ලෝක සාහිත්‍යය අපට සමීප කරන්නට කැපවුණු අපේ පරිවර්තකයෝ

සද්ධර්මාලංකාරය වගේ බණ කතා වලින් පිරිලා තිබුන අපේ සාහිත්‍යයට අලුතින් සිංහල නවකතා සාහිත්‍යයක් ඉදිරිපත් කරන්න ඩබ්. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර වගේ අය මූලික වුනා. ඒත් ඒ නවකතාත් බොහෝවිට සැකිල්ල අතින් විදෙස් බටහිර නවකතාවන්ට සමීප වුනා. වැඩි වැඩියෙන් විදෙස් කෘති කියවූ ලාංකිකයින් කිහිප දෙනෙක්ට ඒවා සිංහල කියවන පාඨකයින්ටත් දායක කරන්න අමුතු උණක් තිබුනා. පොත් ලියන වැඩේ කියන්නේ අලුතින් පටන් ගන්න කෙනෙක්ට කොහොමටවත් සුන්දර සුමට ආදායම් මාර්ගයක් නම් නෙමෙයි. ඒත් ඒ කටුක බවට මුහුණ දෙමින් අමාරුවෙන් පරිවර්තනය කරලා, ප්‍රකාශකයින් පිටුපස ගිහින් මුද්‍රණය කරලා විදෙස් කෘති ලාංකික දූපතේ අපිට සමීප කරන්නට කැප වුණු පරිවර්තකයන් ගොඩක් ලංකාවේ සාහිත්‍ය අවකාශය තුළ ඉන්නවා. අපි ඒ පරිවර්තකයින් අතර සුපිරිම කිහිප දෙනෙක් ගැන බලමු.

 

1. කේ. ජී  කරුණාතිලක

අනූව දශකයේ ඉස්කෝලෙ ගිය අයට කේ. ජී කරුණාතිලක මහත්මයා අමතක කරන්න බැහැ. ඔහු ලිව්ව ටාසන්, මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා වගේ පොත් ඒ කාලේ පාසල් යන අය සහ තරුණ තරුණියන් අතර වේගයෙන් ජනප්‍රිය වුනා. කේ. ජී කරුණාතිලක, බිම්ගෙයි සිරකරුවා, වැලිකතරක අතරමංව වගේ ශ්‍රේෂ්ඨ විශ්ව සාහිත්‍යයේ එන කෙටිකතා පරිවර්තනය කළා. ඒ කෙටිකතා පොත් සමාජයේ ජනප්‍රිය වුනා වගේම ඉහළ විභාග වලටත් නියම වුනා. පරිවර්තනයේදී කේ. ජී වාක්‍ය පරිවර්තනය කිරීමටත් එහා ගිය කතුවරයාගේ භාෂා රටාව පවා පරිවර්තනයට එකතු කරන්නට උත්සාහ කළා. කේ. ජී කරුණාතිලක සම්භාව්‍ය කෘතීන් විතරක් පරිවර්තනය කළ යුතුයි කියලා කාලයක් විද්වතුන් කිව්වා. ඒත් එතුමා විසින් පරිවර්තනය කළ ටාසන්, කෝර්සිකානු සහෝදරයෝ, විජයග්‍රාහී කෝනාන්, ඈ හෙවත් අයේෂා වැනි කෘති තුළින් කියවීමට ආගන්තුක බොහෝ පිරිසක් කියවීමට ඇද බැඳ තබාගන්නට හැකි වුනා.

 

2. දැදිගම වී. රුද්‍රිගු

දැන් රුසියන් පොත් කියලා කිව්වත් 1990ට පෙර රුසියානු පොත් නෙමෙයි ඒවා සෝවියට් පොත් විදිහට තමයි දැක්වුනේ. සෝවියට් දේශය තමුන්ගේ සාහිත්‍ය කෘති අනෙක් රටවලට ජනප්‍රිය කරන්න ලොකු උත්සාහයක් ගත්තා. එහිදී දැදිගම වී. රුද්‍රිගු ඒ කාර්යයට අත ගහලා කෙලින්ම රුසියානු බසින් සිංහලට කෘති පරිවර්තනය කළා. ඒ කාලේ අනෙක් පොත් පත් වලට වඩා ඒ සෝවියට් දේශය මගින් නිකුත් කළ පොත් පත් අපේ රටේ සුලභ වුණා. ඒ වගේම මිලෙනුත් අඩු වුණා. දැදිගම වී රුද්‍රිගු විසින්  පරිවර්තනය කළ කෘති පරාසය විශාලයි. ළමයින්ගේ පොත පත වගේම දේශපාලනික පොත් පත්, කෙටිකතා, නවකතා වගේ පොත් දෙසීයකට වැඩි ප්‍රමාණයක් දැදිගම වී. රුද්‍රිගු විසින් පරිවර්තනය කරලා තියෙනවා. ඒ අතර මක්සිම් ගෝර්කි ගේ අම්මා, මගේ සරසවි, තාරාස් බුල්බා, සැබෑ මිනිසකුගේ කතාවක්, වානේ පන්නරය ලැබූ හැටි, ගුරු ගීතය ආදී කෘති ජනප්‍රියයි. එසේම කාලයකදී තහනමට ලක්වූ මාක්ස් එංගල්ස් ගේ න්‍යායික කෘතිත් දැදිගම වී රුද්‍රිගු අතින් පරිවර්තනය වෙලා අපේ සමාජයේ විවිධ තැන්වලට ගලා ගියා. ඔහු සෝවියට් දේශයට සිසුවෙකු වශයෙන් ගොස් එහි රුසියානු යුවතියක කසාද බැඳ, එහිම ජීවත් වී ලංකාවේ සාහිත්‍යයට සේවය කළ අසහාය සාහිත්‍යකරුවෙක්.

 

3. චන්දන මෙන්ඩිස්

ෂර්ලොක් හෝම්ස් කිව්වම ඒක ලියපු සර් ආතර් කොනන් ඩොයිල්ටත් වඩා ලංකාවෙදි නම් චන්දන මෙන්ඩිස් ජනප්‍රියයි. ඇතැම් අය කියන විදිහට මෑතකදි නිකුත් වුන ෂර්ලොක් හොම්ස් කෘති වල තියෙන්නේ කොනන් ඩොයිල්ගේ කතා නෙමෙයි. ඒත් ෂර්ලොක් හෝම්ස් ලංකාවේ බාල මහළු, තරුණ අය අතර ජනප්‍රිය වෙන්න චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තන හේතු වුනා. ෂර්ලොක් හෝම්ස්, ජුරාසික් දඩයම හරහා ජනප්‍රිය වුණත්, චන්දන මෙන්ඩිස්ගේ කෙටිකතා පරිවර්තනත් ගොඩක් තියෙනවා. ඒවා වෙළුම් කිහිපයක් ලෙස පළ වෙලාත් තියෙනවා. ඔහුගේ කෙටිකතා වෙළුම් රාජ්‍ය සම්මානයට පවා පාත්‍ර වුණා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් දන්ත වෛද්‍ය උපාධිය ලබාගත් චන්දන මෙන්ඩිස් දන්ත වෛද්‍යවරයෙක් ලෙස ලංකාවේ වගේම වෙනත් රටවලත් සේවය කළා.

 

4. මහාචාර්ය සුචරිත ගම්ලත්

කලාකරුවන් අතර දැඩිමතධාරී, වෙනස් විදිහට හිතන අය සුලභයි. සමාජයේ ජනප්‍රිය මතවාදය ඒ විදිහටම පුනරුච්චාරණය කරගෙන ඒවා කලාව ලෙස දක්වන අතර තවත් පිරිසක් ඉහළ සිට පහළට සමාජය වෙනස් විය යුතු බව විශ්වාස කරනවා. මහාචාර්ය ගම්ලත් එසේ වාමාංශික මත දැරූ සාමාන්‍ය විද්වතුන්ට වඩා වෙනස් වූ කෙනෙක්. ඔහු හොඳ පරිවර්තකයෙක් ශබ්ද කෝෂ, විශ්ව කෝෂ නිර්මාපකයෙක් වගේම දේශපාලන මතධාරියෙක්ද වුනා. ගම්ලතුන් විසින් නුතන ලෝකයේ වූ සමාජවාදී අදහස් ඒ කලින් කලට සිංහල කියවූ පිරිස වෙත සමීප කරවන්නට විවිධ දේශපාලනික කෘති පරිවර්තනය කළා. ඒ වගේම විශ්ව සාහිත්‍යයේ එන කෘති කිහිපයකුත් ගම්ලත් අතින් පරිවර්තනය වුණා. 

 

5. චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි

පොත් සාප්පුවක හරි ප්‍රදර්ශනයක හරි පරිවර්තන පොත් ටිකක් බැලුවොත් ඉන් වැඩිහරියක් තියෙන්නේ ඉංග්‍රීසි බසින් කළ පරිවර්තන. වෙනත් අප්‍රිකානු, ප්‍රංශ, රුසියන් ආදී බස් වලින් වු නවකතා කෙටිකතා කෘති වුනත් අපේ අය පරිවර්තනය කරන්නේ ඉංග්‍රීසි කෘතියෙන්. චින්තා ලක්ෂ්මී සිංහාරච්චි ගේ පොත් වල ඉස්සර සඳහන් වුණේ වංග බසින් සිංහලට පරිවර්තනය කළ කියලා. ඒ කාලේ මොකද්ද බොලේ මේ වංග බස කියලා කට්ටියට ප්‍රශ්නයක් තිබුණා. හින්දි වගේම බෙංගාලිත් පුරාණ සංස්කෘත බසින් තමයි ආභාෂය ලබාල තියෙන්නේ. චින්තා විසින් වංග බස යනුවෙන් දක්වන්නේ මේ බෙංගාලි බස. රබීන්ද්‍රනාත් තාගෝර්ගේ මුල් කවි තියෙන්නෙත් බෙංගාලි බසින්. මේ බෙංගාලයේ හිටපු විශිෂ්ටතම ලේඛකයෙක් විභූතිභූෂණ බන්දෙයපාද්‍ය. ඔහුගේ හොදම කෘති තුනම චින්තා ලක්ෂ්මී විසින්  මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක්, අපූගේ ලෝකය කියලා පරිවර්තනය කළා. වඩාත් සුමට භාෂා රටාවකින් යුතු වූ ඒ පොත් සිංහල පාඨකයින් ආදරයෙන් වැළඳ ගත්තා. බෙංගාලි සහ උර්දු බසින් වූ සුපිරි කෘති පරිවර්තන කටයුතු කළ චින්තා, රබීන්ද්‍රනාත් තාගෝර් ගේ ගෝරා ද පරිවර්තනය කර සිංහල පාඨකයින්ට සමීප කළා.

 

6. දිලීප ජයකොඩි

ඉන්දියානු ලේඛකයන් අතරත් ආර්. කේ නාරයනන්, කුශ්වන්ත් සිං වැනි අය ලංකාවේ සාහිත්‍ය ලෝලීන් අතර ජනප්‍රිය වුනා. ඒත් මෑත කාලේ දිලීප ජයකොඩි විසින් චේතන් භගත් ගේ කෘති ලංකාවේ තරුණයන් අතරට ගෙන ආවා. ලොකු සාහිත්‍ය ගැඹුරක් නැතත් ඒ කෘති අලුත් නාගරික සිංහල තරුණ තරුණියන් අතර වේගෙන් ජනප්‍රිය වුණා. ලංකාවේ වගේම ඉන්දියාවෙදිත් චේතන් භගත් කියන්නේ නූතන තාරුණ්‍යයට ආමන්ත්‍රණය කළ කතා කරුවෙක්. ලද බොළඳ ආදරණීය, ආදර නවකතා තමයි තවමත් යොවුන් පරපුර අතර වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඊට වඩා පොඩ්ඩක් වෙනස් ආරක් ගත් චේතන් භගත් ගේ කතා, පරිවර්තන වලට ආස අයට අලුත් අත්දැකීමක් එකතු කරනවා.

 

7. සිරිල් සී. පෙරේරා

යුද්ධය හා සාමය කියන මහා කෘතිය ලියෝ තෝල්ස්තෝයි ලිව්වාට පස්සේ එතෙක් ලොව පුරා සිටි සාහිත්‍යකාරයින් අතර මේ මහ පොත මොකක්ද කියන එක ගැන ලොකු කතාවක් ඇතිවුණා. අවසානේ එය නවකතා ගොඩට දාන්න පුළුවන් තවත් එක නවකතාවක් නෙමෙයි, ජීවන වෘත්තාන්තයක් කියලා ප්‍රකාශයක් දෙන්නත් තෝල්ස්තෝයිට සිදු වුණා. මේ කෘතිය සුවිශාල කෘතියක්. ඒත් සිරිල් සී. පෙරේරා මෙය පරිවර්තනය කර වෙළුම් ගණනාවකින් පාඨකයින්ට සමීප කළා. දොස්තයෙවුස්කි, ගොගොල්, ඉවාන් තුර්ගිනිෆ්, ඇන්තන් චෙකොෆ් වැනි අයගේ සෝවියට් කතාන්දර ද සිරිල් සී. පෙරේරා අතින් හෙළ බසට පරිවර්තනය වුනා. යුරෝපා අමරිකානු කෘතින් පරිවර්තනය කරද්දි හුදෙක් වාක්‍ය වල බස පෙරළීමට වඩා ඒ කාලේ පැවති සමාජ ආර්ථික වටපිටාව, සාහිත්‍ය රැල්ල අනුව පරිවර්තන කාර්යය සිදුකරන්නට සිරිල් සී. පෙරේරා උත්සාහ ගත්තා. සිරිල් සී. පෙරේරා විසින් 1950 සිට ඉතාම මෑත කාලය දක්වා පොත් පත් රැසක් පරිවර්තනය කළා. ඒ කලින් කලට ලෝක සාහිත්‍යයේ වැදගත් කෘති සිංහල පාඨකයින්ට ලබා දෙන්නට සිරිල් සී. පෙරේරාගෙන් ලැබුණු දායකත්වය සුළුපටු නැහැ.

 

විදෙස් කෘති පරිවර්තනය කර ලංකාවේ සිංහල පාඨකයාට සමීප කළ ශ්‍රේෂ්ඨයින් ගණනින් බොහොම විශාලයි. මෑතකදී බිහිවුණු විශිෂ්ට පරිවර්තකයොත් ඒ අතර ඉන්නවා. ඉතින් ඔවුන්ගේ නම් සඳහන් කරන්න ගියොත් යම් විදිහකින් එක් අයෙකු හෝ මගහැරීම වළක්වන්නට බැහැ. කොහොම වුනත් ලංකාවේ පරිවර්තන කෘති ගැන උනන්දුවක් තියෙන කෙනෙක් නම් හෝ දරුවන්ට කියවීම හුරු කරන්නට ඕනි කියන අයෙක් නම්… ඉහත නම් ලිස්ට් එකේ තියෙන අයගේ කෘති හොඳටම ඒ සඳහා සෑහෙනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *