුවේ නිදි පිංතුර ෆේස්බුක් එකෙත් නිතරම ෂෙයාර් වෙනවා. බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා මහත්තයට වසර හැත්තෑවකට වැඩි වුනත් තවමත් අපේ දේශපාලනයේ ඉහළින්ම කියවෙන නමක් වෙලා තියෙනවා.
3. අරවින්ද ද සිල්වා
අනූ ගණන් වල ක්‍රිකට් බැලූ කට්ටියට අරවින්ද කියන්නේ යෝධයෙක්. ඒ කාලේ 1996ට ඉස්සර ලංකාව දිනන මැච් වලට වඩා පරදින මැච් වැඩියි. ගොඩක් වෙලාවට සිම්බාබ්වේ කෙන්යාව වගේ රටවල් වලට ගහලා තමයි ලංකාව දිනන්නේ. එහෙම වටපිටාවක කලාතුරකින් අපි ඔසීලට, නවසීලන්තෙට, එංගලන්තෙට එහෙමත් බැට දුන්නා. ඒ ගේම් වලදි අරවින්ද ගේ නම ලංකාවේ ක්‍රිකට් වලින් මකන්න බැහැ. දැනට තරම් සල්ලි සහ බලය එක්ක සම්බන්ධ නොවුන එදා ක්‍රිකට් වලදි අරවින්ද ප්‍රේක්ශකයින්ගේ සිත් දිනාගත් ලංකාවේ දක්ෂ පිතිකරුවෙක් වුනා. ඉන්දියාවේ කල්කටා වලදි ඉන්දියාවට එරෙහිව පැවැත්වුණු 1996 ලෝක කුසලාන අවසාන පුර්ව වටයේ තරගයේදි මුල් විකට් දෙක වුණු කලූ සහ සනා මුල් පන්දුවාරයෙදිම ඉවත් වුනා. ඉන් පස්සේ අරවින්ද සහ අර්ජුන තමයි එදා ගේම ගැහුවේ.
4. නේමාර් ඩ සිල්වා
දකුණු ආසියාවට ක්‍රිකට් වගේ දකුණු ඇමරිකාවට පාපන්දු ජනප්‍රියම ක්‍රීඩාව වෙනවා. පාපන්දු වල ජනප්‍රිය සිල්වා වරු බොහොමයක් ඉන්නවා. ඒ අතර දැනට ලෝකයේ වැඩිම ආදායමක් ලබන ක්‍රීඩකයෙක් වෙන බ්‍රසීලයේ නේමාර් ද සිල්වාත් ඇතුලත් වෙනවා. නේමාර් 1992 ඉපදුන කොල්ලෙක්. එත් මේ වෙද්දි ඩොලර් මිලියන දෙසීය ගණනකට ක්‍රීඩා සමාජ නේමාර් ව ලබාගන්න ෆයිට් කරනවා. නේමර් ස්පාඤ්ඤ බාර්සිලෝනා ක්‍රීඩා සමාජය අත ඇරලා ප්‍රංශයේ පීඑස්ජී කණ්ඩායම එක්ක එක්කාසු වීම ලෝකයේ ආන්දෝලනාත්මක ක්‍රීඩා ගනුදෙනුවක් වුනා. බ්‍රසීල ක්‍රීඩකයින් අතර ජනප්‍රියම ක්‍රීඩකයකු වන නේමාර් හොඳ ක්‍රිස්තියානි භක්තිකයෙකු ද වෙනවා.
5. නිකොල් ඩ සිල්වා
නිකොල් ඕස්ට්‍රේලියාවෙ උපන්න දක්ෂ ටෙලි නිලියක්. ටෙලි කිව්වාම ලංකාවේ තියෙන ටෙලි වගේ නෙමෙයි හොලිවුඩ් මට්ටමට හැදෙන ටීවී සිරීස් කීපයකම නිකොල් ජනප්‍රිය වුනා. රෂ්, වෙන්ට්වර්ත්, ඩොක්ටර් ඩොක්ටර් ආදී ටෙලි සීරීස් කීපයකම නිකොල් රඟපෑවා. සම්මානනීය නිළියක් වන නිකොල් 2018 දි මවක් වුනා.
6. අනෝජ් ද සිල්වා
සිල්වා කියන්නේ ලොව වටා පැතිරුණ පෘතුගීසි නමක්. මේ සිල්වා නමේ වනාන්තරය කියන තේරුම තියෙනවාලු. මේක මෙහෙම කිව්වට ඇත්තටම නිකං සිංහල තේරුම වනවාසී වගේ යොදාගන්න පුළුවන් ඇති. මෑතකදී සිල්වා නාමය ෆේස්බුක් වල නැවත ජනප්‍රිය වුනා. වත්තේගම පැත්තේ සමහර මිනිස්සු පොල්තෙල් වෙදා කියලා අනෝජ් ද සිල්වාව අවඥාවෙන් සලකනවා. ඒත් ඇතැමුන්ට අනෝජ් ද සිල්වා කියන්නේ දක්ෂ වෛද්‍යවරයෙක් වෙලා තියෙනවා. ඔහු වෙදකම් කරන පිලිවෙල පොතේ තියෙන ආයුර්වේද ක්‍රම නෙමෙයි. ඔහුට ආවේණික ඉන්ද්‍රජාලික ක්‍රම වලින් ලෙඩ හොඳ කරන අනෝජ් ලංකාවේ දේවල් ගැන බොහොම කැක්කුමකින් කතා කරනවා. ඒ අතර ඔහු රාවණා පරපුරකින් පැවත එන බවටත් ඔහුම ඉඟි කරලා තිබුනා.
7. මර්වින් සිල්වා
ෆ්‍රෙඩී සිල්වා කියන්නේ සිනමාවේ හිටපු ඇත්තටම හිනායන්න රඟපාන්න හැකියාවක් තිබුන කෙනෙක්. ගායකයෙක් විදියටත් ෆ්‍රෙඩීගේ ගීත තවමත් ජනප්‍රිය වෙලා තියෙනවා. මර්වින් සිල්වා හම්බන්තොට පැත්තෙන් ඇවිත් දැන් කැළණියේ ඉන්න ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක්. මර්වින් කිසිම කැතක් නැතුව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම නියෝජනය කළා. මර්වින් සිල්වාගෙත් රට හිනස්සවන වැඩ තියෙනවා. ඒත් ඉතින් මොනවා තිබුනත් මර්වින් ඡන්ද කිහිපයකින්ම දිනලා මහජනතාවගේ නියෝජිතයෙක් වෙලා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න සමත් වුණා.
පෘතුගිසි කාලේ උරුමයක් විදියට අපේ නම් වලට එකතු වුන පෙරේරා, සිල්වා ආදි නම් හැම ක්ෂේත්රයකම පාහේ පැතිරිලා තියෙනවා.ලෝකයේදිත් සිල්වා කියන නම පුළුල් පරාසයක පැතිරිලා තියෙනවා. ලංකාවෙ මිනිස්සු නම් දානකොට අමු හෙළ බසින් නම දැමීම ඉතා මෑතකදී සිදුවුන දෙයක්. ඉස්සර ගම් වල සීයලා ආච්චිලා අතර විදෙස් නම් තිබුන ආච්චිලා සීයලා ගොඩක් උන්නා. ඉතින් මේ නමක කෑල්ලක් තිබුන පලියට ඒ මනුස්සයා ලංකාවේ නෙමේය කියල කියන්න බැහැ. ඒත් ඉතින් රාවණා පරපුරේ අහවල් සිල්වා කිව්වාම බකස් ගාල පනින හිනාව නවත්තගන්නත් සාමාන්‍ය ජනයාට ටිකක් අමාරුයි.
Leave a Reply