ETF එක ගැන මේ කාරණා දැනගමු

ඔන්න කලින් දවසක අපි කතා කරපු EPF එක වගේම මේ කියන්න යන්නෙ ඒකෙම සහෝදර අරමුදලක් වුණ  ETF එක ගැන අපි පොදුවේ දැනගෙන ඉන්න ඕන කරුණු කාරණා කීපයක්. මේකත් හුඟක් වෙලාවට නිතර අහන්න ලැබුනට ලොකු විස්තරයක් කියන්න හුඟ දෙනෙක් නොදන්න මාතෘකාවක්නේ. හැබැයි අර “ගන්නම ඕන කෝල් එකක්” වගේ මේකත් දැනගෙනම ඉන්නම ඕන මාතෘකාවක්. මොකද රැකියාවක නියුතු කෙනෙකුට තමන්ට ලැබෙන අනිවාර්‍ය ප්‍රතිලාභ ගැන දැනගෙන ඉන්න එක ඉස්සරහට බොහොම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්නේ. හරි දැන් අපි බහිමුකො කාරණාවට. 

 

 

1. මොකක්ද මේ ETF එක කියන්නේ?

ETF කියන වචනයේ තේරුම එන්නේ මේන්න මෙහෙමයි. Employee’s Trust Fund ඒ කියන්නේ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල. EPF එකේදී වගේම මේ ETF එකේදිත් වෙන්නෙ සේවකයාගේ නමට යම් කිසි මුදලක් අදා​ළ අරමුදලේ ගිණුමට බර වෙන එකයි. හැබැයි මේකේ කළමනාකාරිත්වය, අරමුදලට දායකත්වය සැපයෙන විදිහ, හිමිකම් ලබාගැනීම කියන කාරණා වලදී EPF එකට වඩා සැලකිය යුතු වෙනස්කම් හුඟක් තියෙනවා. මේ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ක්‍රියාත්මක වෙන්නෙ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යංශය යටතේ. 2018 වසරේ අග වෙනකොට රුපියල් බිලියන 306ක් විතර වටිනාකමකින් යුතු සැලකිය යුතු ප්‍රමාණයක අරමුදලක් තමයි මේ. 

 

 

2. ETF ඉතිහාසය

ETF කියන්නේ 1980 අංක 46 දරණ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් පනතේ විධිවිධාන යටතේ 1981 මාර්තු 01 වැනිදා ස්ථාපිත කරපු අරමුදලක්. මේ වෙද්දී අවුරුදු 38ක් විතර වයසයි. මේ ETF එක පිහිටුවන්නේ ප්‍රධානවම 1978 විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් එක්ක ආර්ථික සංවර්ධනයේ ප්‍රධානම ඉලක්ක පෞද්ගලික අංශය මත පැටවීමත් ආර්ථික සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සැපයීම රාජ්‍ය අංශයට පැවරීමත් කියන පසුබිම මත. මේ අරමුදල පිහිටුවීමේ ගෞරවය ප්‍රධාන වශයෙන්ම එවකට හිටපු වෙළඳ හා නාවික කටයුතු ඇමති ගරු. ලලිත් ඇතුලත්මුදලි මහතාට තමයි හිමිවෙන්න ඕන කියල කියන්නෙ. කොහොම උනත් මේ අරමුදල පිහිටුවීමේ ප්‍රධාන අරමුණු හැටියට අදටත් සැලකෙන්නේ අදාළ ව්‍යවසායන්ගේ සේවකයාට ඇති හිමිකාරිත්වය සහ කළමනාකරණය සම්බන්ධයෙන් සේවකයාගේ සහභාගීත්වය වර්ධනය කිරීම. බරසාර වචන වලින් කිව්වට සරලවම ගත්තොත් ආයතනයක ලාභ කෙරෙහි පහලම ඉඳන් හැම සේවකයටම අයිතියක් තියෙනවා කියන කාරණය තමයි ඉතින්. 

 

 

3. ETF හැදෙන හැටි

ETF හැදෙන විදිහ EPF වලට වඩා හාත්පසින්ම වෙනස්. මොකද කිව්වොත් මේකෙදි EPF වලදී වගේ සේවකයාගෙන් අයකිරීමක් වෙන්නෙ නැහැ. තනිකරම ආයතනය විතරයි මේකට දායක වෙන්නෙ. හැබැයි වෙන වෙනම හැම සාමාජිකයෙකුගේ, ඒ කිව්වේ සේවකයෙකුගේ නමටම අරමුදල් වෙන් කරල යවන්න ඕන. මෙතනදීත් වෙන්නෙ ස්ථාවර නොවන දීමනා හැරුණු කොට මූලික වැටුපයි අනෙකුත් ස්ථාවර දීමනාවන්ගේ එකතුවයි කියන එකෙන් 3% ක ප්‍රමාණයක් සේවකයාගේ නමට අරමුදලට බැර කිරීමයි. 

 

 

4. ETF සඳහා ලියාපදිංචිය

මෙතනදීත් මේක EPF එකට වඩා වෙනස්. අරමුදලට මුදල් යොමු කරන්න කලින් හෝ හිමිකම් ලබාගන්න කලින් සේවකයින් වෙන වෙනම ලියාපදිංචි කිරීමක් කරන්න ඕන වෙන්නෙ නැහැ ETF එකේදී. ව්‍යාපාරයක් ආරම්​භ කරල සේවකයින් සේවයේ යොදවන ඕනෙම සේවා යෝජකයෙක්, ඒ කිව්වේ ආයතනයක් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා යටතේ ලියාපදිංචි වෙලා ලබාගන්න අංකය යටතේ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට අදාළ අයදුම් පත් පුරවලා මාසිකව ගෙවීම් කරගෙන යන්නයි තියෙන්නේ. කලින් විදිහටම අදා​ළ සේවකයාගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ මුදල් එකතු වෙනවා. 

 

 

5. ETF බැලන්ස් එක

EPF එකේදී වගේ මෙතැනදී අවශ්‍ය අවස්ථාවලදී ගිහින් ගිණුම් ශේෂය බලාගන්න පුළුවන් භෞතික ස්ථානයක්නම් නැහැ. සාමාන්‍ය විදිහට මාස 6කට සැරයක් එන ගිණුම් ප්‍රකාශනය මඟින් තමයි බලාගන්න පුළුවන් වෙන්නෙ. හැබැයි මෑතකදී මේ ගැටලුවට විසඳුමක් විදිහට ඔන්ලයින් හෝ sms මඟින් බැලන්ස් එක බලාගන්න පුළුවන් හොඳ සිස්ටම් එකක් මේ භාර අරමුදල මඟින් හඳුන්වල දීල තියෙනවා. එක්කෝ වැඩකරන ආයතනය මඟින්ම සියලු සේවකයින් මේ ක්‍රමයට ලියාපදිංචි කිරීම හෝ තම තමන් තනියම ගිහින් උනත් මේ ඔන්ලයින් සිස්ටම් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඊට අදා​ළ සියලුම ආකෘති පත්‍ර, ඒ කිව්වේ Forms රජයේ ETF වෙබ් සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න හෝ කම්කරු කාර්යාලයට ගිහිල්ලම අරගන්නත් පුළුවන්. 

 

 

6. කොහොමද ETF ගන්න පුළුවන්?

හරි. ඔන්න වැදගත්ම කාරණාව. සල්ලි ගන්න පුළුවන්නම් එච්චරයිනෙ? නැද්ද? ඔන්න හොඳම වැඩේ කියන්නේ මේ ETF එක ක්ලේම් කරන්න අවුරුදු 50-55 පැනලා විශ්‍රාම යනකම් ඉන්න ඕන නැහැ. අපි රැකියාව මාරු කරන හැම අවස්ථාවකම ඒ ආයතනයෙන් අදා​ළ ෆෝරම්ස් පුරවා ගත්තම ඊට අදා​ළව එකතු වෙලා තියෙන ETF ප්‍රමාණය ක්ලේම් කරන්න පුළුවන්. හැබැයි මේක කරන්න පුළුවන් සෑම වසර 5කටම එක පාරයි. ඒ කිව්වේ අවුරුදු දෙකෙන් දෙකට ජොබ් මාරු ක​ළත් ETF ගන්න පුළුවන් අවුරුදු 5කට සැරයක් විතරයි. හැබැයි මේ පහත කිය​න කාරණා වලදී ඔය අවුරුදු 5 සීමාව නොසලකා හැරලා ක්ලේම් ලබාගන්න පුළුවන්.

  • වයස අවුරුදු 60ට එළඹීම
  • ස්ථිර පදිංචිය සඳහා වෙනත් රටකට යාම
  • විශ්‍රාම වැටුප් ලැබෙන රාජ්‍ය සේවයට සම්බන්ධ වීම
  • සදාකාලික අබාධිත තත්ත්වයට පත්වීම
  • සාමාජිකයා මියයෑම

 

 

7. අතිරේක ප්‍රතිලාභ

EPF වල වගේම මේ ETF එකේදිත් මුදලටයි පොලියටයි අමතරව සාමාජිකයින්ට යම් යම් ප්‍රතිලාභ ලැබෙනවා. 

  • මරණ හෝ පූර්ණ අබාධිත තත්ත්වයකදී එකතුවුන මුදලට හා පොලියට අමතරව රක්ෂණ ප්‍රතිලා​භයක් ලබාගන්න පුළුවන්.
  • හදවත් සැත්කම් සඳහා උපරිමය රුපියල් ලක්ෂ 3ක් දක්වා වූ මුල්‍යාධාර ඉල්ලන්න පුළුවන්.
  • අක්ෂි කාච බද්ධ කිරීම සඳහා උපරිමය රුපියල් 15,000ක් දක්වා වූ මුදල් ප්‍රතිපූර්ණය කරගන්න ඒ කිව්වේ ඔපරේෂන් එකෙන් පස්සේ සල්ලි ගන්න පුළුවන්.
  • ශිෂ්‍යත්ව විභාගය සමත්වෙන දරුවන් සඳහා මුල්‍ය ප්‍රදානයක් ලැබෙනවා. 
  • වසර 5ක් දායක මුදල් ගෙවල තියෙන සාමාජිකයින්ට වසරකට උපරිමය රුපියල් 25,000 සහ මුළු සේවා නියුක්ති කාලයටම උපරිමය රුපියල් 50,000ක් වෙනකන් රෝහල්ගතවීම් සඳහා මුදල් ප්‍රතිපූර්​ණය කරගන්න පුළුවන්. 
  • “වියන” කියන නිවාස ණය ක්‍රමය යටතේ අවුරුදු 5ක දායකත්වයක් තියෙන ඕනෑම සාමාජිකයෙකුට NDB බැංකුව හරහා සහනදායී පොලී අනුපාතයක් යටතේ ණය ලබාගන්න පුළුවන්.
  • වකුගඩු බද්ධ කිරීම සඳහා රුපියල් ලක්ෂ 3ක උපරිමයක් දක්වා මුල්‍යාධාර ලබාගන්න පුළුවන්. 
  • සාමාන්‍ය පහ වසර ශිෂ්‍යත්ව ප්‍රදානයන්ට අමතරව පූර්ණ අබාධිත තත්ත්වය නිසා රැකියාව අවසන් ක​ළ සාමාජිකයින්ගේ දරුවන්ටත් ශිෂ්‍යත්ව ප්‍රදානයන් ලැබෙනවා. 

ඔන්න ඔය වගේ සැහෙන්න ප්‍රතිලාභ මේ ETF අරමුදලෙන් සේවකයින්ට ලබාගන්න පුළුවන්. 3% ගැන මිසක් මේ හුඟක් දේවල් ගැන දැනගෙන හිටියේ නැහැනේ. බලාගෙන යද්දී EPF එකටත් වඩා සෑහෙන්න ප්‍රතිලාභ හිමිවෙන වාසිදායක ක්‍රමයක් තමයි මේක. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *